පබා, අමා, නෙතූ හැදූ ශාන්ත නිහැඬියාව බිඳියි

253

මෙගා ටිකක් අමාරු වැඩක්
රැල්ලෙන් මිදෙන්න හීනයකි මේ ආදරේ හැදුවා

පබා” අමා” වරාමලී” රිතූ” නෙතූ” ජීවිතය ඇති තුරා වැනි ටෙලි නාට්‍ය අදටත් ඔබේ මතකයේ පැහැදිළි රූප රටා මවනව ඇති. එහෙම වෙන්නෙ ඔබ ඒ නිර්මාණවලට වඩාත්ම සමීප වූ නිසා නේද? මේ නිර්මාණ පසුපස සිටිය දැවැන්තයා වෙන්නෙ ශාන්ත සොයිසා. අවුරුදු දෙකක නිහැඬියාවකට පස්සෙ ඔහු ඔබ වෙත ගෙන එන අලුත්ම ආදරණීය තිළිණය ‘හීනයකි මේ ආදරේ.. මේ ගැන වැඩිදුර තොරතුරු අපි ශාන්තගෙන්ම අහමු.

පබා, අමා, නෙතූ හැදූ ශාන්ත නිහැඬියාව බිඳියි

ශාන්ත කාලෙකට පස්සෙ අලුත් වැඩකට අතගහල?

පසුගිය කාලෙ තිබුණ කොරෝනා වසංගතයත් එක්ක අපිට යමක් කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නැහැ. අයිටීඑන් එක ගත්තත් අවුරුදු පහක් ඇතුළත සභාපතිවරු දහයක් විතර මාරු වුණා. එක එක සභාපතිවරුන්ගෙ එක එක අදහස් තියෙන්නෙ. ඒ අයත් එක්ක කතාකරල වැඩක් පටන්ගන්නකොටම ඒ සභාපතිවරයා මාරු වෙලා අලුත් කෙනෙක් පත්වෙනව. එයා එක්ක වැඩක් කතාකරල කරන්න ගියත් වෙන්න කලින් වුණ දේමයි. ප්‍රධාන වශයෙන්ම රටේ තියෙන අයහපත් ආර්ථික තත්ත්වය නිසා තමයි අපිට නිර්මාණයක් කරන්න බැරි වුණේ. කොහොම වුණත් මමයි මහේෂුයි කතාකරල මේ වැඩේ පටන්ගත්ත.

පබා, අමා, නෙතූ හැදූ ශාන්ත නිහැඬියාව බිඳියි
පබා, අමා, නෙතූ හැදූ ශාන්ත නිහැඬියාව බිඳියි

පබා” අමා” වරාමලී වැනි ප්‍රේක්‍ෂකයාට මතක හිටින නිර්මාණ රැසක් ඔබ අතින් බිහි වුණා. ඒ ගැන කතාකළොත්?

ඇත්තටම ඒ නාට්‍ය ප්‍රේක්‍ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. පබා ඒ අතරින් අතිෂය ජනප්‍රිය වුණ ටෙලි නාට්‍යයක්. මේ වන විට හතරවන වතාවටත් අපි ඒ නාට්‍ය විකාශනය කරනව. තුන් හතර වතාවක් විකාශනය කළත් ප්‍රේක්‍ෂකයන්ට ඒ නාට්‍ය එපා වෙන්නෙ නැහැ. ප්‍රේක්‍ෂකයන්ගේ සහ අයිටීඑන් සභාපතිවරයාගේ ඉල්ලීම මත තමයි අපි මේ අලුත් නාට්‍යයත් පටන්ගත්තෙ.

මේ තවත් එක ආදර කතාවක්ද?

මේ කතාව ඇතුළෙත් ආදරය තියෙනව. නමුත් පවුලේ කතාවක් කියල කියන්න පුළුවන්. මම සහ මහේෂ් කරපු නිර්මාණ එක එක පැතිවලට ගිහින් තියෙනව. මේකත් ඒ වගේ වෙනම පැත්තකට ගමන්කරවන්න බලාපොරොත්තු වෙනව.

පබා, අමා, නෙතූ හැදූ ශාන්ත නිහැඬියාව බිඳියි
පබා, අමා, නෙතූ හැදූ ශාන්ත නිහැඬියාව බිඳියි

නළු නිළියන්?

ශලනි තාරකා” අකිල ධනුද්ධර” ශ්‍රියන්ත මෙන්ඩිස්” දුලීකා මාරපන” උපතිස්ස බාලසූරිය” රුවන්ති මංගලා” ශිරෝමිකා ප්‍රනාන්දු” පැතුම් රුක්ෂාන්” මධුෂාන් නානායක්කාර” සුරාජ් මාපා” වසන්ත විට්ටච්චි” නයෝමි පෙරේරා” වසන්ත මුහන්දිරම්” නතාෂා හප්පාවන” සෙනෙවිරත්න රුද්‍රිගු සහ විකුම්සිරි මුණසිංහ වැනි නළු නිළියන් රැසක් මේ නාට්‍යයට රංගනයෙන් දායක වෙනව.

‘හීනයකි මේ ආදරේ. මෙගා වැඩක්ද?

ඔව්” අපි මුලින්ම කොටස් එකසිය පනහක් හෝ දෙසීයකට වගේ සැළසුම් කරනව.

පබා, අමා, නෙතූ හැදූ ශාන්ත නිහැඬියාව බිඳියි
පබා, අමා, නෙතූ හැදූ ශාන්ත නිහැඬියාව බිඳියි

මෙගා නාට්‍යවලට චෝදනා වැඩියි?

ලංකාවෙ ටෙලිනාට්‍ය කලාවෙදි කාටවත් චෝදනා කරල වැඩක් නැහැ. පසුගිය කාලෙ ඉන්දියන් නාට්‍ය රැල්ලක් තිබුණ. අපි ඒවාට බැන බැන හිටිය මිසක ඒකෙන් ගොඩ එන්න ක්‍රමයක් කල්පනා කළේ නැහැ. ඒ අතර තමයි අපි පබා කළේ. ඉන් පස්සෙ ඒ ආරයේ ටෙලි නාට්‍ය රැල්ලක් ඇති වුණා. මේ වෙලාවෙත් ඒකාකාරී ටෙලි නාට්‍ය ගොඩක් තියෙනව. මේ රැල්ලෙන් මිදෙන විදිහක් අපි හිතන්න ඕන. හීනයකි මේ ආදරේ ඒකට හොඳම මගක් වෙයි කියල හිතනව.

මේ වතාවෙත් වෙනස් මුහුණු ටිකක් තිරයට ගේනව?

මමවත් මහේෂ්වත් ප්‍රධාන වශයෙන් නළු නිළියන් ගැන හිතන්නෙ නැහැ. අපිට වැදගත් වෙන්නෙ චරිත. අදාළ චරිතයට උපරිම සාධාරණයක් කරන්නෙ කවුද කියන එකයි අපි කල්පනා කරන්නෙ. ඒ අනුව තමයි අපි තෝරාගැනීම කරන්නෙ.

ශාන්ත වැඩකරන්නෙ මහේෂ්ගෙ පිටපක් එක්ක විතරද?

එහෙම දෙයක් නැහැ. ඇත්තටම ලංකාවෙ පිටපත් රචකයො ගොඩක් අඩුයි. සාමාන්‍ය එකක් වගේ නෙමෙයි” මෙගා පිටපත් කියන්නෙ ටිකක් අමාරු වැඩක්. මොකද දීර්ඝ කාලයක් ප්‍රේක්‍ෂකයා නාට්‍යයත් එක්ක තියාගන්න ඕන. එතනදි මහේෂ් තමයි හොඳම කෙනා. එහෙම කෙනෙක් ඉඳිද්දි අත්හදාබැලීම් කරනවට වඩා එයත් එක්ක වැඩකරගෙන ඉදිරියට යන එක ලේසියි.

මේකත් හිට් වෙයිද?

අනිවාර්යයෙන් මම එහෙම හිතනව.

මෙගා නාට්‍ය ඔබ දකින්නෙ කොහොමද?

හැම දෙයකම හොඳ නරක දෙකම තියෙනව. සමහර නිර්මාණවල ගුණාත්මක භාවයක් නැහැ” චරිතවල රඟපෑම නැහැ” පිටපතක් නැහැ” අධ්‍යක්‍ෂණයක් නැහැ වගේ අඩුපාඩු ගොඩක් තියෙනව. නමුත් ඒ අතර හොඳ මෙගා නාට්‍යයත් තියෙනව. අද චැනල් හතඅටක් තියෙනව. එකම වෙලාවට නාට්‍ය හතඅටක් විකාශනය වෙනව. ඒ අතරින් ප්‍රේක්‍ෂකයා තෝරාගන්නෙ හොඳම එක. අනිත් නාට්‍ය නිකන්ම ප්‍රතික්‍ෂේප වෙලා යනව.

ශාන්ත සොයිසා ක්‍ෂේත්‍රයට අලුත් මුහුණු හඳුන්වා දුන්න අධ්‍යක්‍ෂවරයෙක්?

පැතුම්” විශ්ව” ශෙරිල් ඩෙකර් වගේ අද බොහොම ජනප්‍රිය වෙලා ඉන්න නළුනිළියන් බොහෝ දෙනෙක් මම ක්‍ෂේත්‍රයට හඳුන්වා දුන් අය.

මේ අතරින් මුල අමතක වුණ අයත් ඉන්නවද?

තවම නම් එහෙම වෙලා නැහැ. බොහෝ දෙනෙක් මගෙත් එක්ක බොහොම සහයෝගයෙන් කටයුතු කරනව. මනුස්සයොත් එක්ක ගනුදෙනු කරන විදිහත් එක්ක තමයි මේ දේවල් තීරණය වෙන්නෙ.

ක්‍ෂේත්‍රයේ බොහෝ අය ඔබත් සමග අමනාපෙන්?

ඔව්” ක්‍ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් මගෙත් එක්ක අමනාපෙන් ඉන්නව ඒ අයව මම වැඩවලට ගන්නෙ නැහැ කියල. යාළු සම්බන්ධතා තිබුණට චරිතයට වඩාත්ම වැදගත් පුද්ගලයව විතරයි මම තෝරාගන්නෙ. මොකද මම නාට්‍යයක් කළාම ඒකෙන් ඒ නාට්‍යය දකින්නෙ නැතිව මාවවත් නළුනිළියන්ව වත් දකිනව නම් ඒ නිර්මාණයෙන් ඇති වැඩක් නැහැ. මට වුවමනා වෙන්නෙ නිර්මාණයේ චරිත ජීවමාන කරන්න.

‘හීනයකි මේ ආදරේ. වැඩකටයුතු කොහොමද?

අපේ ප්‍රධාන ලොකේෂන් එකක් තියෙනව කඩවත. ඒ වගේම රාජගිරියෙ” කඩුවෙල සහ කොළඹ අවට තමයි රූගතකිරීම් සිදුවෙන්නෙ.

මෙගා නොවන වැඩක් ගැන අදහසක් තියෙනවද?

ඔව්” ඇත්තටම මම එහෙම වැඩක් ලෑස්තිකරගෙන ඉන්නව. සම්මාන ලබපු පොතක් ඇසුරෙන් ආනන්ද අබේනායක මහත්මයා කරන්න හිටපු වැඩක්. එතුමා කිසිම ලෝබකමක් නැතිව මට ඒක දුන්න. මේ වැඩේ තවත් අධ්‍යක්‍ෂවරු දහඅටදෙනෙක් ඉල්ලල තිබුණ. නමුත් එතුමාම ඒක කරන බලාපොරොත්තුවෙන් හිටපු නිසා දීල තිබුණෙ නැහැ. මේ පොත තමයි 2014 වර්ෂයේ රාජ්‍ය සම්මාන ලබපු නෝබට් අයගම මහත්මයාගේ ‘කාල නදී ගලා බසී.. අවුරුදු දෙකක් පුරාවට මම ඒ කතාව හදාගෙන යනව. දැන් බොහෝ දුරට ඒ වැඩ ටික අවසන් වෙලා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment