දරුවාට ඉඳුල් කටගෑම

152

ඉඳුල් යන්නට සිංහලයේ අරුත් දෙකක් තිබේ. ඔබ බත් කෑමෙන් පසු ඔබේ පිඟානේ මෙන්ම සුරතේ තැවරී ඇත්තේ ඉඳුල්ය. සම්භාෂණයේදී සංග්‍රහ මේසය ඉඳුල් කිරීම සඳහා ප්‍රභූවරයකුට අපි ආරාධනා කරමු. මෙහි ඉඳුල් යනු මංගල ආහාරයයි. දරුවකුගේ ඉඳුල් කටගෑම යනු මෙහි දෙවන අරුත වූ මංගල ආහාරය සැපයීමයි.

දරුවාට ඉඳුල් කටගෑමේ වයස ගැන සැලකීමේදී, ජ්‍යොතිෂයේ සඳහන් වයස මෙන්ම මීට පෙර ලිපියකදී මා විස්තර කළ දින දර්ශන වයස අනුව ඔහුගේ කායික වැඩිම ගැන ද ඔබගේ අවධානය යොමු කළ යුතුය. දරුවකුගේ ආහාර ජීර්ණ පද්ධතිය ඝන ආහාර දිරවීම සඳහා අනුවර්තනය වෙමින් පවතින විට මුඛයේ දත් ඒම සිදුවේ. හේතුව ආහාර ජීර්ණ ක්‍රියාවලියේ පළමුවැන්න සැපීම බැවිනි.

ඔබ ඉඳුල් කටගෑම සඳහා නැකැතක් පිළියෙල කරන විට දරුවාගේ දත් එමින් පවතී ද යන්න ප්‍රශ්න කර අසා දැනගන්න. ජ්‍යොතිෂයේ සඳහන් වන පරිදි දරුවන් සඳහා මාස 6, 8, 10, 12 වයස්වලදී ද, දැරියන් සඳහා මාස 7, 9, 11 යන වයස්වලදී ද ඉඳුල් කටගෑම සිදු කරයි. විශ්වයේ පවතින නැකැත් 27 න් 15 ක් පවතින දවස් මෙම සුබ කාර්ය සඳහා සුදුසුය.

  1. අස්විද
  2. මුවසිරස
  3. පුනාවස
  4. පුෂ
  5. උත්‍රපල්
  6. රෙහෙණ
  7. හත
  8. සිත
  9. සා
  10. අනුර
  11. උත්‍රසල
  12. දෙනට
  13. සියාවස
  14. උත්‍රපුටුප
  15. රේවතී

යන්න එම නැකැත් 15 යි. දරුවා උපත ලැබූ ජන්ම නැකැතට සම්පත්, සාධක, මිත්‍ර, පරම මිත්‍ර යන ගුණාත්මය එන පරිදි ඉහත සඳහන් නැකැත් 15 න් 1 ක් යෙදුණු සුබ දවසක සුබ හෝරා භාවය කැටි කරමින් මේ සඳහා නැකැත් සාදනු ලැබේ. එම නැකැත සාදන විට දරුවා උපන් ලග්නයෙන් 8 වන රාශිය අත්හරින්න. පසළොස්වක හෝ අමාවක පෝය නොගනී. දරුවා නිරෝගීව සිටිය යුතුය.

මෙහි පසළොස්වක හෝ අමාවක හෝ නොගන්නේ එදින පෘථිවියේ ජල ගෝලයට හඳේ බලපෑමක් ඇතිවන බැවිනි. මුහුදේ වඩදිය, බාදිය, ඇති වන්නේ හඳේ බලපෑම අනුවයි. එනම්, පෘථිවියේ ඇති සියලුම ජල ස්ථරවලට මෙහි පුර බලපෑම හෝ අව බලපෑම සිදුවේ. ශරීරය තුළ බොහෝ ජල ප්‍රතිශතයක් ඇත. පසළොස්වක සහ අමාවක පොහෝ දිනවල සඳ එම බලපෑම ඇතිකරයි. දරුවාගේ මංගල ආහාරය ගන්නා දිනට සඳේ උපරිම හෝ අවම බලයක් යෙදීම ආහාර කෙරෙහි ද බලපෑමක් වන නිසා එම බලපෑම සමතුලිත වීමට අවශ්‍ය බැවින් එකී දෙපෝයන් අත්හරින ලෙස ජ්‍යොතීර් විද්‍යාවේ සඳහන්ව තිබේ.

මේ සඳහා සුබ නැකැත සාදන විට පහත සඳහන් ජ්‍යොතිෂමය නීති අනුගමනය කරන්න.

තත්කාල කේන්ද්‍රය සඳහා වෘෂභ, සිංහ හෝ කුම්භ රාශි උදා කරවන්න. මේෂ, වෘශ්චික සහ මීන යන රාශි සුදුසු නැත. පුර පක්‍ෂයේ, පෑලවිය, දියවක, තියවක, විසේනිය, සතවක, දසවක, එකොළාස්වක හෝ තෙළෙස්වක තිථියක් යෙදීම ඉතා සුබයි. චන්ද්‍රයා ලග්නයේ සිටීම රවි, අඟහරු සහ සෙනසුරු 3, 6, 11 භාවගත වීම යහපත්ය.

● ඉඳුල් කටගෑම හෙවත් මංගල ආහාරය සපයන්නේ මෙසේය.

නිවසේ මැද හෝ සුදුසු වාතාශ්‍රය, ආලෝකය ඇති තැනක බිමට කහ වතුර ඉස හොඳින් පිරිසිදු කර බිම පැදුරක්, ඇතිරිල්ලක් හෝ පලසක් එළා, නැකැත් දින සුබ දිශාවට මුහුණලා දරුවා වාඩි කරවන්න. ඇල් හාලේ හෝ හොඳ සම්බා හාලේ බතක්, මුං ඇට කිරිබත්, කැවුම් ඇතුළු රසකැවිලි, කෙසෙල් ගෙඩි, කිරි හොද්දක් දරුවා අසල තබන්න. මෙම ආහාර හා පලතුරුවලින් සුවඳ හමද්දී මේ ආහාර හොඳින් දර්ශනය වන පරිදි ඒ අතරෙන් පහනක් දල්වන්න. ආහාර සුවඳින් දරුවාට ආහාර රුචියක් ඇතිවන අතර ජීර්ණයට අවශ්‍ය වන එන්සයිම උනද්දී දරුවාගේ සිත සතුටට පත්කර ආදරයෙන් යුතුව කිරි හොදි මිශ්‍රිත බත් පතක් දරුවාට කවන්න. ඉන්පසු දරුවාට රුචි දෙයක් ආහාරයට ගැනීමට ඉඩ හරින්න.

පුතාට අම්මා හෝ සහෝදරිය විසින් ද දුවට පියා හෝ සහෝදරයා විසින් ද මංගල ආහාරය දිය යුතු බව ඇතැම් පොත්පත්වල සඳහන්ව තිබේ. එහෙත් මාගේ අත්දැකීම අනුව නම් විය යුත්තේ දරුවාට ඉතාමත් ආදරය කරන වැඩිහිටියන් කරුණාභරිතව මෙම සුබ කාර්යයට සම්මාදම් වීම සුදුසු බවයි.

ඉහත පරිදි මංගල ආහාරය අප හුරු පුරුදු කරන්නේ දරුවා අනාගතයේදී අභිමානවත් පුරවැසියකු වීමේ පදනම ඇතිකරලීම සඳහාය. වයසට, කාලයට, දේශයට, දීපයට ආවේණික ලෙසින්, උරුම ලෙසින් සමතුලිත ආහාර වේලක් සැපයීමේ මහඟු කාර්යය වැඩිහිටියන් සතු වේ. මේ ආහාර කොටස් 03 කට වර්ග කළ හැකිය.

  1. ශරීරය වර්ධනය කරන ආහාර
  2. ශරීරය ආරක්ෂා කරන ආහාර
  3. ශරීරයට බලය ලබාදෙන ආහාර

ශරීරය වර්ධනය කරන ආහාර ලෙස මාංශජනක ආහාරය ද, ශරීරයට බලය ලබාදෙන ආහාර ලෙස පිෂ්ටය හා මේද සහිත ආහාර ද, ශරීරය ආරක්ෂා කරන ආහාර ලෙස විටමින් හා ඛනිජ ලවණ සහිත ආහාර ද ගැනේ. ළමා කාලය තුළදී මෙම ආහාර තුනම වැදගත් වේ. වඩාත් වැදගත් වන්නේ ශරීරය වර්ධනය කරන ප්‍රෝටීන් හෙවත් මාංශජනක ආහාරයන්ය.

මිනිසාගේ සිරුරේ සෛල දෙවර්ගයක් ඇත. එනම්, කායික සෛල හා මස්තිෂ්ක සෛලයි. මෙයින් කායික සෛල නිතර ගෙවෙන අතර දරුවා ගන්නා ආහාරයෙන් මෙම සෛල නැවත වැඩේ. මස්තිෂ්ක සෛල එසේ ගෙවී නොයන අතර අලුතෙන් වැඩීමක් ද ඇති නොවේ. එබැවින් ශරීරයේ සෛල වැඩීම කෙරෙහි මංගල ආහාරයත් සමඟ දරුවා හුරු කරන ආහාර බලපාන අතර නිරෝගී වූ මස්තිෂ්ක සෛල කෙරෙහි මූලිකවම බලපාන්නේ මවගේ තත්ත්වයි, හෙවත් මව ගර්භණීයව සිටින විට ඇය සතු කායික හා මානසික සමබලභාවය දරුවාගේ මස්තිෂ්ක සෛලවල සුපිරි බවට බලපායි. සෑම කාන්තාවක්ම මේ සත්‍යය අවබෝධ කරගත යුතුය.

සුබ නැකැතට කරන ඉහත කී හුරුවීමත් සමගම දරුවා දෙමාපියන් විසින් සපයනු ලබන ආහාර ගනී.

  1. ආයුෂ
  2. වර්ණය
  3. සුඛය
  4. බලය
  5. බුද්ධිය
  6. සන්තුට්ඨිය
  7. පෘෂ්ටිමත්භාවය
  8. අධිපතිභාවය

යන ප්‍රයෝජන ආහාර නිසා ලැබේ. මෙම ගුණාත්ම අටට මුල්වන ප්‍රාණවත්භාවය ශරීරයේ රැඳී පවතින්නේ ආහාරය නිසාය.

හේළි සරත් රාජකරුණා
විද්‍යා ජ්‍යොතිෂ දලුග්ගල, රඹුක්කන
දු. අංකය 035-2262837

advertistmentadvertistment
advertistmentadvertistment