බුදුරදුන්ටත් අපල ගෙනදුන් සුර ගුරු

294

ජ්‍යොතිෂයේ සුබ ග්‍රහයෝ, පාපී ග්‍රහයෝ කියලා දෙයාකාරයට ග්‍රහයන් නාමිකව හඳුන්වනවා. ඒ කිව්වේ රවි, කුජ, ශනි, රාහු, කේතු හා අව පාර්ශ්වයේ සඳු යන ග්‍රහයන් පාපියෝ හැටියටත්, බුධ, ගුරු, සිකුරු, පුර චන්ද්‍රයා සුබ ග්‍රහයෝ ලෙසත් හඳුන්වනවා. සමහර පොත්වල එහෙම සඳහන් වුනත් මම සඳහන් කරන්නේ මේ මොන ග්‍රහයෙක් වත් නරක හෝ හොඳ කියල නැහැ. හොඳට පිහිටියොත් සුබ ප්‍රතිඵලත් නරකට පිහිටියොත් නරක ප්‍රතිඵලත් දෙනවා එච්චරයි. සුබ කෝණ දෘෂ්ටි වැදුනොත් නරක ග්‍රහයාගේ ඒ නරක ගතිගුණ අහෝසිවන එක වෙනම සාකච්ඡා කළ යුතු වනවා. අඟහරුවා 7 වැනි රාශියේ හෝ 8 වැනි රාශියේ හිටියොත් ඒක පාපී කේන්දරයක් කියල ඒක පහත්කරනවා. ඒවා බමුණු මත. ඕනෑම කේන්දරයක 7 වැනි රාශියේ හෝ 8 වැනි රාශියේ අඟහරු නරකට හිටියොත් පාපී කේන්දරයක් වෙලා විවාහය ප්‍රමාද කරනවා වගේම යහපත්ව පිහිටියොත් විවාහය ඉක්මන් කරනවා. ග්‍රහයෝ ස්ථිර නැහැ. විශ්ව ශක්තිය වෙනස් වන විට, ග්‍රහයන්ගේ පිහිටීමත් වෙනස් වන විට ප්‍රතිඵලත් වෙනස් වෙනවා, හරියටම මනුෂ්‍යයා වගේ. මනුෂ්‍යයා හැම තත්පරයකදීම වෙනස් වෙනවා. ඒක පියවි ඇස්වලට දැනෙන්නේ නැහැ.

බ්‍රහස්පති කිව්වෙ ඉතාම සුබ ග්‍රහයෙක් කියල තමයි මගේ හැඟීමත්. මොකද සත්දිනයේ කොයි දිශාවක හරි මරුට හිමි දිනයක් තිබෙනවා. ඒ කිව්වෙ ඉරිදා දිනයට උතුරු දිශාව, සඳුදා දිනයට වයඹ දිශාව, බදාදා නිරිත දිශාව, අඟහරුවාදාට බටහිර දිශාව, බ්‍රහස්පතින්දාට දකුණු දිශාව, සිකුරාදාට ගිනිකොණ දිශාව හා සෙනසුරාදාට නැගෙනහිර දිශාව. මේ අයුරින් බලන කොට මරුට අයිති නැති එකම දිශාව ඊසාන දිශාව බව පෙනෙනවා. ඊසාන දිශාව අයිති බ්‍රහස්පතිට, ගුරු දිනයට දකුණු දිශාවේ හිටියට. ඒක නිසාම තමයි අපි මුදල් උපයන වැඩ, ඕනෑම ශිල්පමය කටයුතු ඊසාන දිශාව බලා කරන්නේ. වරදින්නෙ නැහැ. අනික තමයි බ්‍රහස්පතිට අයිති වෘක්‍ෂය “බෝ” බුදුහාමුදුරුවො කෙලෙහිගුණ දැක්වූයේ. එහෙනම් ඔබ, මම බෝධි පූජා පවත්වනකොට ඊසාන දිසාවට හැරී බෝධිපූජා පවත්වන්නට ඕනෑ. සියලු අරිටු හරණය වී ජයම ලැබෙනවා. මේවා පොත්වල සඳහන් නැහැ, පාරම්පරිකයෙන්ම එන උපදෙස්. බ්‍රහස්පති ශිල්පයට අධිපතියා. ඒකට හතුරා සිකුරා. ඕනෑම කෙනෙක් විභාගයකට මුහුණ දෙන කාලයට බ්‍රහස්පති හොඳ වෙලා සිකුරා නරක් වී අන්තර් දශා ආවොත් කොහොම හරි කොහේ හරි ආලවන්ත කමක් ඇතිකරල තාවකාලිකව හෝ ආදර සම්බන්ධයක් ඇතිකරල ඒ විභාග කටයුතු හා ශිල්පමය කටයුතු අඩපණ කරල දමනවා. ඒ ක්‍රියාවට සිකුරා දක්‍ෂයා. ඒ වගේම විවාහ කටයුතු වන කාලයට සිකුරා යහපත්ව ඉඳවා බ්‍රහස්පති හතුරු අන්තර් දශා කාල ආවොත් බොරු උපදෙස් දීල හෝ පශ්චාත් උපාධියක් හෝ එවැනි අධ්‍යාපන කටයුත්තක් මුල් කරල විවාහය කඩනවා. ඒ ක්‍රියාවට බ්‍රහස්පති හපනා. ඒක නිසාමයි “ගුරු ශුක්‍රෝ සදා වෛරඃ” කිව්වේ. මේ දෙන්නම හොඳ ග්‍රහයෝ තමයි. නරක් වුණොත් ඉවරටම ඉවරයි. මේ කාලයට තමයි ස්කොන් නවනාථය කියන යන්ත්‍රය පළඳවන්නේ. නවනාථය කියන්නෙ ඉතා දුර්ලභ ගණයේ බලගතු යන්ත්‍රයක්. රත්‍රං පොඟවපු තඹ තහඩුවේ යන්ත්‍රය ලියලා මන්ත්‍ර කරලා පළඳවන්ට ඕනෑ.

බ්‍රහස්පති ගැන තව එකක් කියන්නම ඕනෑ. ඕනෑම කෙනකුගේ ලග්නය මීන නම් රවි-සඳු සුබව පිහිටියොත් එයා කාට හරි දෙන ලණු ඒ කිව්වේ කපටි උපදෙස් අනිත් පාර්ශ්වය දැනදැනම කනවා. නැත්නම් භාරගන්නවාමයි. ඒකට දක්‍ෂ පුද්ගලයෝ ලංකාවෙත් වර්තමානයේ නැත්තේ නොවේ. බ්‍රහස්පති කිව්වේ හරියට ගති පැවතුම් අතින් විශ්‍රාමික විදුහල්පතිවරු හා නායක හාමුදුරුවරු වගේ කියල තමයි කියල දීල තිබෙන්නෙ. බ්‍රහස්පති හොඳට පිහිටියොත් ශිල්පය අතින් ඇති තරමටම උඩටම ගෙනියනවා. නරක් වුණොත් ඉවරටම ඉවරයි. ශරීරයේ ස්නායු රෝගත් හදනවා. පුංචිම උදාහරණයක් කියන්නම්කෝ. අහිංසක කුමාරයාට ගුරුවරයා දන්නා ශිල්ප සියල්ල දීලා කේළමක් නිසා අහිංසක අංගුලිමාල වූ හැටි. ගුරුපඬුරු දෙන්න ගිහිල්ලනේ ඒක වුණේ. පෙර පිනක් තිබිල නැවතත් රහතන් වහන්සේ කෙනෙක් වුණා බුදුන් දැකලා. බ්‍රහස්පති නරක් වුණොත් දෙමවුපියෝ කියලවත් නිදහසක් නැහැ. ඔබ දන්නා කේන්දරවල බ්‍රහස්පතිගේ පිහිටීම පරීක්‍ෂා කරල වැඩි විස්තර ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් වෙසෙක්, පොසොන් පෝය පවතින මාසවලට බ්‍රහස්පති හොඳයි. බුදුරැස් විහිදෙන මාස කියනවනේ. එහෙම ප්‍රචාරය වුණාට මේ දිනවල බ්‍රහස්පති නරකයි. මකර, මේෂ ලග්න හිමි අයට ගොඩක් නරකයි. විවාද, වාද, බොරු උපදෙස් ගැනීමෙන් වළකින්න. මකර ලග්න හිමියන්ට බ්‍රහස්පති නීචයි. 2024 මැයි මාසයේ 01 වැනිදා වෙනකන් බ්‍රහස්පති ඉන්නෙ මේෂයේ. ඊට පස්සෙ වෘෂභයට ආවාට ඇස් හරින්නෙ ඒ කිව්වේ උදාවන්නේ 27 වැනිදා. මැයි 27 සිට ඔක්තෝබර් 09 දක්වා හැකිනම් බ්‍රහස්පතිගෙන් උදව් ගන්න, අපි ග්‍රහ කිරණ අපේ ජීවිතයට ලංකර ගන්ට ඕනෑ. නරක කාලයට දුරස්වන්ට ඕනෑ. නමුත් තාක්‍ෂණය නිසා අපිට ඒ ග්‍රහ කිරණ අමතක වෙලා, අමතක කරවලා. හැබැයි මේ ග්‍රහ කිරණ ඔබට, මට වැඩිදියුණු කරගැනීමට ඉඩ නොලැබුණාට ඔය ජංගම දුරකථන, පරිගණක ක්‍රියාකරවන්නෙ කිරණ නිසාමයි. අවාසනාවන්ත කමට අපි මේවායින් හොද ප්‍රයෝජන ටිකක් ගත්තට, නරකට ගන්නවා වැඩියි.

රාවණා බලගතු වැඩ කළේ මේ බ්‍රහස්පති නිසා. එදා පරිගණකය නොතිබුණාට දඬුමොණරය හැදුවෙ ලංකාවේ. එක්ටැම් මාලිගාවට යන්ට උපකරණය හැදුවෙ ලංකාවේ. එදා දඬුමොණරය තිබෙන තැන රාමා කිව්වෙ තාක්‍ෂණයෙන් කළ දුරකථනය වැනි යන්ත්‍රයකින්. එදා සීගිරිය ගල ඇතුළින් රජතුමා ගල මුදුනට ගිය මාර්ගය අදට වත් හොයාගන්ට බැහැ. උඩට වතුර ඇද්දේ කොහොමද කියල තවමත් හොයනවා.

මේ වගේ පුදුම උපදවන දේ අපේ ලාංකික පැරන්නන් හැදුවා, සොයාගත්තා. ඒ වැඩිපුරම බ්‍රහස්පතිගේ ශිල්ප හාස්කමින්. අපේ රටේ තිබුණු වටිනා පැළෑටි පිටරැටියො බාගෙට බාගයක් නැති කළා. සමහර ඒව වඳ කරල දැම්මා. හෙණරාජය වැනි බලගතු තෙල් හදන මූලික බෙහෙත් පැළ සිංහරාජයට සමීප දෙනියාය ගමේ තිබෙන බව සැලයි. ගුරුකම් සඳහා ගන්නා ඉරරාජ, සඳරාජ, මහහැඩය, කුඩාහැඩය, නගාමැරූ අල මේ පොළොවෙ තවමත් තිබෙනවා. හැබැයි දුර්ලභයි. අපේ දරුවො දෙමවුපියො සමඟ අකුරු කරගන්ට යන්නෙ මේ බ්‍රහස්පතිගෙන් ප්‍රයෝජන ගන්න තමයි.

වසර 16 ක් ගිහිගෙය තුළ සිට සසර ගැන එතරම් සතුටට පත්නොවී සිදුහත් කුමරා එතැනින් නිවන් සැපත සොයා වසර 13 ක් තුළ ඒ මේ අත සැරිසැරූ බව දන්නවනේ. එතකොට වයස අවුරුදු 28 යි. මාස 10 දී රාහුගේ අතුරු දසා ඉවර වී නීච බ්‍රහස්පතිගේ කාලය ද අවසන් කර බුධගේ මහ දසාවේදී කුමරා බුදුබව ලැබුවා. එතැන් සිට වසර 45 ක්ම සියලු ලෝකවාසීන් සුඛිත මුදිත කරන්ට තමයි අවැසි වුණේ. මේ බ්‍රහස්පති සුබ ග්‍රහයෙක් වුණාට නරක් වුණොත් බුදුන්ට වුණත් වධ දුන් බව අමතක කරන්න එපා. උන්වහන්සේට අත්තකිලමතානුයෝගය මෙනෙහි වුණේ මේ බ්‍රහස්පතිගේ නීච කාලයේදී.

බ්‍රහස්පති ගැන තව අලුත් දෙයක් කියන්නම්. කාගේ හරි කේන්දරයක රාහු – කේතු – බ්‍රහස්පති – සිකුරු යන ග්‍රහයන්ගේ මහ දසා හෝ අතුරු දසා ගතවනවා නම් ඉතාම ප්‍රවේශම් වන්ට ඕනෑ. මේ රාහු දැන් බ්‍රහස්පති සමඟ හතුරුව යෝග වෙලා මේෂ රාශියේ ගෝචරය. රාහු හතුරුව ඉඳලා 2023 ඔක්තෝබර් 30 වැනිදා මීන රාශියට එනවා, නීච වෙලා. මීන රාශිය අයිතිත් බ්‍රහස්පතිට. සිංහ, කම්භ ලග්න හිමියන් ප්‍රවේශම්වන්ට ඕනෑ. විශේෂයෙන් මේ රාශි දෙක 2 වන රාශියත් 8 වන රාශියත් සම්බන්ධයි. ආයුෂ ගැනයි මේ රාශි කතා කරන්නේ.

බුදුරදුන්ටත් අපල ගෙනදුන් සුර ගුරු

පාරම්පරික ජ්‍යොතිෂවේදී/ ගුප්ත විද්‍යාදර
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
දු.ක.-0779870007, 0722174553.

advertistmentadvertistment
advertistmentadvertistment