අන්තෝ ජටා බහි ජටා

384

ලොව පවතින සැබෑ යථාර්ථය පෙන්වා දෙන එකම ඉගැන්වීම වනුයේ බෞද්ධ දර්ශනය බව අද වන විට ලෝකයටම පසක් වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව වෙනත් ඉගැන්වීම්වලට වඩා බුදු දහම තුළින් ලබාදෙන නිවැරදි දැක්ම හා හේතුඵලවාදය නිසායි. සොයන්න සොයන්න ඵලය හමුවන මෙවැනි උතුම් දහමක් අපහට තිබුණ ද එයින් බොහෝදෙනා නිසි ප්‍රයෝජන ලබාගන්නේ ද යන්න ගැඹුරින් විමසා බැලිය යුත්තකි. අඳුරේ සිට අඳුරේම අතපත ගාමින් දිවි ගෙවන බහුතරයක් වූ පිරිස දෙස බලන විට මෙවැනි හේතුඵලවාදී දහමක් තිබියදීත් විනාශය කරා ගමන් කිරීම කනගාටුවට කරුණකි.

තණ්හාව, ආශාව, මානය වැනි කෙලෙස් මත පිහිටා තම වටිනා මිනිසත් දිවිය විනාශ කර ගනු ලබන මිනිසුන් වශයෙන් අප මීට වඩා බුද්ධි ගෝචර විය යුතුය. නොමැති නම් සිදුවන්නේ දුර්ලභ මිනිසත් බව ලබා තිබියදීත් ජීවිතයේ යථාවබෝධය නොමැතිව මියයෑම පමණි. එය සෑම සමාජ ස්ථරයකටම පොදු වූ ධර්මතාවයකි.

“යද නිච්චං තං දුක්‍ඛං” යන බුද්ධ දේශනාවට අනුව යමක් අනිච්ච ද එය දුකක් බව දක්වා ඇත. සැබැවින්ම බුදු පියාණන් වහන්සේ උගන්වා වදාළ සියලු ඉගැන්වීම් සෑම කාලයටම ගැළපෙන හා පොදු වූවක් බව නූතන සමාජයෙහි පවතින බොහෝ ක්‍රියාවන් දෙස අධ්‍යයනය කිරීමෙන් මැනවින් පසක් වනු ඇත. “අනිච්චා වත සංඛාරා” යනුවෙන් මරණ දැන්වීමට පමණක් බුදු වදන කෙසේවත් ප්‍රායෝගික වනු නැත. එය මිනිසා තුළ ඇති විය යුතු ජීවිත අවබෝධය ලෙස දැක්විය හැකිය. එකී ප්‍රායෝගික අවබෝධය තිබෙන තුරු අප සසරෙහි අතරමං නොවන අතර හැම විටම සියලු සංස්කාර ධර්මයන්හි යථා ස්වභාවය මනාව අවබෝධ කොටගෙන දිවි ගෙවීමට පෙලඹෙනු ඇත.

‘ඌනෝ ලෝකේ අතිත්තෝ තණ්හා දාසෝ” යනුවෙන් කියැවෙන පරිදි තණ්හාවට දාසයෙක් ්වූ පුද්ගලයාට මෙම යථාර්ථවත් දහම අවබෝධ කර ගැනීම කෙසේවත් කළ නොහැකිය. බුදුරදුන් රට්ඨපාලා සූත්‍රයේදී ඒ බව ඉතා මැනවින් දේශනා කොට ඇති අතර අධික ධනය තිබෙන පුද්ගලයා හැමවිටම උත්සාහ කරනු ලබන්නේ තව තවත් එකතු කර ගැනීමට මිසක් අත්හැරීමට නොවේ. එය සැබෑ ලෙසම උම්මත්තක ක්‍රියාවකි. මෙම උමතු බව නිසා අද වනවිට සමාජය කොතරම් දුරට පිරිහී විනාශ වී ගොස් තිබේද යන්න අප මීට වඩා බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. නොමැති නම් සිදුවන්නේ මිනිසා, මිනිසා විසින්ම කොටාගෙන විනාශ වී යෑම පමණි. මෙකී සමාජ පරිහානියට බුදුන් වහන්සේ තරම් විසඳුම් ලබාදුන් ශාස්තෘවරයකු ලොව නොමැති තරම්ය.

“න කහාපන වස්සේන තිත්‍ථි කාමේසු විජ්ජති” යන බුදු වදන මගින් පෙන්වා දෙනු ලබන්නේ කහවනු වර්ෂාවක් වැස්ස ද අධික තණ්හාවෙන් යුත් තැනැත්තාට එයින් කිසිදු තෘප්තියක් නොමැති බවයි. මෙම දේශනාව නූතනයට කොතරම් දුරට ගැළපේද යන්න කදිමට සනාථ වනු ඇත. මුදල නිසා මිනීමරා ගනිමින් විවිධ දරුණු අපරාධවලට සමාජයම ගොදුරුවී ඇති පසුබිමක තවත් අයකුගේ ජීවිතයක් නැසීමට තරම් මිනිසා කොතරම්දුරට දරුණු වී තිබේද යන්න පුන පුනා කිව යුත්තක් නොවේ. මෙම පිරිහීම දෙස බුද්ධිමත්ව බලන කල අපට සිහිවන්නේ පසේනදී කොසොල් මහ රජු දුටු සිහින දහසයයි. ඒ තුළ පෙන්වා දෙන්නේ නූතන සමාජ යථාර්ථයෙහි මෙකී සියලු සිදුවීම් දෙස අප බුද්ධිගෝචරව විමසා බලන විට ඒ සියල්ලටම බෞද්ධ දර්ශනය තුළ පිළිතුරු සපයා ඇත.

බුද්ධිගෝචර උරුමව තිබුණද පාපමිත්‍ර සේවනය වැනි ආශ්‍රයට බොහෝ දෙනා යොමුවීම තුළ හොඳ නරක අවබෝධ කර නොගැනීම ඔස්සේ උම්මත්තකයන් සේ දිවි ගෙවන අයුරු නූතන සමාජය දෙස බලන කල කදිමට තහවුරු වනු ඇත.

දිනකට කොතරම් බණ කියන හා අසන රක් මේ තරම් විනාශ වී තිබෙන්නේ ඇයිද යන්න අප දැන් සිට හෝ බුද්ධියට අනුව සිතිය යුත්තකි. ගිහි පැවිදි සියලු දෙනාටම පොදු වූවක් ලෙස ගැනෙන ජීවිත අවබෝධය අතිශයින් වැදගත් වූවකි. මෙය නොමැති වූ විට ඇතිවන සමාජ ගැටලු කොතරම් දුරට උඩුදුවා ඇත්තේ ද යන්න වත්මන් සමාජය තුළින් කදිමට ගම්‍ය වනු ඇත. මේ නිසා අප හැමදෙනාටම අවශ්‍ය කරනුයේ බුදුදහම බුද්ධිගෝචරව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමටය. නොමැති නම් මෙම විනාශයෙන් ගොඩඒමක් කෙසේවත් නොමැත. තණ්හාව, ආශාව, වෛරය, ක්‍රෝධය, මානය පසුපස යෑම විනාශයම පමණි. එම නිසා යථාර්ථවාදීව මේ පිළිබඳව විමසා බලා අඳුරේ සිට සාප නොකොට ආලෝකය කරා ගමන් කිරීම බුද්ධිමත් මිනිසුන් ලෙස අප සැමගේම පරම යුතුකමක් සේම වගකීමක් වනු නියතය.

දර්ශනපති – කනංකේ විජිත නන්ද හිමි
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment