මහනුවර සහ සී. ආර්. අපරාජිතයි – පොලිසිය සහ සී.එච්.ටත් ජයග්‍රහණ

54

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය

ශ්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ 05 වැනි සතියේ කැපී පෙණුනම ජයග්‍රහණය සටහන් කර ගැනීමට කොළඹ ලොන්ඩන් පෙදෙසේ පිහිටි සී. ආර්. ඇන්ඩ් එෆ්.සී. සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

නාවික හමුදාවට එරෙහිව ලකුණු 51 ක පහසු ජයග්‍රහණයක් ඔවුහු ලැබූහ.

ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 12 – 06 ක් ලෙස පෙරමුණ ගත් සී. ආර්. පිල දෙවන භාගය ආරම්භ වීමත් සමගම තනි අශ්වයකුගේ ධාවන රටාවක් ප්‍රදර්ශනය කරමින් 57 – 06 ක් ලෙස සමස්ත තරගය ජය ගැනීමට සමත් විය.

සී.ආර්. පිල ගෝල් දිනුම් 06 ක් සහ උත්සාහක දිනුම් 03 ක් මගින් ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත නාවික හමුදාවේ ලකුණු එකතුව දඬුවම් පහර 02 ක් මගින් සටහන්විණි.

මහනුවර 27 හැව්ලොක්ස් 22

මේ අතර වාරයේ ඊයේ (07) මහනුවර සමාජය තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට සමත් වෙමින් ප්‍රතිවාදී හැව්ලොක්ස් සමාජය ලකුණු 27 – 22 ක් ලෙස පරාජය කිරීමට සමත් විය.

ආරම්භයේ සිට අවසාන නිමේෂය දක්වාම අතිශය තියුණු මුහුණුවරකට අනුවර්තනය වී තිබුණු මෙම තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 19 – 17 ක් ලෙස සටහන් විණි.

පොලිසිය 19 යුද්ධ හමුදාව 10

යුද්ධ හමුදාවට එරෙහිව ප්‍රථම භාගයේදී ලකුණු 07 – 05 ක් ලෙස පෙරමුණ ගත් පොලිසිය නියමිත කාලය නිමා වන විට ලකුණු 19 – 10 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ජයග්‍රාහී පොලිස් පිල ගෝල් දිනුම් 02 ක් සහ එක් උත්සහක දිනුමක් ආශ්‍රිතව ලකුණු ලබා ගත් අතර උත්සාහක දිනුම් 02 ක ආධාරයෙන් යුද හමුදා ලකුණු එකතුව සටහන් විය.

සී.එච්.ඇන්ඩ් එෆ්.සී 14 ගුවන් හමුදාව 10

ගුවන් හමුදාවට එරෙහිව ලකුණු 04 ක තියුණු ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට සී.එච්. පිල සමත් විය. සී.එච්. පිල ලකුණු 14 ක් ලබා ගන්නා අතර වාරයේ දී ලකුණු 10 කින් සෑහීමට පත්වන්නට ගුවන් හමුදාවට සිදු වීම එයට හේතු විය. ප්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 14 – 03 කි. සී.එච්. පිල ගෝල් දිනුම් 02 ක් ආශ්‍රිතව ලකුණු පුවරුව ඉහළ නංවා ගන්නා අතර වාරයේදී ගුවන් හමුදාවට ලබාගත හැකි වූයේ දඬුවම් ගෝල් දිනුමක් සහ එක් දඬුවම් පහරක් පමණී.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment