වීර්යා 4 වැනිදා රිලීස් කරනවා – මේක තනිකරම මාෆියාවක්

122

අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරි

සුනිල් අරුණ වීරසිරි අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘වීර්යා’ එළැඹෙන 05 වැනිදා සිට රට පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ඉතින් ඔහු සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.

● ‘වීර්යා’ චිත්‍රපටය ඔබේ පළමු අධ්‍යක්ෂණයද?

නැහැ. මම මීට කලින් ජයලාල් රෝහණ මහත්තයාව ප්‍රධාන චරිතයට යොදවලා නිකිනි සුවඳ කියල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඒක ඊඒපී මණ්ඩලයේ තමයි ප්‍රදර්ශනය වුණේ. ඔවුන් මගෙන් ඒ චිත්‍රපටය මිලදී ගත්තා. ඊට කලින් මම රෝයි ද සිල්වා මහතා අධ්‍යක්ෂණය කළ “සැපට දුකට සනී”, “ක්ලීන් අවුට්” කියන චිත්‍රපට දෙක නිෂ්පාදනය කළා.

වීර්යා 4 වැනිදා රිලීස් කරනවා - මේක තනිකරම මාෆියාවක්

● ‘වීර්යා’ එළැඹෙන 05 වැනිදා ඉඳලා තමයි තිරගත කරන්න සූදානම් වෙන්නේ?

ඇත්තටම මේක කරලා ටික කාලයක් වෙනවා.

ඇන්ටන් ජුඩ් අන්තිමට රඟපාපු චිත්‍රපටය තමයි මේක. නමුත් මෙහි කතා තේමාව කිසිසේත්ම පරණ නැහැ.

වීර්යා 4 වැනිදා රිලීස් කරනවා - මේක තනිකරම මාෆියාවක්

● මෙහි පිටපත ගැන කතා කළොත්?

මේ පිටපත මගෙයි ලාල් පාගොඩ ආරච්චිගෙයි එකතුවෙන් තමයි ලියැවුණේ. ලාල් පාගොඩ ආරච්චිත් මීට අවුරුදු එකහමාරකට කලින් අපි අතරින් වියෝ වුණා. ඊට අමතරව මෙහි රඟපෑ ඥානාංග ගුණවර්ධනත් මෑතකදී අපි අතරින් සමුගත්තා.

● මෙහි කතා තේමාව කවුරු ඉලක්ක කරගෙනද නිර්මාණය වෙන්නේ?

නිවසක සේවයට එනවා රියැදුරෙක්. මේ නිවසේ ඉන්න දුව සල්ලාල තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කරනවා. ඊට පසුව මතුවන ගැටලු තමයි මේ චිත්‍රපටයෙන් කතා වෙන්නේ. මේක ඇත්තටම පවුලේ චිත්‍රපටයක්. මෙහි රංගනයෙන් සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, රොඩ්නි වර්ණකුල, ශේෂාදි ප්‍රියසාද්, ජගත් චමිල වගේ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

වීර්යා 4 වැනිදා රිලීස් කරනවා - මේක තනිකරම මාෆියාවක්

● ‘වීර්යා’ තිරගත කිරීමේදී මුහුණ දුන්න අභියෝග එහෙම මොනවාද?

අභියෝග නම් ගොඩක් තිබුණා. ඒ ආපු අභියෝග නිසයිනේ මේ තරම් ප්‍රමාද වුණේ. මම ඒකට කාටවත් දොස් කියන්න කැමැති නැහැ. මේ වගේ සමුඛ සාකච්ඡාවක් කරන්න පවා මම අධ්‍යක්ෂවරයෙක් විදිහට මහ ලොකුවට ප්‍රචලිත නැහැනේ. මම නිෂ්පාදකවරයෙක් විදිහට තමයි ප්‍රචලිත. අනික මම චිත්‍රපට හදන්නේ කාත් එක්කවත් තරගයකට නෙමෙයි. මේක තනිකරම මාෆියාවක්. සැමටම එක හා සමානව ගලාගෙන යෑමක් මෙතැන නෑ. හැමෝම බලාගෙන ඉන්නේ අහවලාගේ චිත්‍රපටය ගන්න කියන ඒක විතරයි. එකේ වරදක් දකින්නේ නැහැ. මොකද මමත් සිනමා ශාලා හිමියෙක්.

වීර්යා 4 වැනිදා රිලීස් කරනවා - මේක තනිකරම මාෆියාවක්

● සිනමා ශාලා හිමියෙක් විදිහට ඔබට හිතෙන්නේ නැතිද මේ කර්මාන්තය දිගින් දිගටම කඩා වැටීමේ අවදානමකට ලක්වෙලා කියලා?

අපේ රටේ සිනමා ශාලා පිළිවෙළක් වෙන්න ඕනෑ. එහෙම නැති වුණොත් සිනමාහල්වලට රසිකයෝ එන්නේ නැහැ. මමත් සිනමාහලක් ආරම්භ කරපු ගමන් කොරෝනා වසංගතයට හසු වුණා. වසංගත හින්දා අපි සිනමාහල් අවුරුදු දෙකක් වහලා තිබුණා. අන්තිමේ මම මෙහි කළමනාකාරීත්වය වෙනත් සමාගමකට භාරදුන්නා. මොකද සිනමාහලක් කරනවා කියන්නේ අද ලේසි නෑ. හොඳ චිත්‍රපට තිබෙනවා නම් මිනිස්සු සිනමාහල්වලින් ඉවත් වෙන්නේ නෑ. තවද හොඳ සිනමාහල් බිහි වෙන්නත් ඕනෑ. අනික අපේ රටේ ගොඩක් සිනමාහල් හිමියන්ට හිතෙන තවත් කාරණාවක් තමයි මොකක් හරි ෆුඩ්සිටි එකකට දීලා කීයක් හරි අරගෙන ඉන්න එක ලාභයි කියන කාරණාව. මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක හැමෝම ලෙහෙසි පහසු මාර්ගවලට හැරනවානේ. ඒක හින්දා සිනමාහල් රැසක් වැසී ගියා. සිනමාහල් ෆුඩ්සිටිවලට දුන්නම කර්මාන්තයට ලොකු ගැටලුවක් තිබෙනවා.

● වීර්යා අධ්‍යක්ෂණය කරද්දී ඔබ මුහුණ දුන් අත්දැකීම් ගැන කතා කළොත්?

මම මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරපු හින්දා අධ්‍යක්ෂණය කියන කාරණය ලොකු ගැටලුවක් වුණේ නෑ. මම හැම චරිතයකටම උචිත අය වගේම දක්ෂ අය තමයි තෝරා ගත්තේ. මම මේ චිත්‍රපටයට ප්‍රවීණයෝ රැසක් යොදාගත්තා. දක්ෂයෝ ටිකක් මේ වැඩේට යොදා ගත්ත හම මටත් මේ වැඩේ කරගෙන යන්න ලේසියි.

● “වීර්යා” චිත්‍රපටය පිටපත් කීයක් මුදාහරින්න සූදානම් කරලා තිබෙනවාද?

දැනට පිටපත් තිහක් විතර ප්‍රදර්ශනය කරන්න සූදානම් කරලා තිබෙනවා. චිත්‍රපටය හොඳයි නම් කට්ටිය තව තව ඉල්ලයි. ඒකයි ඇත්ත කතාව. අපි කොච්චර කිව්වත් වැඩක් නැහැනේ. ප්‍රේක්ෂකයෝ චිත්‍රපටය පිළිගන්නේ නැති නම් ගැලවෙනවා. ඒ ඉරණම කාටත් පොදුයි. පසුගිය දවස්වල ලොකු චිත්‍රපට කියලා හිතාගෙන ආපු ඒවා වැටුණා. ඒක මටත් අදාළයි. චිත්‍රපටයක් කළහම ප්‍රචාරණයත් වැදගත්. ඒ වගේම චිත්‍රපටය බලන මිනිසුන්ට ඒකේ රහක් තියෙන්නත් ඕනෑ?

● මෙහි රූගත කිරීම් සිදුකරන කොට මුහුණ දුන් අභියෝග රැසක් තිබෙනවා නේද?

පළමුවැනිම අභියෝග තමයි කොළඹ ෂූටින් ඉවර කරලා දෙවැනි කොටසේ ෂූටින් කරන්න නුවර යන්න හදනකොට තමයි ඇන්ටන් ජූඩ් නැති වුණේ. ඒ වෙලාවේ ඊට පහුවැනිදා රූගත කිරීම්වලට යන්න අපේ ගෙදර නළු නිළියන් රැසක් සූදානම් වෙලයි හිටියේ. අන්තිමේ මේ සියල්ල අමතක කරලා අපි රූගතකිරීම් නවත්වලා ඔහුගේ වැඩ කටයුතු කරන්න සූදානම් වුණා. මොනවා වුණත් චිත්‍රපටයක් කරන එක නෙමෙයි අමාරු ප්‍රදර්ශනය කරන එකයි අමාරු. චිත්‍රපටයක් කරලා ප්‍රදර්ශනය කරන්න අවුරුදු දහයක් යන්නේ නැහැනේ. ඒවා ඉතින් හැදිච්ච හැටි.

● මේ කලකිරීම් අතරේ ආපහු චිත්‍රපටයක් කරන්න අදහසක් තිබෙනවාද?

අනිවාර්යයෙන්ම තියෙනවා. මොන ප්‍රශ්න තිබුණත් චිත්‍රපට කරන එක නවත්වන්නේ නෑ. මොකද සිනමාව කියන්නේ සුන්දර කලාවක්. ඒක නවතා දමන්න ඉඩ දෙන්න බැහැනේ.

● ‘වීර්යා’ පවුලේ චිත්‍රපටයක්ද?

පැහැදිලිවම, මේක පවුලේ චිත්‍රපටයක්. විනෝදාත්මක අවබෝධයක් ඇති චිත්‍රපටයක්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment