නිෂ්පාදන වියදම වැඩි නිසා වගාව අතහැරලා – බක්මහෙත් එළවළු හිඟයක් – නාමල් කරුණාරත්න කියයි

223

නිෂ්පාදන වියදම් විශාල ලෙස ඉහළ යෑම හා අයහපත් කාලගුණය නිසා ගොවි ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් එළවළු වගාව අතහැර දමා තිබෙන තත්ත්වය හමුවේ එළැඹෙන අවුරුදු සමයේදී බරපතළ එළවළු හිඟයක් නිර්මාණය වීමේ අනතුරක් ඇතැයි ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසීය.

ඉකුත් වැසි සමයේ ගොවි බිම්වලින් සියයට හතළිහක් පමණ විනාශ වී ගිය බවත්, පවතින දැඩි ආර්ථික අපහසුතා නිසා ගොවි ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් තම බිම්වල අලුත් වගාවන් සිදු නොකළ බවත් ඒ මහතා කීය.

විශේෂයෙන්ම ගොවි උපකරණවලට වැට් බද්ද ඇතුළු කිරීම නිසා රුපියල් 9000 කට තිබූ පොහොර මිටියක් රුපියල් 1620 කින් ඉහළ ගිය බවත්, ඊට අමතරව ඉන්ධන මිල නිසා තවත් සියයට දහයක පමණ අමතර වියදමක් ද එකතු වූ බවත් ඒ මහතා කීවේය. රුපියල් 3000 ට තිබූ උදැල්ලක මිල ද වැට් නිසා රුපියල් 540 කින් වැඩි වී ඇත.

මේ දිනවල විශේෂ මාතෘකාවක් වී තිබෙන කැරට් වගාව ද බරපතළ ලෙස කඩාවැටී තිබෙන බවත් එදා කැරට් අල තුන හතරක් සිටුවා කිලෝවක අස්වැන්නක් ගත්ත ද අද වනවිට කිලෝවක අස්වැන්නක් ගැනීමට විශාල වියදමක් දැරීමට ගොවීන්ට සිදුව ඇතැයි ද ඔහු කීවේය. වැලිමඩ නුවරඑළිය ආදී ප්‍රදේශවලට ගිය තමාට ගොවීන් කියා සිටියේ ගොවිතැන නතර කර දමන තරමට වියදම් වැඩි වී ඇති බව යැයි නාමල් කරුණාරත්න මහතා කීය. එනිසා එළැඹෙන මාස කිහිපයේ එළවළු මිල තවත් ඉහළ යා හැකි බව ද හෙතෙම පැවසීය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment