ස්විස් රටෙත් තියෙන අපට එපා කියන ත්‍රස්ත මර්දන පනත

147

පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රගතියක් නැහ

ජිනීවා සිට පිටු 17ක වාර්තාවක්

වගවීමේ ක‍්‍රියාවලිය ඉටුකර නැහැ

ත‍්‍රස්තමර්දන පනත අහෝසි කිරීමට දැඩි බලපෑම්

මානව හිමිකම් කොමසාරිස්වරිය ජාතික ආරක්‍ෂාවටත් මැදිහත් වෙයි

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය හෙට (28දා) ආරම්භ වේ. මේ සැසිවාරය ආරම්භවීමට සතියකට පෙර ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ජාතික ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීමකට ජාතික සංවිධානවල කණ්ඩායමක් කැඳවනු ලැබීය. ඒ ජිනීවාහී මතුවී තිබෙන ශ‍්‍රී ලංකා විරෝධී ක‍්‍රියාදාමය ගැන සාකච්ඡා කිරීමටය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 47 අතරින් ආජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ටි‍්‍රයාව, බහමාස්, බ‍්‍රසීලය, බල්ගේරියාව, අයිවරිකෝස්ට්, චෙක් රාජ්‍යය, ඩෙන්මාර්කය, පීජී, ප‍්‍රංශය, ජර්මනිය ඉතාලිය, මලාවි, මාර්ෂල් දූපත්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, දකුණුකොරියාව, යුක්රේනය බි‍්‍රතාන්‍යය, කැනඩාව සහ පෝලන්තය යන රටවල් ශ‍්‍රී ලංකාවට එරෙහි වූවෝ වෙති. ශ‍්‍රී ලංකාවට සහය දැක්වීමට රුසියාව, චීනය, බංගලාදේශය, කියුබාව, පාකිස්තානය, සෝමාලියාව, එරිටි‍්‍රයාව, උස්බෙකිස්තානය, වෙනිසියුලාව යන රටවල් ඉදිරිපත් වී සිටිති.

ස්විස් රටෙත් තියෙන අපට එපා කියන ත්‍රස්ත මර්දන පනත

මේ පසුබිම මැද ජනපති කැඳවූ රැස්වීමේදී ජාතික සංවිධානවල නියෝජිතයෝ ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන කරුණු ඉදිරිපත් කළහ. ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න සහ ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීහූ සහභාගී වූ මේ ආරක්‍ෂක මණ්ඩල රැස්වීමට මැදගොඩ අභයතිස්ස, නීතිවේදීන්වූ රාජා ගුණරත්න, කල්‍යානන්ද තිරාණගම සහ ජාතික සංවිධාන ප‍්‍රධානියකු වූ වසන්ත බණ්ඩාරද සහභාගි විය. එහිදී අමාත්‍ය ජී.එල්. පීරිස් පැවසුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවට එරෙහි චෝදනා ගැන කියන්නේ නැති බවයි. එහෙත් ඊට ප‍්‍රතිචාර දැක් වූ ජාතික සංවිධාන ප‍්‍රධානීහූ ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහිව චෝදනා 11ක්ද කොටි සංවිධානට එරෙහිව චෝදනා හතරක්ද එල්ල වී ඇති බව අනාවරණය කළහ. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ජාතික සංවිධාන ප‍්‍රධානීන් කැඳවා ජිනීවා හී මතුවී ඇති තත්ත්වය ගැන සාකච්ඡා කළ බව මෙරට මාධ්‍යයට හෝ සමාජ ජාලා මඩ වෙබ්අඩවි වලට හෝ හෙළිවූයේ නැත. එහෙත් එම සාකච්ඡාවේදී හෙළි වූ කරුණු අනාවරණය කිරීමට අද (27දා) ආරක්‍ෂක විශේෂාංගයට විශේෂයෙන්ම (Exclusive) හැකිවී ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවට එල්ල කරනු චෝදනා මෙසේය. නීතිවිරෝධී ඝාතන ,නිදහස සීමාකිරීම, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම, වධහිංසන පැමිණවීම, අමානුෂික ක‍්‍රියා සිදුකිරීම, ලිංගික හිංසන, බලහත්කාරයෙන් පැහැර ගැනීම, මානුෂික සහන සේවා වැළැක්වීම යන්නයි. කොටි සංවිධානයට එරෙහිව ගොනු වී ඇත්තේ ළමුන් යුද්ධයට බඳවා ගැනීම සහ පැහැර ගැනීම ඇතුළු සුළු චෝදනා කීපයකි.

මෙහිදී ආරක්‍ෂක හමුදාවට එරෙහි චෝදනා සාවද්‍ය බව දක්වමින් ජාතික සංවිධාන, නීතිවේදීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට භාරදුන් වාර්තාවේ පිටපත් ආරක්‍ෂක හමුදා ප‍්‍රධානීන්ට ලබාදීමටද ක‍්‍රියාකළහ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී එහි ප‍්‍රධානීන්ට භාරදුන් එම වාර්තාවට වත්මන් මානව හිමිකම් කවුන්සිලයේ ප‍්‍රධානී මිෂෙලි බැචලේ අද වනතුරු ප‍්‍රතිචාර දක්වා නැත. ඊට මූලික හේතුව වූයේ ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන් යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමට කටයුතු කරන හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා මානව හිමිකම් කවුන්සිල යාන්ත‍්‍රණයේ ඉහළ නිලධාරීනියක් ලෙස කටයුතු කිරීමයි.

මේ පසුබිම මැද දේශපේ‍්‍රමී ජනතාවගේ ඡන්දෙන් බලයට පත් වූ වත්මන් රජයද එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට පිළිතුරු බැඳීම අවශ්‍ය නොවන බවට මතයක් දරනු ලැබීය. එනම් ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම තුළින් යුද අපරාධ චෝදනා එල්ලකිරීමේ ක‍්‍රියාදාමයට අභියෝග කර එම චෝදනා කිරීම තුළින් ආරක්‍ෂක හමුදාව නිර්දෝෂී බව සනාථ කිරීමටද රජය ක‍්‍රියාකළේ නැත. මෙයට පෙර මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකී ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පෙනී සිටීමෙන් මියන්මාර් හමුදාවට එල්ල වී තිබූ යුද අපරාධවලට ප‍්‍රතිචාර දැක්වූවාය. එහෙත් ශ‍්‍රී ලංකාවේ රජය අද අනුගමනය කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක‍්‍රියාදාමයකි. එනම් යුද අපරාධ චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීම එකී චෝදනා පිළිගැනීමට ලක්කිරීමක් යන තර්කය රජය ඉදිරිපත් කර ඇත.

ජනපති සමඟ ජාතික සංවිධාන ප‍්‍රධානීන් කළ සාකච්ඡාවේදී ආරක්‍ෂක හමුදාවලට සම්බන්ධ ස්වභාවික යුක්තිය ඉල්ලා සිටිය යුතු බවට ඉල්ලීමක්ද කෙරුණි. එසේ වුවත් වත්මන් රජයද එම ඉල්ලීම මානව හිමිකම් කවුන්සිලයට යොමුකිරීමට ක‍්‍රියා නොකිරීමෙන් ආරක්‍ෂක හමුදාවලට එම හිමිකම් අහිමි විය.

රජය යුද අපරාධ චෝදනාවලට ප‍්‍රතිචාර නොදක්වන බව වාර්තා වූ විගස ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීහූ සහ හිටපු මානව හිමිකම් කොමසාරිස් අම්බිකා සකුනාදන් ඇතුළු ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහි කොටි හිතවාදීන් යුද අපරාධ චෝදනා උච්චතම තත්ත්වයකට ගෙන ඒමට ක‍්‍රියාකළහ.

හෙට ආරම්භ වන මානව හිමිකම් සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව මුහුණ පා ඇත්තේ එවන් අවාසනාවන්ත තත්ත්වයකටය.

ස්විස් රටෙත් තියෙන අපට එපා කියන ත්‍රස්ත මර්දන පනත

මේ වනවිට ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්නට එරෙහිව පිටු 99ක් සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පිටු 137ක වාර්තා 2ක් යස්මින් සුකා විසින් මානව හිමිකම් කවුන්සිලයට ගොනුකර ඇත. මේ කිසිදු වාර්තාවකට රජය අභියෝග කර නැත. එසේම යස්මින් සුකාගේ නිර්දේශ මත මානව හිමිකම් කොමසාරිස් හමුදා ප‍්‍රධානීන් 56කට එරෙහිව චෝදනා පත‍්‍ර කෙටුම්පත් කර තිබේ. අප වසර ගණනාවක් තිස්සේ ජිනීවා මානව හිමිකම් සැසිවාරවලට ගොස් සුකාගේ ශ‍්‍රී ලංකා විරෝධී මෙහෙයුම අනාවරණය කළ විට රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරකයන් සහ හිටපු දේශපාලකයෙක් මෙලෙස පවසා තිබුණි. ජනපති මෛත‍්‍රීපාල කවුන්සිලයට ගියාම යෝජනාව අස්කරගත්තා යැයි එම දේශපාලකයා ජනතාවට රවටමින් කියා සිටියේය.

මේ අතර පසුගියදා මෙරටට පැමිණි බි‍්‍රතාන්‍ය අමාත්‍ය තරික් අහමඞ් දියත් කළ දෙබිඩි මෙහෙයුමක් අනාවරණය විය. ඔහු ශ‍්‍රී ලංකා රජය සමග සාකච්ඡා කර අනතුරුව ද්‍රවිඩ සන්ධානය සමගද රහස් සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

එහිදී ද්‍රවිඩ සන්ධානය ශ‍්‍රී ලංකා රජය නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම්, රඳවාගැනීම් අතුරුදන් කිරීම් සහ වධහිංසා සිදුකරන බව දක්වමින් පිටු අටක වාර්තාවක් බි‍්‍රතාන්‍ය ඇමතිට භාර දුන්නේය.

මේ වාර්තාවෙන් එල්ල කර ඇති චෝදනාවලට විදේශ කටයුතු බලධාරීන් ප‍්‍රතිචාරය දැක්වූයේ නැත. මාධ්‍යවේදීන් පස් දෙනකුට එරෙහිව ත‍්‍රස්ත මර්දන ඒකකය සිදුකළ හිරිහැර කිරිම් ගැනද එම වාර්තාවේ දක්වා තිබුණි. එහි එක් චෝදනාවක් වූයේ යාපනයේ සිට ක‍්‍රියාත්මක වන යූ ටියුබ් චැනලයක් ඔස්සේ ත‍්‍රස්තවාදය නගාසිටුවීමට ක‍්‍රියාකළ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමයි. ලන්ඩන් නුවර සිට පළ කරන කොටි වෙබ් අඩිවියක් විසින් මියගිය ද්‍රවිඩයන් සැමරූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවට දැක්වෙන තවත් පුවතක්ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වී තිබුණි. මේ හැර කොටි ත‍්‍රස්තයකු වූ තිලීපන් සැමරීමට සෙල්වරාජා කජේන්ද්‍රන් නමැති ද්‍රවිඩ මන්ත‍්‍රීවරයා ක‍්‍රියාකිරීම ගැන අත්අඩංගුවට ගෙන ඇති බවද එහි දැක්වුණි.

2020 දෙසැම්බර් 2දා යාපනයේ සිට මහනුවර දක්වා ධාවනය වූ බස්රියක තිබී ක්ලේමෝ බෝම්බයක් හමු වූ අතර ඒ ගැන තංගරාසා දේවදාසන් ඇතුළු හිටපු කොටි ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක‍්‍රියාකර තිබුණි. එම සිද්ධියද වරදක් ලෙස ද්‍රවිඩ සන්ධාන වාර්තාවේ සඳහන් කර තිබුණි. මෙම සිද්ධිය ත‍්‍රස්තවාදී ක‍්‍රියාවකි.

එසේ වූවත් බි‍්‍රතාන්‍යය ඇමැති අහමඞ් බි‍්‍රතාන්‍යයට ගොස් නව ජීනීවා යෝජනාවක් කෙටුම්පත් කිරීමට ක‍්‍රියා කළේය. ඒ එරට සිටින කොටි ඩයස් පෝරාවේ ඉල්ලීම මතය. මේ අනුව ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා සංඛ්‍යාව තුනක් දක්වා වැඩි වී ඇත. මුලින්ම 30/1 ද 2021 දී 46/1 යෝජනාද සම්මත විය.

30/1 යෝජනාව තුළින් යුද අපරාධ විභාග කිරීම සඳහා දේශීය යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීම එම යාන්ත‍්‍රණය ස්ථාපිත කරනතුරු චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන්ට පරිපාලනය දඬුවම් කිරීම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම අතුරුදන් වූවත් පිළිබඳව සොයා බැලීම පිණිස කාර්යාලයක් පිහිටුවීම අතුරුදන් කිරීම් වැළැක්වීම සඳහා වූ අන්තර් ජාතික පද්ධතිය සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවා ජාත්‍යන්තර මැදිහත්වීමට අවකාශ සැලසීම – 13 වැනි අණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පූර්ණව ක‍්‍රියාත්මක කිරීම යන කරුණු ඉටු කිරීමට යහපාලන රජය එකඟ විය.

එහෙත් 2015 පැවැති රජයේ පාර්ශව මේ එකඟවීම සමස්ත ජනතාවගෙන් වසන් කෙරුණි. එසේම පසුගිය ජනාධිපති කාර්යාලය තුළද එවන් මෙහෙයුම් දියත් කර තිබුණි.

එසේ වුවත් දිගු කලක් තිස්සේ මානව හිමිකම් සමුළුව ආවරණය කළ අප ඒ තුළ සිදුවන තක්කඩි ක‍්‍රියා අනාවරණය කළෙමු.

මේ අතර 2021 මාර්තු මස ශ‍්‍රී ලංකාවට එරෙහි 46/1 යෝජනාව ඉදිරිපත් වී සම්මත විය. එහෙත් අද රාජ්‍ය ඇමැතිවරයකුව සිටින චන්න ජයසුමන හාස්‍යජනක ප‍්‍රකාශයක් කළේය. ඔහු ශ‍්‍රී ලංකාව පරාජය වී නැතැයි කියා සිටියේය. එහෙත් අද සිදුවන්නේ සම්මත වූ 46/1 යෝජනාවට මග පෑදීමයි.

නව ඇමරිකානු තානාපතිනි ජැකි චුන්ද මෙරටට පැමිණීමට පෙර පැවසුවේ තමාගේ ප‍්‍රධාන කාර්යය වගවීමේ කි‍්‍රයාවලිය බවයි. ඇය මේ ප‍්‍රකාශය කරන අවස්ථාවේ ඇමෙරිකානු කොන්ග‍්‍රසයද ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව නඩු විභාගයක් ආරම්භ කර තිබුණි. ඒ මානව හිමිකම් පිළිබඳ ලැන්ටොස් කොමිසම මගිනි. මෙම ලැන්ටොස් කොමිසම යුද අපරාධ ගැන සාක්‍ෂි කැඳවූයේ වින්දිතයන්ගෙන් නොවේ. මෙරට හිටපු මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ අම්බිකා සකුනාදන් නැමැත්තිය සහ වන්නි මෙහෙයුම නුදුටු විදේශිකයන් කීපදෙනෙක් එහිදී සාක්‍ෂි දුන්හ.

මෙම ලැන්ටොස් කොමිසම හමුවේ ඉදිරිපත් කරන සාක්‍ෂි ඇමෙරිකානු දණ්ඩනීති සංග‍්‍රහය යටතේ වලංගු සාක්‍ෂි ලෙස පිළිගැනේ. යම් විටෙක ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ජාතික යාන්ත‍්‍රණය අනුව සර්ව ලෝක අධිකරණ බලය මත නඩුවක් ගොනු වූවොත් ලැන්ටොස් කොමිසම හමුවේ අම්බිකා සකුනාදන් ඉදිරිපත් කළ සාක්‍ෂියද පිළිගැනීමට ලක්වනු ඇත.

එසේම එම ලැන්ටොස් කොමිසම ආරම්භවීමට පෙර 2009 ඔක්තෝම්බර් මස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ මැයි 2 සහ 18 අතර සමයේ ශ‍්‍රී ලංකා හමුදාව සහ කොටි යුද අපරාධ 170කට වගකිව යුතු බවයි. කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඊට අදාළ තොරතුරු රාජ්‍ය දොපර්තමේන්තුවට යවා තිබුණි. එදා ශ‍්‍රී ලංකා රජය මේ ඇමෙරිකානු චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වූවත් මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ ගැන සෙවිය යුතුයි යන මතයේ රැඳී සිටියේය. එහිදී නෝර්වේ සාම දූතයා යැයි හැඳින් වූ එරික් සෝල්හයිම් මානව හිමිකම් කොමිසමේ බලධාරීන් හමුවේ ප‍්‍රකාශයක් කළේය. අනතුරුව 2015 මැයි මස හිටපු මන්ත‍්‍රි චන්ද්‍රකාන්තන්ද ප‍්‍රකාශයක් කර ඇත. ඔහු පැවසුවේ සුදු කොඩි ඔසවා යටත් වූ කොටින්ට තේ පානය කිරීමට සලස්වා හමුදාව ඉන්පසු ඔවුන්ව වෙඩිතබා මරා දැමූ බවයි. එහෙත් එම වෙඩි තැබීම චන්ද්‍රකාන්තන් දුටුවේ නැත. තමාට මේ තොරතුරු හෙළි කළේ මහින්ද රාජපක්‍ෂ රජයේ ඇමැතිවරායෙක් බවද චන්ද්‍රකාන්තන් තවදුරටත් අනාවරණය කර ඇත.

ස්විස් රටෙත් තියෙන අපට එපා කියන ත්‍රස්ත මර්දන පනත

එසේම හිටපු මේජර් ජනරාල්වරයෙක්ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවේ යුද අපරාධ ගැන දිව්රුම් ප‍්‍රකාශයක් ලබා දී තිබේ. මෙයට අමතරව මානව හිමිකම් කවුන්සිලය හමුවේ ජනපති සහ හමුදාපතිට එරෙහිව ප‍්‍රධාන සාක්‍ෂියක් ලබාදී ඇත්තේ එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකාගේ බලය මත හමුදාව සමඟ වන්නියේ සැරිසැරූ බොම්බඩියර් හෙවත් ලලන්ත නානයක්කාර නමැති වාර්තාකරුගේ සාක්‍ෂියයි. මොහු ප‍්‍රධාන සාක්කිකරුවන්ගෙන් එක් අයෙකි. මේ සාක්කිය නිසා ස්විස් රජය ඔහුට සහ පවුලේ අයට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ දුන්නේය. ස්විස් බලධාරීන් ඔහුට පිං පඩියක්ද ගෙවයි. එහෙත් මෙරට දේශපාලකයන් මේ පාවාදීම් ගැන දන්නේ නැත. එහි ප‍්‍රතිඵලය වසර 13කට පසු මානව හිමිකම් කවුන්සිලය ප‍්‍රකාශයට පත්කර තිබේ.

එහෙත් වත්මන් රජය ජුදාස්ලා දෙදෙනකුගේ පාවාදීම ගැන නිහඩව සිටී. මේ පාවාදීම කළ වාර්තාකරුට සම්මානයක් පවා ලබාදීමට ක‍්‍රියාකර තිබුණි. ද්‍රවිඩ නිජබිම පිළිගත යුතුයැයි පවසා සාධාරණ සමාජය නමින් අටවාගෙන ඇති සංවිධානයකට සම්බන්ධ තවත් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරියෙක් පැවසුවේ නිව්යෝර්ක් හිදී හිටපු ජනපති කළ කතාව ගමන් මග නිවැරදි කළ බවයි. එහෙත් දැන් සිදුවන්නේ කුමක්ද? ගමන් මග දිගටම කි‍්‍රයාත්මක වී අපේ හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ.

ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වගවීමේ ව්‍යාපෘතිය නමින් ශ‍්‍රී ලංකාවට එරෙහි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඉන් ඇය යුද අපරාධ දුටුවන්ගෙන් සාක්‍ෂි කැඳවා ඇත. එම සාක්‍ෂිකරුවන්ට මුක්තිය හිමිවන බවත් ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන බවටද ඇය පොරොන්දු වී තිබේ. එසේම සමූහ මිනීවලවල් තිබේද යන්න දැන ගැනීමට චන්ද්‍රිකා ඡායාරූප තිබේ නම් තමාට එවන ලෙසද බැෂලේ ඉල්ලා සිටියාය. එහෙත් ස්වභාවික යුක්තිය ඉල්ලා නොසිටීමට ශ‍්‍රී ලංකා විදේශ කටයුතු බලධාරීන් තීරණය කර ඇත. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ජාතික සංවිධාන ප‍්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවේදී ද ඊට අනුමැතියක් හිමි නොවුණි. ඒ වනවිට යස්මින් සුකා අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 169,000ක් දක්වා වැඩිකර තිබුණි. මේ පසුබිම මැද යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් බරපතළ ප‍්‍රශ්නයකට මුහුණ පා ඇත. බි‍්‍රතාන්‍ය රජය යුද අපරාධ එල්ල වූ තම සෙබළුන් බේරා ගැනීමට පාර්ලිමේන්තු පනත් සම්මත කරද්දී එවැනි පනතක් ගෙනඒමට ශ‍්‍රී ලංකා රජය ක‍්‍රියාකර නැත. එසේම මෙම යුද අපරාධ චෝදනා තම රටේ ෙසෙවරීභාවය උල්ලංඝණය කරන්නක් යැයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී අභියෝග කිරීමටද ශ‍්‍රී ලංකා රජය ක‍්‍රියාකළේ නැත. මෙලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මාර්තු 3 වැනිදා මානව හිමිකම් සැසිවාරයට ශ‍්‍රී ලංකාවට එරෙහි සිය වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේ යුද අපරාධ චෝදනාවලට අභියෝග නොකිරීමේ උගුලට ශ‍්‍රී ලංකාව ගොදුරු වී ඇත. මේ උගුල ඇටවූයේ කව්ද? වත්මන් රජය සතුරන් කව්ද මිතුරන් කව්ද යැයි අවබෝධ කර ගැනීමට අසමත්වීමේ භයානක ප‍්‍රතිඵලය නම් යුද අපරාධ චෝදනාවලට අභියෝග නොකිරීමයි. එහි ප‍්‍රතිඵලය නම් චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්්ට රටවල් කීපයකදී එකවර නඩු පැවරීමේ අවස්ථාවක් උදාවීමයි. මෙලෙස ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ශ‍්‍රී ලංකාව අසරණ තත්ත්වයකට පත්වන අවස්ථාවේ මෙරට නව ඇමෙරිකානු තානාපතිනි ජැකී චුන් කැලිෆෝනියාවේදී ශ‍්‍රී ලාංකික කණ්ඩායමක් සමඟ හදිසි සාකච්ඡාවක් පවත්වා ඇත. මේ සාකච්ඡාව සංවිධානය කළේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවයි. මෙහිදී ජැකීචුන් මෙලෙස ප‍්‍රකාශ කර ඇත. මගේ ප‍්‍රමුඛතාවන් දෙන මුල්ම කාර්යය වගවීමේ ක‍්‍රියාවලියයි. ඊට මානව හිමිකම්ද ඇතුළත් වෙනවා. මේ වගවීමේ ක‍්‍රියාවලිය යනු මෙරට හමුදා නිලධාරීන්ට යුද අපරාධ සිදු කිරීමේ චෝදනා මත දඬුවම් කිරීමය.

කැලිෆෝනියාවේ ශ‍්‍රී ලංකා පදනම යැයි හඳුන්වාගත් සංවිධානයක් සමඟ ජැකී චුන් පැවැත් වූ එම සාකච්ඡාවට පැමිණ සිටි කිසිදු ශ‍්‍රී ලාංකිකයෙක් ඇමෙරිකන් හමුදාව තාලිබාන් සිරකරුවන් 2000ක් කන්ටේනර්වල දමා වසා මරාදැමීම ගැන වගවීමේ ක‍්‍රියාවලියක් ආරම්භ නොකරන්නේ මන්ද යැයි ප‍්‍රශ්නකර නැත. ඇමෙරිකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය පරීක්‍ෂණ ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම අධිකරණයේ විනිසුරුවැන්ට වීසා සහ ඔවුන්ගේ වත්කම් තහනම් කරන බවට තර්ජනය කිරීම ගැන ඔබ කියන්නේ කුමක්දැයි පවා ප‍්‍රශ්න කර නැත. 49 වැනි ජිනීවා සමුළුව තුළ මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ 46/1 යෝජනාව ක‍්‍රියාත්මක කිරීම තුළින් ඇය ශ‍්‍රී ලංකාවට එරෙහිව ආරම්භ කරන තක්කඩි මෙහෙයුම ජනතාවගේ දැන ගැනීමට අපි ඉදිරිපත් කරන්නෙමු.

  1. යුද අපරාධ සාක්‍ෂි රැස්කිරීම, සම්පීඩනය කිරීම, විශලේෂණය කිරීම සහ සංරක්‍ෂණය කිරීම

2 මානුෂීය හිමිකම් කඩකිරීම ගැන අනාගතයේදී වගවීමේ ක‍්‍රියා පටිපාටියක් සඳහා ක‍්‍රමෝපායන් ඇරඹීම

3 වින්දිතයන් සහ පීඩාවට පත් වූවන් වෙනුවෙන් පෙනීසිටීම

  1. අධිකරණ බලය ඇති සාමාජිකයන්ට අධිකරණ පියවර ගැනීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සහය දීම මෙම ක‍්‍රියාමාර්ග ඉටු කිරීමට 46/1 යෝජනාව තුළින් මිචෙලි බැෂලේට මැන්ඬේට් හෙවත් බලාධිකාරය ලැබුණි. එහෙත් ශ‍්‍රී ලංකාව එම යෝජනාවට එරෙහි විය. එසේ වූවත් වත්මන් රජය ආරක්‍ෂක හමුදා නායකයන්ට චෝදනා ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයට හෙවත් එකවුන්ටබිලිටි ප්‍රොජෙකට් නමැති ව්‍යාපෘතියට විරුද්ධ වූවත් එම ජාත්‍යන්තර යාන්ත‍්‍රණයට අභියෝග කළේ නැත. මෙය බරපතළ වරදක් වේ. පසුගිය රජයද ස්වභාවික යුක්තිය ඉල්ලා සිටියේ නැත. මානව හිමිකම් සමුළුවද එය ලබාදීමට කටයුතු කළේ නැත. මේ ස්වභාවික යුක්තිය ආරක්‍ෂක හමුදාවේ ප‍්‍රධාන අයිතිවාසිකමකි. ජිනීවා මානව හිමිකම් සමුළුව ඉදිරිපත් කළ ප‍්‍රධාන චෝදනාවලට නීතිමය සාක්‍ෂි ගොනු කිරීම වත්මන් රජයේ වගකීම වුවත් මේ වනතුරු එය ඉටු නොකිරීම බරපතළ වරදක් වේ. මින් තහවුරු වන්නේ ශ‍්‍රී ලංකාවේ රජයද උගුලකට හසුවීමකි. මේ වනවිට යුද අපරාධ චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීමේ ක‍්‍රියාවලියෙන් ජනපතිව වලක්වන්නේ කවුදැයි ජාතික සංවිධාන ප‍්‍රධානීන්ට අනාවරණය වී තිබේ. එම අබිරහස් හස්තය විදේශ රටවල සිට ආරක්‍ෂක හමුදා ප‍්‍රධානීන්ව බේරාගැනීමට සටන් කළ ශ‍්‍රී ලාංකිකයන්ටද අවබෝධ වී තිබේ.
ස්විස් රටෙත් තියෙන අපට එපා කියන ත්‍රස්ත මර්දන පනත

2022 පෙබරවාරි 28 වැනිදා වනවිට යස්මික් සුකා ශ‍්‍රී ලංකාවට එරෙහිව කෙටුම්පත් කළ වාර්තා සංඛ්‍යාව 178ක් වේ. මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ නිලධාරිනියක් ලෙස කටයුතු කරමින් ඇය හමුදාපති, ආරක්‍ෂක ලේකම් සහ මේජර් ජනරාල්වරු 6ක් ඇතුළු හමුදා නිලධාරීන් 28 කට ගොනුකර ඇති වාර්තාවලට අදාළව සාක්‍ෂි එකතු කිරීම නීති විරෝධී වේ. ඇයට ඒ සඳහා බලාධිකාරයක් පවරා නැත. මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යනු මානව හිමිකම් උල්ලංඝණය කරන්නන්ගේ ආයතනයක් ලෙස හැඳින්විය හැකිය. ඒ බව තහවුරු වන්නේ ශ‍්‍රී ලංකාවට එරෙහි තෙවැනි යෝජනාවට අනුග‍්‍රහය දක්වන්නේ කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, මැසිඩෝනියාව සහ මලාවි යන රටවල් යුද අපරාධ සිදුකර ඇති බවට හෙළිවීමයි.

මේ අතර රජයේ මානව හිමිකම් කොමිසම එකවරම ප‍්‍රකාශයක් කරමින් ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු යැයි රජයට නිර්දේශ කළේය. එය රටේ ජනතාවගේ තීරණයක් නොවේ. ස්විස් රජය ජනමත විචාරනයක් පවත්වමින් ත‍්‍රස්ත මර්දන පනත ගැන ජනමතය විමසූ විට ස්විස් ජනතාව පැවසුවේ රටේ ආරක්‍ෂාවට එය අවශ්‍ය බවයි.

මේ ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළහොත් මේ වනවිට රැඳවුම්භාරයේ සිටින ඉස්ලාමීය අන්තවාදීන් 310ක් ඇතුළු 520 කට නිදහස හිමිවනු ඇත. එසේම උතුරු නැගෙනහිර සිදුවන ත‍්‍රස්තවාදය ප‍්‍රවර්ධනය කිරීම, ත‍්‍රස්තවාදී මිනීමැරුමක් සැමරීම ඇතුළු කටයුතුවලට සම්බන්ධ වූවත් අත්අඩංගුවට ගැනීමට ද නොහැකි වේ. එම පනතට එරෙහිව මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ මෙවර නව වාර්තාවෙන් ශ‍්‍රී ලංකාවට චෝදනා කර ඇත. පිටු 17 කින් සමන්විත ඇගේ වාර්තාවෙන් පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රගතියක් නොවීමත් පොලිස් අත්අඩංගුවේදී සිදුවන ඝාතන ගැනද වසර 2ක් ගත වී ඇතත් වගවීමේ ක‍්‍රියාවලියක් ඉටු නොවීම ගැනත් තවදුරටත් රජයට චෝදනා නගා තිබේ. මෙයට අමතරව නීතිපති කෙරේද ඇය විවේචනයක් කර ඇත. මාර්තු 3 වැනිදා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙන එම වාර්තාවේ තොරතුරු මේ වනවිට කොටි ඩයස් පෝරාවටද අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment