ශ්‍රී ලංකා කණ්ඩායම ගෙදර එයි

287

ඩුබායි හි පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සහභාගි වීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (14 වැනිදා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය. ක්‍රීඩකයන් සහ නිලධාරීන් 27 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට ඉකුත් 12/06 දින ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන් සහභාගි වූ 12/09 දින ජපානය සමග පැවති තරගයෙන් ජයග්‍රහණය කළ ද ඉන්පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බංග්ලාදේශය සමග පැවති තරග වලින් පරාජයට පත් වීම නිසා, ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබුණි.

සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම 12/14 දින රාත්‍රී 10.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ. – 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී මෙම පරාජයන් පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සිනෙත් ජයවර්ධනගෙන් මාධ්‍යවේදීන් විමසූ විට “අපි හිතා ගෙන සිටිය දේ කර ගැනීමට බැරිව ගියා ” යැයි සඳහන් කළේය.

තවත් ක්‍රීඩකයන් කීප දෙනකු ඊයේ (15 දින) රාත්‍රීයේ ද කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment