දෙවැනි සිව්කොන් ආරාධිත පාපන්දු තරගාවලිය ජූනි මස

63

දෙවෙනි සිව්කොන් ආරාධිත ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය 2024 වසරේ ජූනි මස පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇත.

අදාළ තරගාවලිය සඳහා මාලදිවයින, බෲනායි සහ මකාවෝ යන රටවලට ඇරයුම් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා සඳහන් කර සිටී.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් 2021 වසරේ පළමු වරට සංවිධානය කරන ලද මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් ආරාධිත ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය සඳහා බංග්ලාදේශය, මාලදිවයින, සීෂෙල්ස් සහ සත්කාරක ශ්‍රී ලංකාව සහභාගි වූයේය. ශ්‍රී ලංකාවට එහි අනුශූරතාව හිමි වූ අතර සීෂෙල්ස් කණ්ඩායම ශූරතාවය හිමිකර ගත්තේය.

ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු තරගාවලියක් මෙරට දී දැකබලා ගැනීමේ අවස්ථාව උදාකර දීමේ අරමුණෙන් මෙම තරගාවලිය වාර්ෂිකව සංවිධානය කිරීමට ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කොට ඇත.

මෙම තරගාවලිය ඇතුළු 2024 වසරේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙරට දී සහ විදේශයන්හිදී සහභාගිවීමට නියමිත ජාත්‍යන්තර තරග කිහිපයක් ඉලක්ක කොට ගෙන ජාතික සංචිතයේ පුහුණුවීම් ලබන 20 සිට ආරම්භ කිරීමට විධිවිධාන යොදා ඇත. ඒ සඳහා දේශීය ක්‍රීඩකයන් 20 ගෙන් සමන්විත ජාතික සංචිතයක් පිහිටුවා ඇත.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment