විදේශීය මැණික් ව්‍යාපාරිකයන්ටත් වෙළෙඳ කුටි…

ඕනෑම පුද්ගලයකුට මැණික් ගල් පරීක්‍ෂා කරගැනීමට අවස්ථාව…

මැණික් කර්මාන්තය පිළිබඳ නොමිලේ දැනුවත් කිරීමේ වැඩමුළු…

ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානයේ තවම අවසාන පළමු අදියරේ වැඩ විතරයි…

රත්නපුරය ආලෝකවත් කරන මිණි පහන දැල් විණි. ඒ රත්නපුර නගරයේ දෙමුවාව ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානයයි. පසුගිය 04 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් එම වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත වීමත් සමග එය නැරඹීමට විදේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන බව ද ආරංචිය. රත්නපුරයට පමණක් නොව, එය රටට ම සුබ පණිවිඩයකි. කාලයක් අපේ රට ලෝකය හඳුනාගෙන සිටියේ ‘රත්නදීප’ නමිනි. ‘සිටි ඔෆ් ජෙම්ස් රත්නපුර’ ලෝක වෙළෙඳපොළේ ප්‍රසිද්ධ නාමයකි. රත්නපුර නගරයේ විවෘත වන ‘ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය’ නිසා නැවතත් අපේ රට ලෝක ප්‍රසිද්ධියට පත්වීමට ඉඩ තිබේ. ඒ මිණිපුර පොළොවේ මෙන්ම සේප්පුවල තිබෙන ලොව වටිනාම මැණික් ජාත්‍යන්තරයට යෑමත් සමගය.

ලෝකයේ වටිනාම මැණික් ලැබෙන රටවල් අතර අපේ රට ඉදිරියෙන් ම සිටී. ලොව වටිනාම නිල් මැණික් ලැබෙනුයේ රත්නපුර යෙනි. ලෝකයේ ලැබෙන මැණික්වලින් පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සියලු මැණික් වර්ග මෙරට පොළොවෙන් මතු වේ. මෙරට මැණික්වලට ජාත්‍යන්තරයේ ඇති ඉල්ලුම ද ඉතා ඉහළය. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තරමට අපේ මැණික් ලෝකයට වටින්නේය. එමෙන්ම මැණික් කර්මාන්තය හරහා විශාල විදේශ විනිමයක් මෙරටට ගලා එන බව ද සැබෑය. මේ වනවිට මෙරට ආර්ථිකයට වැඩි ම අපනයන ආදායමක් ලබාදෙනුයේ මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයෙනි. මහා බැංකු වාර්තාවලට අනුව පසුගිය වර්ෂයේ පළමු කාර්තු දෙකේ පමණක් මෙරට ආර්ථිකයට 34%ක වාර්තාගත ආදායමක් ලබාදී තිබිණි. එමෙන්ම මැණික් කර්මාන්තය හරහා රට පුරා විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය වී ඇති බව ද සැබෑය. මැණික් කර්මාන්තයේ එවැනි ස්වර්ණමය පසුබිමක ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානයක් මිණිපුර විවෘත වීම අතිශය වැදගත් ය. කොළඹ ඉදිකිරීමට යෝජනා වී තිබුණු ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය මිණිපුර ස්ථාපිත කිරීමට මූලිකත්වය ලබාදුන් සියලුදෙනාට මෙරට පුරවැසියන් විදිහට ප්‍රණාමය පුද කළ යුතුය. මිණිකැට උපදින්නේ කොළඹ නොව, මිණිපුරය. සබරගමු පළාතේ ය. එහෙයින් ජාත්‍යන්තර මැණික් වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිකිරීමට සුදුසුම නගරය රත්නපුර ය.

ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිකිරීමට මුල්ගල් තැම්පත් කරනු ලැබුවේ 2021 වර්ෂයේ ජනවාරි 15 වැනිදා ය. එවකට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමල් වීරවංශ මහතාගේ සුරතිනි. පර්චස් දෙසීයකට වැඩි විශාල භූමි භාගයක ගොඩනැඟෙන එම වෙළෙඳ මධ්‍යස්ථානය අදියර දෙකක් තුළ වැඩ අවසාන කිරීමට පිඹුරුපත් සකස් කොට තිබිණි. එහි පළමු අදියර ලෙස මහල් 5ක වැඩ අවසාන කොට මැණික් වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කරන ලදී. ඒ මහා ගොඩනැඟිල්ලේ පහළ මහල ශ්‍රී ලංකා මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සේවා සැපයීමට වෙන් කර තිබේ. පළමු, දෙවැනි සහ තෙවැනි මහල් ත්‍රිත්වය මැණික් අලෙවි කිරීමේ වෙළෙඳ කුටි ස්ථාපිත කර තිබේ. එම මහල් තුන තුළ වෙළෙඳ මධ්‍යස්ථාන 27ක් විවෘත කර තිබේ. වර්ග ප්‍රමාණය මත මිලියන 3.5 සිට මිලියන 7.5ක් දක්වා වෙළෙඳ කුටිවල මිල නියම වී තිබේ. මේ වනවිටත් පළමු මහලේ වෙළෙඳ කුටි නවයම විකිණී අවසානය. එම වෙළෙඳ කුටි මිලදී ගෙන ඇත්තේ රත්නපුරයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයන්ය.

විදේශීය මැණික් ව්‍යාපාරිකයන් දසදෙනකුට වෙළෙඳ කුටි ලබාදීමට මැණික් අධිකාරිය තීරණය කර තිබේ. ඉහළම මහලේ සුඛෝපභෝගී ආපනශාලාවක් විවෘත කර තිබේ. මැණික් පරීක්‍ෂා කරගැනීමට රසායනාගාර පහසුකම් ඇතුළුව, සැපයුම්කරුවන් සහ ගනුදෙනුකරුවන් එකිනෙකා මුණගස්වමින් එකම වහලක් යට දී විශ්වසනීය අයුරින් මැණික් ගනුදෙනුවක් සිදු කර ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය තුළ ස්ථාපිත කර තිබේ. එමෙන්ම මෙරට පතල්වලින් ලැබෙන ඉහළම වටිනාකමකින් යුක්ත මැණික්වලට මෙන්ම පහළම වටිනාකමක් සහිත පුංචි ගල් කෑලිවලට පවා ජාත්‍යන්තර මැණික් වෙළෙඳ මධ්‍යස්ථානයේදී මිලක් ලබාදීමට කටයුතු සංවිධානය වී තිබේ. ජාත්‍යන්තරයේ සිටින ඉහළම මැණික් ගැනුම්කරුවන්ට සහ ලංකාවේ පහළම පන්තියේ මැණික් ගැනුම්කරුවන්ටත් මැණික් මිලදී ගැනීමට ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළ තුළ අවස්ථාව ලබාදී තිබේ. එහෙයින් රත්නපුර, ඇහැළියගොඩ, නිවිතිගල, කහවත්ත ආදී ප්‍රදේශවල මහ මඟ කෙරෙන මැණික් වෙළෙඳාමට ස්ථිර වෙළෙඳපොළක් නිර්මාණය වී තිබෙන බව ද පෙනේ.

එමෙන්ම විවිධ ක්‍ෂේත්‍රයන්ට විහිදෙන මැණික් කර්මාන්තය තුළ රත්න විද්‍යාව ප්‍රගුණ කළ පිරිස්, පතල් කැණීම්කරුවන්, මැණික් අලෙවිකරුවන්, අතරමැදියන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු මැණික් කර්මාන්තයේ සියලු ක්‍ෂේත්‍ර නියෝජනය කරන පිරිස් සිටිති. ඒ සියලු වෘත්තිකයන්ට නිදහසේ තම වෘත්තිය කරගෙන යෑමට ඇවැසි පසුබිම ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය තුළ ස්ථාපිත කර ඇත. එම වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමග මැණික් අලෙවි කර ගැනීමට, පරීක්‍ෂා කිරීමට කොළඹට පැමිණීමේ දී සිදු වූ කාලය නාස්ති වීම නතර වේ. වටිනාකමින් අධික මැණික් පැය තුනක කාලයක් ප්‍රවාහනය කිරීමේදී පවතින අවධානම නැති වේ. රත්නපුර ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානයේදී පැය භාගයක්, පැයක් ඇතුළත මැණික් ගනුදෙනු සම්පූර්ණයෙන් අවසන් කිරීමට අවස්ථාව උදා වී තිබේ. කිසිදු අපහසුතාවකින් තොරව විශ්වසනීය ආකාරයට මැණික් ගල් රසායනික පරීක්‍ෂාවකට ලක්කොට සහතික පත් නිකුත් කරනු ලැබේ.

දැන් මැණික් විකුණන්න පිටරට යන්න ඕනෙ නෑ…ජාත්‍යන්තර මැණික් වෙළෙඳ පොළක් රත්නපුරෙත් විවෘතයි

මැණික් හා ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙක්ට පැමිණ මැණික් ගල් පරීක්‍ෂා කරගැනීමට අවස්ථාව ලබා දී තිබේ. එමෙන්ම රත්නපුර මැණික් වෙළෙඳ මධ්‍යස්ථානය තුළ දී මැණික් අලෙවිකරණය සම්බන්ධයෙන් පූර්ණ දැනුවත් කිරීම් සිදු කරනු ලැබේ. මැණික් කර්මාන්තයේ නියැළෙන සියලු ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරනු ලැබේ. විශේෂයෙන්ම ලෝක මැණික් වෙළෙඳපොළ සමග ගනුදෙනු කරන ආකාරය, ලෝක මැණික් කර්මාන්තය ගැන නිරන්තරයෙන් දැනුම ලබාදෙනු ලැබේ. ඒ තුළින් මැණික් කර්මාන්තයේ නියැළී සිටින සියලු පාර්ශ්වවලට සම සේ ප්‍රතිලාභ බෙදී යමින් යල් පැනගිය සාම්ප්‍රදායික මැණික් කර්මාන්තයට නව තාක්‍ෂණය එකතු කරන ස්වර්ණමය යුගයක් නිර්මාණය වන බවට පෙර නිමිති පහළ වෙමින් තිබේ.

මෙරට මැණික් කර්මාන්තයේ නියැළී සිටින බහුතරය ජීවත්වනුයේ සබරගමුව පළාතේය. පතල් කර්මාන්තයේ නියැළී සිටින කම්කරුවන් පනස් දහසකට වැඩි පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් ජීවත් වෙති. මැණික් ලැබෙන ඉඩම්වලින් වැඩි භූමි ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ය. මෙරට පොළොවෙන් ලැබෙන මැණික්වලින් 70%ක් 80%ක් ලැබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. මෙරට පමණක් නොව, ලෝකයම පිළිගත් මැණික් වෙළෙඳපොළ නිර්මාණය වී ඇත්තේ රත්නපුරයේ ය. එහෙත් මිණිපුර පොළොවේ නිධන්ගත මැණික් කැටවලින් 20%ක් තවම මතුකරගෙන නැති බව වාර්තා වේ. දැනට කැණීම් කරමින් සිටිනුයේ ද්විතීක නිධිය පමණි. ප්‍රාථමික නිධිය ආසන්නයට හෝ ළඟා වී නොමැත. එමෙන්ම දැනටත් ගෙවුඩ මැණික් විපරීත වෙමින් තිබෙන බව මැණික් කර්මාන්තයේ විශේෂඥයන්ගේ මතයයි. පොල් කටුවක් හැඩයට නිර්මාණය වී තිබෙන රත්නපුර ප්‍රදේශයට අදටත් මිණිකැට පහළට ගලා බසිති. එහෙයින් තව පරම්පරා ගණනාවකට අපේ රටේ මැණික් තිබේ. එමෙන්ම සබරගමුව පළාතේ මැණික් තිබෙන පුද්ගලයන් බොහෝ සිටිති. ඒ බහුතරයකට මැණික් අලෙවි කරගැනීමට අවශ්‍ය දැනුම නැත. එමෙන්ම මැණික් සහ පතල් යන දෙකම තිබෙන අය ද එම පළාතේ බොහෝය. එහෙත් ඒ මිනිසුන්ට ද ජාත්‍යන්තර තලයට යන මාර්ගය ගැන අවබෝධයක් නැත. එවැනි නොදැනුවත් පුද්ගලයන්ට අවශ්‍ය දැනුම නොමිලේ ලබාදීමට ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානයේ පුහුණු නිලධාරීහු සේවයේ නිරතව සිටිති. ඒ තුළින් ඔබේ මැණිකට ලෝක වෙළෙඳපොළේ පවතින උපරිම මිල ලබාදීමට ඇවැසි සියලු දැනුවත් කිරීම් ජාත්‍යන්තර මැණික් වෙළෙඳ මධ්‍යස්ථානයෙන් ලබාදෙනු ඇත. දේශීය මෙන්ම විදේශීය මැණික් ගනුදෙනු සිදු කෙරෙන නිසා රත්නපුර ජාත්‍යන්තර මැණික් වෙළෙඳ මධ්‍යස්ථානය හරහා මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. ශ්‍රී ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමයේ සභාපති යූ. ජී. චන්ද්‍රසේන මහතා ද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත වීම ගැන සතුටින් කතා කළේය.

“මෙරට මැණික් සංස්ථාව ආරම්භ කළේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාය. පසු කාලීනව එම සංස්ථාව අධිකාරියක් බවට පත් වුණා. අධිකාරියක් වුණාට පස්සේ මැණික් කර්මාන්තයට යම් සේවයක් වුණා නම් ඒක තමයි මේ විවෘත වෙච්ච ජාත්‍යන්තර මැණික් වෙළෙඳ මධ්‍යස්ථානය. රත්නපුරයට විතරක් නෙමෙයි, සමස්ත රටට ම සම්පතක්. මේ වෙළෙඳ මධ්‍යස්ථානයේ තවම වැඩ අවසන් නෑ. තට්ටු 17ක ගොඩනැඟිල්ලක් මේ සමග ඉදිවෙමින් පවතිනවා. ඒ ගොඩනැඟිල්ලේ වාහන අංගණයක්, මැණික් වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක්, ශ්‍රවණාගාරයක්, මැණික් කෞතුකාගාරයක්, මැණික් වෙළෙඳසල්, මෙරට බැංකු ශාඛා වගේම ලෝකයේ විවිධ රටවල බැංකු ශාඛා විවෘත කිරීමට නියමිතයි. ආරක්‍ෂිත සේප්පු ක්‍රමයක් හඳුන්වාදීමට යෝජිතයි. මැණික් පමණක් නොව, වෙනත් බඩු භාණ්ඩ සහ සේවා සපයන සාප්පු සංකීර්ණයක් ඇතුළු තවත් සේවා ස්ථාන රාශියක් ස්ථාපිත කෙරෙනවා. දෙවැනි අදියරේ වැඩත් කඩිනමින් අවසන් කර දෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපි ඉල්ලීමක් කළා. ජාත්‍යන්තර මැණික් වෙළෙඳ මධ්‍යස්ථානයත් සමග රත්නපුරය සංචාරක පුරවරයක් කරන්නත් පුළුවන්. විදේශීය සංචාරකයන්ට නැරඹීමට ස්ථාන රාශියක් රත්නපුර දිස්ත්‍රික්කය පුරා තිබෙනවා. සිරීපාදය, සුමන සමන් දේවාලය, සිංහරාජ රක්‍ෂිතය, උඩවලව වනඋද්‍යානය, බෙලිහුල් ඔය, සමනල වැව, දියඇලි 17ක් තියෙනවා. නෙත්, සිත් පිනවන තවත් ස්ථාන රාශියක් රත්නපුර දිස්ත්‍රික්කය තුළ තියෙනවා. විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට මේ ස්ථාන යොමු කළොත් අතිවිශාල විදේශීය විනිමයක් උයාගන්න පුළුවන්. රත්නපුරය සංචාරක පරාදීසයක් කරන්න ව්‍යපාපාරිකයෝ විදිහට අපිත් රජය සමග එකතු වෙන්න ඕනෑ. ගම, කර්මාන්තය දියුණු කිරීමට කැපවීම ප්‍රදේශවාසීන් විදිහට අපෙත් වගකීමක්. ඒ වගේම මැණික් කර්මාන්තයට ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනෑ. විද්වත් මණ්ඩලයක් හරහා ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕනෑ…” සභාපතිවරයාගේ අදහස පැහැදිලිය. රත්නපුර දිස්ත්‍රික්කය සංචාරක පුරවරයක් බවට පත් කිරීමට ඇවැසි යටිතල පහසුකම් තිබේ. එහෙත් අදාළ බලධාරීන්ට සහ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් තවම අවබෝධයක් නැති බව අපට පෙනෙන යථාර්ථයකි.

ලෝකයේ මැණික් වෙළෙඳපොළ ජයගෙන සිටිනුයේ තායිලන්තයයි. ආසියාවේ විශාලතම මැණික් වෙළෙඳ මධ්‍යස්ථාන දෙක පිහිටා ඇත්තේ තායිලන්තයේ බැංකොක් නුවර සහ චීනයේ ෂෙන්හායි නුවරය. ආසියාතික රටවල මෙන්ම යුරෝපීය රටවල මැණික් ව්‍යපාරිකයන් බහුතරය මැණික් මිලදී ගැනීමට පැමිණෙනුයේ එම වෙළෙඳ මධ්‍යස්ථානවලට ය. එම මැණික් වෙළෙඳ මධ්‍යස්ථාන බැබළෙන්නේ මැණික් සහ රත්තරන් මිශ්‍ර ස්වර්ණාභරණ අලෙවිය නිසාය. මැණික් ගලකට රත්තරන් මිශ්‍ර කළවිට එහි වටිනාකම තෙගුණ, සිවුගුණ වනු ඇත. තායිලන්ත මැණික් වෙළෙඳපොළේ වාර්ෂික රාජ්‍ය ආදායම අතිවිශාලය. එහෙත් එම මැණික් වෙළෙඳ මධ්‍යස්ථානවල බහුලව අලෙවි කරනුයේ ආනයනික මැණික්ය. විශේෂයෙන්ම තායිලන්ත මැණික් වෙළෙඳ පොළේ බහුලව අලෙවි කරනුයේ මෙරටින් සහ අප්‍රිකානු රටවලින් ආනයනය කරනු ලබන මැණික්ය. තායිලන්තයේ මැණික් ලැබෙන්නේ 5%ටත් අඩු ප්‍රමාණයකි. ඒ මිණි කැටත් පළමු, දෙවැනි ශ්‍රේණියේ නොව, හයවෙනි ශ්‍රේණියේ සහ ඊටත් වඩා පහළ වටිනාකමින් යුක්ත මැණික් ය. ලොව වටිනාම මිණිකැට උපදින රත්නපුරේ ජාත්‍යන්තර මැණික් වෙළෙඳ මධ්‍යස්ථානය ආරම්භ වී ඇති බව ලෝක ප්‍රසිද්ධියට පත්වීමත් සමග තායිලන්ත මැණික් වෙළෙඳපොළට යන ගනුදෙනුකරුවන් බහුතරය මෙරටට එන බව අපගේ විශ්වාසයයි.

එමෙන්ම එම වෙළෙඳ මධ්‍යස්ථාන තුළ දී ලොව සුපතල නව නිපැයුම්වලින් යුක්ත මැණික් සහ රත්තරන් ආභරණ සාධාරණ මිල ගණන්වලට අලෙවි කිරීමටත් කටයුතු සංවිධානය කර ඇති බව වාර්තා වේ. එහෙයින් මැණික් ගැනුම්කරුවන්ට පමණක් නොව, මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට විශ්වසනීය අයුරින් මැණික් සහ මැණික් ඔබ්බන ලද ආභරණ මිලදී ගැනීමට අවස්ථාව උදා වී තිබේ. මැණික් දිස්නෙ දෙන්නේ රත්තරන් මිශ්‍ර වූ විටය. රත්තරන්වල දීප්තිය වැඩියෙන් ඔපවත් වනුයේ මැණික් එකතු වූ විටය. මෙපණ කාලයකට මෙරට මැණික්වලට රත්තරන් එකතු කරන විධිමත් වෙළෙඳපොළක් පැවැතියේ නැත. එහෙත් මේ වනවිට මෙරට විශාල ස්වර්ණාභරණ වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ. දේශීය ගෘහ කර්මාන්තයක් ලෙස ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැළෙන හාරපන්දහසක පිරිසක් රට පුරා විසිරී සිටිති. එම ව්‍යාපාරිකයන් දිරිමත් කිරීමට කිසිදු රජයකින් සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණකි. රත්නපුර ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය විවෘත වීමත් සමග ඔවුන්ට ද හොඳ කලදාසවක් උදාවනු ඇතැයි අපි විශ්වාස කරමු.

එහෙයින් රත්නපුරේ ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය හරහා සමස්ත මැණික් කර්මාන්තයේ නියැළී සිටින සියලු පාර්ශ්වවලට මෙන්ම ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැළි සිටින නිර්මාණකරුවන්ට, ව්‍යාපාරිකයන්ට ස්වර්ණමය යුගයක් නිර්මාණය වන බවට පෙර නිමිති පහළ වෙමින් තිබේ. එය මෙරට පුරවැසියන්ට හද පිනවන සුබ පණිවිඩයක් වන බව නියතය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment