ලංවිම ප්‍රමාද පොලී බිලියන 15ක් ගෙවයි

44

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය හා ඉන්ධන මිල දී ගැනීමේ දී නියමිත වෙලාවට ගෙවීම් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් බිලියන 15.47ක මුදලක් ප්‍රමාද පොලී ලෙස 2022 වර්ෂයේ දී ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

විදුලිය මිලදී ගැනීමේ දී අදාළ බලශක්ති නිෂ්පාදකයින් වෙත ගෙවා ඇති ප්‍රමාද පොලී මුදල රුපියල් බිලියන 6.55කි. ඉන්ධන මිල දී ගැනීමේ දී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත රුපියල් බිලියන 8.92ක මුදලක් ගෙවා තිබුණි. එමෙන්ම දේශීය බැංකු ණය සම්බන්ධයෙන් මණ්ඩලය විසින් ණය වාරික ගෙවීම ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් මිලියන 11.17කට සමාන මුදලක් පැහැර හැරීමේ පොලී ලෙස ගෙවා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මේ පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ඉන්ධන සහ සියලු ගෙවීම් සඳහා විදුලිබල මණ්ඩලය ද්‍රවශීලතාවය අතින් අසීරු තත්ත්වයකට පත්ව සිටි බවය. වසර ගණනාවක් තිස්සේ මෙම ප්‍රමාද පොලී මුදල් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් වෙනම අරමුදලක් ලබාදී ඇති බවය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල් මහා භාණ්ඩාගාරය විසින් භාර ගැනීම තීන්දුකොට ඇති බවද විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment