ඉරානයෙන් ශ්‍රී ලංකාවට පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් රැසක්

94

ඉරාන ජනරජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1.8 කට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ප්‍රදානය කෙරිණි. ඉරාන තානාපති හෂිම් අෂිද් මහතා විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත එම අමාත්‍යාංශයේදී භාරදීම සිදුවිය. මෙම පරිත්‍යාගය යටතේ මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ රැසක් අඩංගු වේ. ඒ අතර පිළිකා, හෘද රෝග, සමේ රෝග, වෛරස් ආසාදන, අධි රුධිර පීඩනය, පාකින්සන්ස් ආදී බොහොමයක් රෝග සඳහා වන ඖෂධ ඇතුළත් වේ. වත්මන් ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවක මෙවැනි අත්‍යවශ්‍ය ඖෂධ රැසක් එකවර ලැබීම විශාල සහනයක් බවත් ඒ වෙනුවෙන් ඉරාන් ජනතාව ඇතුළු ඉරාන ජනරජයට ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් මහත් සේ ස්තුතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති හෂීම් (Hashem Ashjazadeh) මහතා – ඉරාන – ශ්‍රී ලංකා මිත්‍රත්වය 60 වසරකට වඩා ඉතිහාසයක් පවතින මිතුදමක් බවත්, අසල්වැසියන් ලෙස උපකාර අවශ්‍ය මොහොතේ උපකාර කිරීම මනුෂ්‍යත්වය බවත් පැවසීය. ඒ වගේම ශ්‍රී ලාංකික සිසුන් සඳහා නවීන පාඨමාලාවන්වලින් සමන්විත ඉරාන විශ්වවිද්‍යාල රැසක් පවතින බවත් ඒවා සඳහා ශ්‍රී ලාංකික දරුවන් යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී ඉල්ලා සිටියේය. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (වෛද්‍ය සැපයුම්) වෛද්‍ය ඩී.ආර්.කේ. හේරත්, ප්‍රධාන සම්බන්ධීකාරක (කොවිඩ් වසංගත රෝග සහ ඖෂධාධාර) වෛද්‍ය අන්වර් හම්දානි යන නිලධාරීහුද සහභාගිවී සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment