වැරදුණු සහ වරද්දපු සියල්ල වෙනස් කර ජනතා බිය තුරන් කරනවා – ජාජබ විධායක සභික සමන්ත විද්‍යාරත්න බදුල්ලේ භික්ෂු සමුළුවේදී කියයි

27

මෙරට වර්තමානයේ පවතින වැරැදි දේශපාලන ක්‍රමය ආර්ථිකය සහ සමාජ ක්‍රමය සහමුලින් වෙනස් කිරීමට තම රජයක් යටතේ පියවර ගෙන ජනතාව තුළ පවතින ජනිත බිය තුරන් කිරීමට පියවර ගන්නා බව ජාතික ජන බලවේගය විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා 09 දා බදුල්ලේදී ප්‍රකාශ කළේය.

හෙතෙම එලෙස ප්‍රකාශ කර සිටියේ බදුල්ල තැපැල් සංකීර්ණයේ පැවැති ජාතික භික්ෂු පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සමුළුව අමතා කතා කරමින්ය. ජාතික පුනරුදයට පෙරමග කියන මහ සඟ සමුළුව යන මැයෙන් පැවැති එම සමුළුව අමතා විද්‍යාරත්න මහතා තවදුරටත් මෙසේද කීය.

අපි දන්නවා මේ රටේ බොහෝ දෙනාම සංවර්ධනය තේරුම් අරන් තියෙන්නෙ පාරවල් කොන්ක්‍රීට් කරගන්න. අමුණක් වැවක් හදාගන්න. විදුලිය ගන්න. වතුර ගන්න කෑම ටිකක් හොයා ගන්න ආදි භෞතික සංවර්ධනය විතරයි. නමුත් අපි ජාතික ජන බලවේගය සංවර්ධනය ප්‍රධාන කොටස් දෙකක් ලෙස හඳුනාගෙන තියෙනවා. එකක් අධ්‍යාත්මික සංවර්ධනය. අනික භෞතික සංවර්ධනය. මේ රටේ භෞතික සංවර්ධනයට වඩා බරපතළ ලෙස අධ්‍යාත්මික සංවර්ධනය පැත්ත බිඳ වැටිලා තියෙන්නේ.

මේ රට දියුණු සංවර්ධනයකට යන්න නම් ජාතිවාදය පරද්දලා අපි මිනිස්සු හැටියට සියලු‍ම ජාතිකත්වයන් සියලු‍ ආගමිකයන් සමගියෙන් සතුටෙන් එකතු වන තැනකට ආවොත් මේ රට ගොඩනගන්න පුළුවන්.

ඉතිහාසයේ පටන්ම රටේ ජාතික සමගිය හදාගන්න බැරි වුණා. එනිසා නිතරම ඇන කොටා ගත්තා. ජීවිතවලින් වන්දි ගෙව්වා. එම නිසා අධ්‍යාත්මික පැත්තෙන් ජාතික සමගිය ජාතික සංහිඳියාව හදාගන්න ඕනෑකම තියෙනවා.

ප්‍රධානම තැන තමයි ගෞරවනීය මහා සංඝරත්නය. අන්‍යාගමික පූජ්‍ය පක්ෂය. මේ සියලු‍ දෙනාට මේ රටේ මිනිසුන්ගේ සිත් පොහොසත් කරන්න පුළුවන්. ආකල්ප හොඳ තැනකට ගේන්න පුළුවන්. ධනවත් මිනිසුන් ටිකක් නිර්මාණය කරදෙන්න පුළුවන්. ඒකට අපි ඔබ වහන්සේලාට අදාළ පහසුකම් දෙමින් කාර්යභාරයක් කරන්න රජයක් හැටියට සුදානම්.

මේ රටේ අධ්‍යාත්මික තත්ත්වය වෙනස් කරන්න තවත් ප්‍රබල දෙයක් තමයි අධ්‍යාපනය. පවතින අධ්‍යාපනය විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක්. මව් කුසින් දරුවෙක් එළියට එන මොහොතේ අතින් අල්ලාගෙන යන්නේ ටියුෂන් එකට. විෂය උගන්වනවා රස්සාවක් හොයා ගන්න. අපි ඒකට එපා කියන්නේ නැහැ. හැබැයි මේ රටට ගෞරවනීය පුරවැසියෙක් ඕන. එඩිතරකමක් ඇති ජවයක් තියෙන රට ගැන හිතෙන මනුෂ්‍යයෙක් අවශ්‍යයි. අන්න ඒකට මේ අධ්‍යාපනය සැලකිය යුතු වෙනස්කම් ප්‍රමාණයක් කරන්න ඕන. සමාජය පරිවර්තනය කරන්න. ඒකට අපි සුදානම්.

වැරදුණු සහ වරද්දපු සියල්ල වෙනස් කර ජනතා බිය තුරන් කරනවා - ජාජබ විධායක සභික සමන්ත විද්‍යාරත්න බදුල්ලේ භික්ෂු සමුළුවේදී කියයි

අපි ළඟදීම ලංකාවේ සියලු‍ම සාහිත්‍යවේදීන් කලාකරුවන් එකතු කරපු මෙවැනිම දැවැන්ත සමුළුවලට යන්න සුදානමින් ඉන්නවා. ඔවුනුත් මේ පුනරුද ව්‍යාපාරයේ කොටස්කරුවන් කරනවා. තවත් පාර්ශවයක් තමයි ජනමාධ්‍ය. මාධ්‍යයට මිනිසුන්ගේ ඔලු‍වට ගොඩාක් දේවල් ගේන්න පුළුවන්. වැරදි දේ ගෙනත් මනස විකෘති කරන්න පුළුවන්. හොඳ දේවල් ගෙනෙල්ලා උසස් ධනවත් පොහොසත් ජාතියට අවශ්‍ය මිනිසුන් නිර්මාණය කරන්න පුළුවන්. අන්න ඒ අධ්‍යාත්මික පාර්ශවය ගොඩනැගීමේ ප්‍රධාන කාර්ය භාරය ඉතිහාසයේ ඔබවහන්සේලාට පැවරුණා. අනාගතයේත් ඔබවහන්සේලාට ඒ වගකීම පැවරෙනවා.

අපි මේ රටේ බිය වෙනස් කරනවා. මේ පවතින සිස්ටම් එක වෙනස් කරනවා. මේ බිය ජනිත වෙලා තියෙන්නේ මේ රටේ වැරැදි තුනක් නිසයි. මේ රටේ දේශපාලන ක්‍රමය වැරදියි. මේ බිය ඇවිත් තියෙන්නේ මේ දේශපාලන ක්‍රමයෙන්. ඒ දේශපාලන ක්‍රමය සහමුලින්ම වෙනස් කරනවා. මේ පවතින ආර්ථික ක්‍රමය ගැන මිනිස්සුන්ට බයක් දැනිලා. අපි මේ ආර්ථික ක්‍රමය වෙනස් කරනවා. අපේ මේ සමාජයත් වැරදි ක්‍රමයට පවතින්නේ. අපි මේ සමාජය වෙනස් කරනවා. මෙකී තුන් ක්‍රමය වෙනස් කිරීම සමාජය වෙනස් කිරීමක්. අන්න ඒ වගකීම කර උර මත පැවරීමේ මොහොතකයි මේ අභිමානවත් ඓතිහාසික සඟ සමුළුව පැවැත්වෙන්නේ. අද මේ රට වෙනස් කරන්න මහා සංඝරත්නය වැල නොකැඩී මෙම කාර්යයට එකතු වෙනවා.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය රුවන් රණසිංහ සහ ජාතික භික්ෂු පෙරමුණේ ලේඛකාධිකාරි ශාස්ත්‍රෙව්දී පූජ්‍ය වකමුල්ලේ උදිත හිමි යන දෙපළද කතා කළහ.

බදුල්ල – එච්.එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment