නැන්දා සහ දුව එකතු වී තරුණයන්ට මත්ද්‍රව්‍ය පොවා කොස්ගොඩ ගෙවල් කඩලා

61

අවිආයුධ සහ රන් ආභරණ තොගයක් සොයාගැනේ

තරුණයන්ට මත්ද්‍රව්‍ය ලබාදී රාත්‍රී කාලයට ප්‍රදේශයේ නිවාස බිඳ කොල්ලකෑම් මෙහෙය වූ කාන්තාවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලිසිය සමත් විය.

මෙම කාන්තාවන් දෙදෙනා කොස්ගොඩ, ඌරගස්මංහන්දිය, අහුන්ගල්ල, පොලිස් වසම්වල ජනතාවගේ නිවෙස්වලට රාත්‍රී කාලයේදී ඇතුළු වී ඔවුන් බිය ගන්වා මත්ද්‍රව්‍ය පෙවූ තරුණයන් ලවා කොල්ලකෑම් ගණනාවක් සිදුකොට ඇති බව කොස්ගොඩ පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා ඥාතීත්වයෙන් නැන්දා සහ දුවක් බව සඳහන් කරන පොලිසිය ඒ සමඟ තවත් තරුණයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බව කියයි.

මෙම සැකකරුවන් ළඟ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 2410 ක්ද, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3112 ක්ද සොයා ගත් බව පොලිසිය කියයි.

කොල්ල කල්ලිය මෙහෙයවන ලද ප්‍රධාන කාන්තාව තරුණයන්ට මත්ද්‍රව්‍ය පානය කිරීමට සලස්වා ඉන්පසු ඔවුන්ට අවි ආයුධ ලබා දී එම අවි ආයුධ පෙන්වා නිවැසියන් බිය ගන්වා රත්තරන් සහ මුදල් කොල්ලකා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අත්අඩංගුවට ගත් කොල්ලකරුවන් ළඟ තිබී රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රන් ආභරණ තොගයක්ද සොයාගෙන ඇත. ඔවුන් කොල්ල කෑම සඳහා යොදාගත් අවි ආයුධ ද පොලිස් භාරයට ගෙන ඇත. කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

අහුන්ගල්ලේ – කමල් ශ්‍රී ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment