ඉඩමක් මිනීමරයි – මල්ලී අතින් අයියා මරුට

811

ඉඩම් ආරවුලක් මත සූරියවැව දකුණු කඩවරදී සිය බාල සොහොයුරා විසින් වැඩිමල් සොහොයුරාව කැත්තකින් කපා පෙරේදා (16 දා) සවස ඝාතනය කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සූරියවැව පොලිස් වසමේ අංක 84/1, දකුණු කඩවර, කොග්ගල්ල, අම්බලන්තොට ලිපිනයේ පදිංචි පෙලමුනිගේ ආරච්චිගේ ලහිරු ප්‍රියංකර නමැති 29 හැවිරිදි පුද්ගලයායි.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා හා ඔහුගේ 22 හැවිරිදි බාල සොහොයුරු අතර කලක පටන් ආරවුලක් පැවති අතර පෙරේදා සවසද දෙදෙනා අතර බහින් බස්වීමක් ඇතිව තිබේ. එම අවස්ථාවේදී බහින් බස්වීම දුරදිග ගොස් බාල සොහොයුරා විසින් සිය වැඩිමහල් සොහොයුරාට කැත්තකින් පහරදී ඝාතනය කර තිබේ. පසුව බාල සොහොයුරා සූරියවැව පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඉකුත් 16 දා සවස හම්බන්තොට මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකළ අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහලට යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. අනුර සුසන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment