ආර්ථික අර්බුදයෙන් රට ගොඩඑන තුරු – ඇගලුම් අපනයනයේදී ඇමරිකාව දුන් සියයට සියයේ බදු සහනය නැවත ලබා දෙන්න

510
  • ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ ඇමරිකානු තානාපතිනියගෙන් ඉල්ලති

ඇමරිකානු තානාපතිනිය හා නාහිමියන් අතර සාකච්ඡාව සිදු වූ මොහොත

ඇඟලුම් අපනයනයේ දී ඇමරිකාව ශ්‍රී ලංකාවට මුලදී ලබාදී තිබූ ඇඟලුම් කෝටාව ආර්ථික අර්බුදයෙන් රට ගොඩඑන තුරු නැවත ලබාදෙන ලෙස රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජුලී ජේ. චන් මහත්මිය පෙරේදා (25 දා) පෙරවරුවේ උන්වහන්සේ බැහැදැකීමට රුවන්වැලි සෑ චෛත්‍යාරාමයට පැමිණි අවස්ථාවේ දී නාහිමියෝ මෙම ඉල්ලීම සිදු කළහ. ආරම්භයේ දී ඇඟලුම් කෝටාව ලෙස ඇමරිකාව ශ්‍රී ලංකාවට සියයට සියයක බදු සහනයක් ලබාදී තිබූ අතර වර්තමානය වනවිට සියයට දහසයක පමණ බද්දක් පැනවීමෙන් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය දැඩි පසුබෑමකට ලක්ව තිබේ.

ආර්ථික අර්බුදයෙන් රට ගොඩඑන තුරු - ඇගලුම් අපනයනයේදී ඇමරිකාව දුන් සියයට සියයේ බදු සහනය නැවත ලබා දෙන්න


රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නාහිමියන් තානාපතිනියට සිහිවටනයක් ලෙස මහ සෑයේ අනුරුවක් පිරිනැමූ අයුරු.

ඒ හේතුවෙන් එම කර්මාන්ත ක්ෂේත්‍රයට සෘජුව සම්බන්ධ තරුණ තරුණියක් ලක්ෂ විස්සකට අධික පිරිසකගේ රැකියාවන් දැඩි අවදානමකට ලක්ව ඇත. මෙම තත්ත්වය රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරන්නක්ද බැවින් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම් සහනයක් ඇති කරගන්නා තුරු එම බදු සහනය සම්පූර්ණයෙන් ලබාදී අනතුරුව අදියරෙන් අදියර වැඩිකිරීමට හෝ හැකිවන පරිදි කටයුකු කරන ලෙස සිය රටට දන්වන මෙන් නාහිමියෝ තානාපතිනියගෙන් ඉල්ලා සිටියහ.

මේ රටේ පවුල් ලක්ෂ ගණනක් ජීවත් වෙන්නේ ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධවයි. මේ වනවිට මෙරටින් ඇමරිකාවට අපනයනය කරන ඇඟලුම් සඳහා සියයට 16ක පමණ බද්දක් අය කරනවා. නමුත් ඉන්දියාව සහ තවත් රටවලට මේ සහනය එලෙසින්ම ලබා දෙනවා. ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඔබට අපේ රට වෙනුවෙන් ලබාදිය හැකි හොඳම උපකාරය මෙයයි.

ඇමරිකාව අපට අතීතයේ පටන් මෙවැනි උපකාර සිදුකර තිබෙනවා. සුනාමි ව්‍යසනයෙන් සිදුවූ විනාශයෙන් රට යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මුලින්ම සහාය දුන්නේ ඇමරිකාව. එම අවස්ථාවේ ඇමරිකාව මෙරටට ඩොලර් මිලියන 135ක් ලබා දුන්නා. ඊට පෙර අතීතයේදීත් උදව් කර තිබෙනවා. ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ අවස්ථාවේ දී එනම් 1948 දී ඩොලර් ලක්ෂ ගණනක් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට හා අධ්‍යාපනය වෙනුවෙන් ආධාර ලෙස ලබාදී තිබෙනවා. මේ අවස්ථාවේ මේ රටේ සියලු ජනයා වෙනුවෙන් අපි ඔබෙන් ඒ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ අගනුවරින් බැහැරව පිට පළාත්වලට ගමන්කර ජනතාවගේ ප්‍රශ්න සියැසින් දැක බලාගෙන සැබෑ තොරතුරු අවබෝධ කර ගැනීමට දරන උත්සාහය මම අගය කරනවා” යනුවෙන් නාහිමියෝ ප්‍රකාශ කළහ.

අනුරාධපුර පෞරාණික නගරය ඇතුළු සිද්ධස්ථාන කරා ලොව පුරා සංචාරකයන් ගෙන්වා ගැනීම ඇතුළු සුබවාදී කටයුතු රැසක් වෙනුවෙන් තමා අවධානය යොමුකරන බවත්, නාහිමියන්ගේ පෙන්වාදීමට ස්තුතිවන්ත වන බවත් ඇමරිකානු තානාපතිනී ජුලී ජේ. චන් මහත්මිය එහි දී කියා සිටියාය.
අනුරාධපුර – සරත් මනුල වික්‍රම

advertistmentadvertistment
advertistmentadvertistment