යුක්‍රේනයට රතු කොඩි වනන ඊශ්‍රායලය සහ හමාස් ගැටුම

946

වොලොදිමීර් සෙලෙන්ස්කි එදා මෙලෙස පැවසූ බව අපට මතකය. “යමෙකු අපේ භූමිය, අපේ නිදහස, අපේ ජීවිතය පැහැර ගැනීමට උත්සාහ කළොත්… අපි අපේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වදිනවා.” එහෙත් දැන් ඔහු අර්බුදයකට පත්ව සිටියි. ලෝකයෙන් ඔහු හුදකලාව සිටින අතර මේ ගැන හොදින් දන්නා පුටින් රහසේ සිනාසෙයි. ගාසා බෝම්බ පිපිරෙන විට ලෝකය යුක්‍රේන ගැටුම ගැන කතා කරන්නේ නැත. දැන් එය හිඟන්නාගේ තුවාලය හා සමාන වී ඇත.

2022 පෙබරවාරි 24 වැනිදා රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් යුක්‍රේනය තුළ “විශේෂ හමුදා මෙහෙයුමක්” දියත් කිරීම ප්‍රකාශයට පත්කළ අතර, ඉන්පසු ලෝකය අර්බුදකාරී තැනකට පත්විය. එයින් රුසියාව හා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය අතර ගැටුම වැඩිවූ අතර දහස් ගණනකගේ ජීවිත අහිමි වී, මිලියන ගණනක් ජනයා අවතැන්ව සිටිති. වර්තමානයේ ඇතිව තිබෙන ආහාර හා බලශක්ති අර්බුදය හේතුවෙන් ලොව පුරා උද්ධමනය ඉහළයෑම සිදුව තිබේ. මේ අරබුදය හමුවේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා හමාස් ත්‍රස්තවාදීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් බටහිර ආසියාවේ බලවත් අර්බුදයක් ඇති විය. යුක්‍රේන මෙහෙයුම නිසා ලංකා දූපතේ වැසියන්ටත් අපහසුතා විඳින්නට සිදුවේ. පසුගිය වසරේ ජුලි මාසයේ හිටපු ජනපති රාජපක්ෂ මහතාට ධුරය හැරදා පලා යන්නට සිදුවූයේ යුක්‍රේන ආක්‍රමණයත් සමග ඇතිවූ ලෝක ඉන්ධන හා ආහාර අර්බුදය ලංකාවට ඉතා නරක අකාරයෙන් බලපාන ලද බැවිනි.

රුසියානු – යුක්‍රේන යුද්ධය න්‍යෂ්ටික අවි හරඹයක් වෙයිද යන්න පිළිබඳව බොහෝ දෙනා තුළ සැකසංකා මතුව තිබිණි. ඇමරිකානු විද්‍යාඥයන්ගේ සම්මේලනයට අනුව රුසියාව සතුව න්‍යෂ්ටික පිපිරීමක් අවුළුවන උපාංග වන න්‍යෂ්ටික මිසයිල ශීර්ෂ 5,977ක් තිබේ. විශේෂඥයන් ඇස්තමේන්තු කර ඇත්තේ රුසියානු මිසයිල ශීර්ෂ 1,500ක් පමණ සංඛ්‍යාවක් පමණක් දැනට මිසයිල සහ බෝම්බ හෙළන කඳවුරුවල හෝ මුහුදේ සබ්මැරීනවල ස්ථානගතකර ඇති බවයි. පුටින්ට අපහසුතාවක් ඇතිවුවහොත් මේවා ක්‍රියාත්මක වෙයිද යන සැකය බලවත් ලෙස පවතී. නමුත් දැන් ලෝකයේ අවධානය වැඩියෙන්ම යොමුව ඇත්තේ ගාසා තීරයට මිස රුසියා – යුක්‍රේන ගැටුම දෙස නම් නොවේ. යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සෙනසුරාදා දිනයේ මාධ්‍ය අමතමින් පවසා සිටියේ බටහිර ලෝකය තමන්ට රුසියාව හා සාකච්ඡාවලට යන්නට බල කරනවා යැයි කියන කතාව බොරුවක් බවයි. “අපගේ හවුල්කරුවන් අතර කිසිවෙක් අපට රුසියාව සමඟ වාඩි වී ඔවුන් සමඟ කතා කරන ලෙසටත් බලපෑම් කරන්නේ නැත,” ජනපතිවරයා කියයි. නමුත් ඔහු මෙවැනි අදහසක් දක්වා තිබිණි. “කාලය ගෙවී ගොස් ඇත, මිනිසුන් වෙහෙසට පත්ව ඇත … නමුත් මෙය යුද්ධය ඇනහිටීමක් නොවේ, දෙපාර්ශ්වයේම හමුදා වෙහෙසට පත්ව ඇති බව නම් සත්‍යයකි. යුක්‍රේන අර්බුදයට වඩා ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටිය යුතුව ඇති නිසා ඇමෙරිකාව දැන් කිව් ගැටුම ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැත. ඇමෙරිකාව මෙහෙයවන බලවත් යුදෙව්වන් හමුවේ වොෂින්ටන් පාලනයට වොලොදිමීර් සෙලෙන්ස්කිගේ පිට අතගාමින් සිටිය නොහැකිය. ඇත්තෙන්ම යුක්‍රේන රුසියා යුද්ධය එක තැනක පල්වෙමින් පවතී. මෙවන් තත්ත්වයක් තුළ හමාස් සංවිධානය ඔක්තෝබර් 07 වැනිදා එල්ල කළ ප්‍රහාරය වඩා වාසිදායක වූයේ රුසියාවට මිස යුක්‍රේනයට නොවේ. යුක්‍රේනයට සහාය දක්වමින් සිටි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයටම තමන්ගේ වඩා හොඳම සහකරුවා සොයාගෙන දුවන්නට සිදුවිය. ගාසා තීරයේ කවර යුද අපරාධයක් සිදු වුවත් ඇමෙරිකාව නිහඬව සිටී. රෝහල් මත බෝම්බ පිපිරුණද බයිඩන් මහතා අහක බලා

ගනී. මේ නිසාම ඔවුනට යුක්‍රේනය අමතක වී තිබේ. දෙරටේ ගැටුම දැන් එහි 20 වන මාසයේ පවතින අතර සෙලෙන්ස්කි බටහිර නායකයන් නිතිපතා මුණගැසී ඇත. නමුත් ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය යුක්‍රේනය පිළිබඳ අවධානය ඉවතට යොමු කර ඇති බව සෙලෙන්ස්කි ද කියයි. ඇත්තටම මේක “රුසියාවේ ඉලක්කය” බව පැහැදිලියි. යුක්‍රේනය කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොවූ විට අපි දැනටමත් ඉතා දුෂ්කර තත්ත්වයන්ට පත්ව ඉන්නවා නමුත් අපි මෙම අභියෝගය ජය ගන්නා බව මට විශ්වාසයි.” සෙලෙන්ස්කි කියයි. ඇමෙරිකාව ඇතුළු යුක්‍රේනයේ ආධාරකරුවන්, රුසියාව පරාජය කිරීමට හැකියාව ලැබෙන තෙක් හමුදාමය සහ මූල්‍ය සහාය දෙන බව නම් යුක්‍රේනයට පවසා තිබිණි.

වොලොදිමීර් සෙලෙන්ස්කි හමාස් ප්‍රහාරය හෙළා දැකීමට ඉක්මන් වූ අතර, ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාර ඉතා දරුණු වීමත් සමඟ, සිවිල් ජීවිත හානි වැළැක්වීමේ වැදගත්කම අවධාරණය කරමින් ප්‍රකාශයක් කිරීමට ඉක්මන් වූයේ නැත. යුක්‍රේන ජනපතිවරයා ඊශ්‍රායල ප්‍රහාර සෘජුව විවේචනය කිරීමෙන් වැළකී සිටියේය. සෙලෙන්ස්කිට පැහැදිලිවම අවශ්‍ය වන්නේ තමා සහ ඔහුගේ රජය මුළුමනින්ම ඊශ්‍රායලයට ඇමෙරිකාවේ සහාය දක්වන ස්ථාවරය සමඟ එකට සිටින බව පෙන්නීමටය. නමුත් රුසියාව හා චීනය මෙයට වෙනස් ස්ථාවරයක් ගෙන තිබිණි. ඇමෙරිකානු බුද්ධි අංශ සැක කරන්නේ වැග්නර් බළකාය හරහා හිස්බුල්ලා සංවිධානයට අවි ආයුධ ලැබෙන බවයි. රුසියාව සැමවිටම කටයුතු කරන්නේ ඉරාන හිතවාදීන් සමගය. සිරියාවේ අයිසිස් පරාජය කිරීමට රුසියාව සටනට ගියේද එබැවිනි. එසේම හමාස් වේවා හිස්බුල්ලා සංවිධානය වේවා ඔවුන් සමග රුසියාවේ ආරෝවක් නැත. දැන් එකිනෙකාට ආවරණය වූ සටනක් බටහිර ආසියාවේ සිදුවේ. මේ නිසා අවුලට පත්වන්නේ යුක්‍රේන රජයයි. ඇත්තෙන්ම ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධය යුක්‍රේනයට නරක ආරංචියකි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සතියේ අනතුරු ඇඟවූයේ “ඉදිරි දිගු හා දුෂ්කර යුද්ධයක්” ඇතිවිය හැකි බවයි. මේ නිසා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට තම මෙහෙයුම් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඉදිරියට ඇදගෙන යෑමට අමතර දිරිගැන්වීමක් ලබා දෙන අතර බටහිර රටවල් යුක්‍රේන හමුදාව සන්නද්ධ කිරීමට ඇති උනන්දුව අඩුවීම පැහැදිලිව දක්නට ලැබෙයි.

බීබීසිය විසින් සියවසේ සාර්ථක ම ජෙනරාල්වරයා ලෙස හැඳින්වූ යුක්‍රේන හමුදාවේ ජෙනරල් ඔලෙක්සාන්දර් සිරස්කයි පසුගිය ජුලි මාසයේ පවසා තිබුණේ “අපි කැමතියි ගොඩක් වේගවත් ප්‍රතිඵල ලබාගන්න. ඒත් ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, පසුගිය වසරේ රුසියාව විසින් යුක්‍රේනයේ පූර්ණ වශයෙන් ආක්‍රමණය කිරීම ඇරඹුණු විට ඔහු කියෙව් ආරක්ෂා කිරීමට නායකත්වය දුන්නේ ය. පසුගිය ගිම්හාන සමයේදී කාර්කිව්හි දී එල්ල කළ විස්මිත සහ සාර්ථක ප්‍රතිප්‍රහාරයේ මහ මොළකරුවා ඔහු විය. දැන්, ඔහු යුක්රේන ප්‍රතිප්‍රහාරයේ ප්‍රධාන අක්ෂ දෙකෙන් එකක් වන නැගෙනහිර යුක්රේනයේ හමුදා මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ජෙනරල් සිරස්කයි වටා රැඳෙමින්, ඔහුගේ කැපවීම, අධිෂ්ඨානය සහ උපායශීලීත්වය අගය කරන්නන්ගේ ගෞරවයට ඔහු පාත්‍රවෙයි. ඔහු විවේකයක් ලබන්නේ දිනපතා කායවර්ධන මධ්‍යස්ථානයට යෑමෙනි. රාත්‍රී කාලයේ ඔහුගේ නින්ද පැය හතරහමාරකට සීමාවෙයි.

ජෙනරල් ඔලෙක්සාන්දර් සිරස්කයි ගැන මතක් කරනු ලැබුවේ මීට දින කිහිපයකට පෙර ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් යුක්‍රේන හමුදා නායකයන් වෙනස් කිරීම නිසා ආන්දෝලනයක් හටගෙන ඇති නිසාය.

පසුගිය 03 වැනිදා විශේෂ මෙහෙයුම් බළකායේ ප්‍රධානි මේජර් ජෙනරාල් වික්ටර් කොරෙන්කෝ ඉවත්කර ඇත්තේ එම හමුදා නිලධාරියා මාධ්‍යකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමෙන් අනතුරුවය. සතුරු කලාපවලට ඇතුළු වී මෙහෙයුම් හා බුද්ධි තොරතුරු සොයන මේ බළකායේ ප්‍රධානියා ඉවත්කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව ඇත. මේජර් ජෙනරාල් වික්ටර් කොරෙන්කෝ 2022 ජූලි 25 වන දින ජනාධිපති සෙලෙන්ස්කි විසින් පත් කිරීමෙන් පසුව විශේෂ බළකායේ අණදෙන්නා විය. මුලදී, කොරෙන්කෝ පිළිබඳ තොරතුරු ඉතා අල්ප වූ අතර, පත්වීම නිවේදනය කරමින් සෙලෙන්ස්කි ඔහුව පළපුරුදු සටන් ජෙනරාල්වරයකු ලෙස පමණක් සඳහන් කර තිබිණි.

මේ අතර 2022 පෙබරවාරි මාසයේදී යුක්‍රේනයට එරෙහි ආක්‍රමණයක් දියත් කළ විට රුසියාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බටහිර ආණ්ඩු මේ මෙහෙයුම හෙළා දැකීමට වහාම ඉදිරිපත් විය. නමුත් ඊශ්‍රායලයේ මෙහෙයුම් ගැන කිසිම කතාවක් නැත. යුද අපරාධ සිදු කළ බවට චෝදනා නගිමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඔහුගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස්වරයා අත්අඩංගුවට

ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරුන් විසින් වරෙන්තු නිකුත් කර තිබුණේ මේ වසරේ මාර්තු මාසයේය. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසා තිබුණේ රුසියානු ජනපතිවරයා යුක්රේනයේ සිට රුසියාවට නීති විරෝධී ලෙස ළමුන් පිටුවහල් කිරීමේ යුද අපරාධය සම්බන්ධයෙන් සැක පළ කරන බවයි. නමුත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන්නේ නම් නැත. 2022 පෙබරවාරි 24 දා යුක්‍රේනයේ කියෙව් අගනුවර පුරාවට ගුවන් ප්‍රහාර සයිරන් නාද වූ අතර එරට ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි එදා මෙලෙස පැවසූ බව අපට මතකය. “යමෙකු අපේ භූමිය, අපේ නිදහස, අපේ ජීවිතය පැහැර ගැනීමට උත්සාහ කළොත්… අපි අපේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වදිනවා.” එහෙත් දැන් ඔහු අර්බුදයකට පත්ව සිටියි. ලෝකයෙන් ඔහු හුදකලාව සිටින අතර මේ ගැන හොදින් දන්නා පුටින් රහසේ සිනාසෙයි. ගාසා බෝම්බ පිපිරෙන විට ලෝකය යුක්‍රේන ගැටුම ගැන කතා කරන්නේ නැත. දැන් එය හිඟන්නාගේ තුවාලය හා සමාන වී ඇත. වාග්නර් බළකාය සම්බන්ධ අර්බුද ඇති වුවද ඒ සියල්ල යහපත් ලෙස කළමනාකරණය කිරීමට පුටින්ට හැකිව තිබේ. දැන් ලෝකය ගමන් කරන්නේ වෙනස්ම දිසාවකටය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment