නවසීලන්ත ක්‍රීඩිකාවෝ 20-20 ජය ගනිති

166

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන්ද කඩුලු 8 ක ජයග්‍රහණයක් ලබා ගත් සංචාරක නවසීලන්ත කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ඊයේ (10 වැනිදා ) සමත් විය.

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායිකාව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පන්දුවාර 20 ක් තුළදී ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු 118 කඩුලු දෙකක් පමණක් දැවී ඉක්මවා යෑමට නවසීලන්තයට හැකි විය.

ඒ සඳහා ඔවුන් වැය කර තිබුණේ පන්දු වාර 18.4 ක් පමණි.

ජයග්‍රාහී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ සුශී බේට්ස් පන්දු 53 කදී ලකුණු 52 ක් ලබමින් නවසීලන්තය ජයග්‍රහණය කරා මෙහෙයවූ අතර ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4 ක් ලකුණු 23 කට දවා ගත් ලී ටහුලු තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

පසුගිය තරඟය සඳහා ක්‍රීඩා කළ හංසිමා කරුණාරත්න සහ ඕෂධී රණසිංහ වෙනුවට සුගන්ධිකා කුමාරි සහ හසිනි පෙරේරා මේ තරගයට කැඳවා තිබුණු අතර ඉන් හසිනි පෙරේරා මේ තරඟයේ දී වැඩිම ලකුණු ලාභිනිය වූවාය. ඇය ලකුණු

33 ක් ලබාගත් අතර හර්ශිතා සමරවික්‍රම ලකුණු 23කට දැවී ගියා ය.

නායිකා චමරි අතපත්තු ලකුණු 2කට දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් සමත් වූ අතර අමේලියා කෙර් නොදැවී ලකුණු 33ක් ලබා ගත්තාය. තරගාවලියේ තෙවන සහ අවසන් තරගය හෙට ( 12 වැනිදා ) උදෑසන 10.00 ට පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment