47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල

119

පාපැදි ශූරයා මැඩොන්සා – ශූරිය කේ. ඒ. එස්. එන්. පෙරේරා
මැරතන් ශූරයා රත්නපාල – ශූරිය එම්. එස්. පී. එන්. පෙරේරා
ඇවිදීමේ ශුරයා රුක්මාල් – ශූරිය කල්හාරි


47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සාර්ථක අයුරින් ඊයේ (09 වැනිදා) ගම්පහදී නිමාවට පත්විය. ශ්‍රී ලංකා යෞවන කටයුතු අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව නෙස්ලේ ලංකා සමාගමේ නෙස්ටමෝල්ට් පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වූ අදාළ ක්‍රීඩා උළෙල ක්‍රීඩා ඉසව් 31කින් යුක්ත විය.

47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල

තරගාවලියේ ප්‍රධානතම ක්‍රීඩා ඉසව් අතරින් අවධානයට ලක්වූ පිරිමි පාපැදි ධාවන තරගයේ ශූරතාව දිනා ගැනීමට එම්. ඒ. ඩී. මැඩොන්සා ඊයේ සමත්විය. ඒ කිලෝ මීටර් 165කින් යුත් පිරිමි පාපැදි ධාවන තරගය පැය 3යි මිනිත්තු 57යි තත්පර 36.23කින් නිමාවට පත්කරමිනි.

එම ඉසව්වේ දෙවැනි ස්ථානය ආර්. ටී. සී. දයානන්ද විසින් හිමිකර ගත්තේ පැය 3යි මිනිත්තු 57යි තත්පර 36.50ක කාලයක් වාර්තා කරමිනි. පැය 3යි මිනිත්තු 57යි තත්පර 53.42ක කාලයක් වාර්තා කළ ඩී. එස්. නුගේරා තෙවැනි ස්ථානය දිනා

ගැනීමට සමත්විය.

කිලෝ මීටර් 82.5කින් යුක්ත වූ කාන්තා පාපැදි ධාවන තරගය පෙරේදා (08 වැනිදා) ගම්පහ අස්ගිරිය අලුත්පාර අසලින් ආරම්භ වූ අතර එම ඉසව්වේ ජය වාර්තා කිරීමට කේ. ඒ. එස්. එන්. පෙරේරා සමත් වූයේ පැය 2යි මිනිත්තු 40යි තත්පර 11ක කාලයක් වාර්තා කරමිනි. එහි දෙවැනි ස්ථානය ආකාෂා සඳමිණි විසින් හිමිකර ගනිද්දී උදේශිනී කුමාරසිංහ තෙවැනි ස්ථානය දිනා ගත්තාය.

තරගාවලියේ සමාරම්භ දිනයේ පැවැති පිරිමි මැරතන් තරගයේ ශුරතාව හිමිකර  ගැනීමට ටී. ඩබ්ලිව්. රත්නපාල සමත්විය. කිලෝමීටර් 42ක දුරකින් සමන්විත වූ එම ඉසව්ව පැය 2යි මිනිත්තු 25යි තත්පර 49.45ක කාලයකින් අවසන් කිරීමට රත්නපාල සමත්විය. ක්‍රීඩකයින් 70කට ආසන්න පිරිසක් සහභාගි වූ පිරිමි මැරතන් තරගය දෙවැනි ස්ථානය දිනා ගැනීමට ආර්. ඒ. පී. ඩී. අරුණසිරි සමත්වූ අතර ඩබ්ලිව්. එම්. එස්. කුමාර එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.

කාන්තා මැරතන් ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට එම්. එස්. පී. එන්. පෙරේරා සමත්වූ අතර එහිදී පැය 2යි මිනිත්තු 49යි තත්පර 15ක කාලයක් වාර්තා කිරීමට ඇය සමත්වූවාය. එම ඉසව්වේ තෙවැනි ස්ථානය එච්. එම්. ඩබ්ලිව්. ජී. ඩබ්ලිව්. එම්. හේරත් විසින් හිමිකර ගනිද්දී ඒ. එල්. එස්. ඩී. ලියනගේ තෙවැනි ස්ථානයට පත්වූවාය.

කිලෝමීටර් 20ක දුරකින් යුක්ත වූ පිරිමි ඇවිදීමේ තරග ඉසව්ව ජය ගැනීමට ආර්. එම්. ඩී. රුක්මාල් සමත්විය. ඒ එම ඉසව්ව පැය 1යි මිනිත්තු 34යි තත්පර 09කින් නිමාවට පත්කරමිනි. රවීන්ද්‍ර හේරත් එහි දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්වූ අතර සඳුන් ලක්මාල් තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.

එම ඉසව්වේ කාන්තා තරගය ජය ගැනීමට කල්හාරි මදිරිකා සමත්වූයේ පැය 1යි මිනිත්තු 50යි තත්පර 58ක කාලයක් වාර්තා කරමිනි. දිනූෂා දිල්හානි එහි දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්වූ අතර  පී. බී. ගයානි තෙවැනි ස්ථානය දිනා ගත්තාය.

අදාළ ඉසව්වලදී පළමු ස්ථානය දිනා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මුදලින් රුපියල් 50000 බැගින් පිරිනැමුණු අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 40.000 සහ 30.000  බැගින් පිරිනැමිනි.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment