කොවිඩ් අස්සේ ජ්’පුර රෝහලේ අක්මා බද්ධයක්… ජපුර ඉතිහාසයේ පළමු අක්මා බද්ධය

557

සැත්කමට පැය දොළහයි

සැත්කම ඉන්දියාවේදී කළා නම් රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් වැයවේ.

ශ‍්‍රී ජයවර්ධනපුර මහරෝහලේ සාර්ථක අක්මාව බද්ධ කිරීමේ සැත්කමක් පළමු වරට පසුගිය තිස් වෙනිදා සිදුකෙරිණි. එම සැත්කම ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේ අධීක්ෂණය යටතේ එම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් හා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරු රැසකගේ සහභාගිත්වයෙන් සිදු කළහ.

කිසියම් රෝගයකින් පෙළුණු තිස්හත් හැවිරිදි පුද්ගලයකු සිව් වසරකට පමණ පෙර ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැමිණියේය. ඒ එම රෝගය සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමටයි. රෝග ලක්ෂණවලට අනුව වෛද්‍යවරු තීරණය කළේ එම රෝගියාට සිරෝසිස් නමැති රෝගය වසර කිහිපයකට පෙර සිට වැළඳී ඇති බවයි. ඒ අනුව පරීක්ෂණ කිහිපයක් පවත්වා වෛද්‍යවරු ඔහුට සිරෝසිස් රෝගය සඳහා ප‍්‍රතිකාර කිරීමට පටන් ගත්හ. එලෙස ප‍්‍රතිකාර කර මාස කිහිපයකට පසු රෝගියාගේ තත්ත්වය එම වෛද්‍යවරු යළි පරීක්ෂා කළහ. එහිදී අනාවරණය වූයේ තත්ත්වය නරක අතට හැරී ඇති බවත් බෙහෙත් මගින් එම රෝගී තත්ත්වය යම්තාක් දුරට පාලනය කළත් සම්පූර්ණයෙන්ම සුවකළ නොහැකි බවත්ය. ඒ අනුව වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඔහුට අක්මා බද්ධයක් ඉතා ඉක්මනින් සිදුකළ යුතු බවයි.

ශ‍්‍රී ජවර්ධනපුර රෝහලේ මින් පෙර කිසි දිනක අක්මාව බද්ධ කිරීමේ සැත්කමක් සිදුකර නොතිබිණි. ඒ අනුව වෛද්‍යවරු මෙම රෝගියාගේ තත්ත්වය පිළිබඳව එහි අධ්‍යක්ෂක, වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාට දැනුම් දුන්නේය. වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය හරහා එම රෝගියාගේ රෝගී තත්ත්වය සහ පවුල් පසුබිම ගැන දැනගත් අධ්‍යක්ෂකවරයා තීරණය කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ඇතිව එම සැත්කම තම රෝහලේ පළමුවරට සිදුකරන බවයි. අක්මාව බද්ධ කිරීමේ සැත්කමක් සිදුකිරීම සඳහා ඉන්දියාවේදී නම් රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් වැයවේ. එම නිසා මෙම රෝගියාට ඔහුගේ ආර්ථික තත්ත්වය මත මෙය සිහිනයක්ම පමණක් විය. එහෙත් එම රෝහලේ අධ්‍යක්ෂවරයාගේ තීරණය දැනුම් දීමත් සමග එම රෝගියා යළි තම ජීවිතය ගැන විශාල බලාපොරොත්තුවක් ඇති කර ගත්තේය.

කොවිඩ් අස්සේ ජ්'පුර රෝහලේ අක්මා බද්ධයක්… ජපුර ඉතිහාසයේ පළමු අක්මා බද්ධය

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේ අධීක්ෂණ යටතේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රොහාන් සිරිසේන සහ අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුවන් දිසානායක යන වෛද්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් එම රෝගියාට අක්මාව බද්ධ කිරීමේ සැත්කම කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කළහ. ඒ සඳහා වසර තුනක පමණ කාලයක් ගතවිය. එම පරීක්ෂණ සඳහා කිසිදු මුදලක් අය නොකළ අතර අවශ්‍ය සියලූ දේම වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මණ්ඩලය විසින් රෝගියාට නිරතුරුවම ලබා දෙන ලදී. වෛද්‍යවරුන්ගේ ප‍්‍රධානම ගැටලූව වූයේ මෙම රෝගියාට අවශ්‍ය නිරෝගිමත් අක්මාවක් සොයා ගැනීමයි. වෛද්‍යවරු ඒ පිළිබඳව සොයා බැලූහ. එහි දී දැනගන්නට ලැබුණේ රාගම රෝහලේ අවුරුදු හැට දෙකක් පමණ වයසැති මොළය මියගිය පුද්ගලයකුගේ අක්මාවක් දන්දීමට ඔහුගේ ඥාතීන් කැමැත්තෙන් සිටින බවයි. වෛද්‍යවරු මොළය මියගිය එම රෝගියාගේ අක්මාව පරීක්ෂා කර බැලූහ. පරීක්ෂණවලදී අනාවරණය වූයේ එම අක්මාව ඉතාමත් හොඳ තත්ත්වයේ පවතින බවයි. ඒ අනුව එම අක්මාව සිරෝසිස් රෝගය වැළඳී දැඩි ලෙස ජීවිත අවදානම් තත්ත්වයේ සිටින රෝගියාට සුදුසු බව වෛද්‍යවරු නිගමනය කළහ.

වසර තුනකට පසු රෝගියාගේ සැත්කම සඳහා අවශ්‍ය සියලූ පරීක්ෂණ සිදු කර අවසන් කිරීමට එම වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය සමත් වූහ. පරීක්ෂණ අවසන් වුවත් කොවිඞ් වසංගතය හමුවේ දැඩි අවදානමක් ගෙන මෙම සැත්කම සිදු කරනවාද යන්න පිළිබඳව වෛද්‍යවරුන්ට ගැටලූවක් ඇතිවිය. එහෙත් අධ්‍යක්ෂවරයා එම වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර තීරණය කළේ අනිවාර්යෙන්ම එම සැත්කම සිදුකරන බවයි. ඒ අනුව පසුගිය මස තිස් වෙනිදා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ පළමුවරට එම අක්මාව බද්ධ කිරීමේ සැත්කම සිදුකළේය. ඒ සැත්කම සඳහා වෛද්‍ය රත්නසිරි හේවගේ – අධ්‍යක්ෂ – ශ‍්‍රී ජයවර්ධනපුර මහරෝහල, විශේෂඥ ශල්‍ය වෛද්‍ය රොහාන් සිරිසේන – ශ‍්‍රී ජයවර්ධනපුර මහරෝහල, අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රුවන් දිසානායක – ජාතික රෝහල, වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ඔලිවර් පාතමන්පෙරුම – අවයව බද්ධ කිරීමේ ඒකකය – ජාතික රෝහල, අක්මාව, පිත්නාල හා අග්න්‍යාංශය සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප‍්‍රභාත් කුමාරසිංහ – ජාතික රෝහල, අක්මාව හා ආන්ත‍්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත දිසානායක, විශේෂඥ ශල්‍ය වෛද්‍ය සඳුන් බුලත්සිංහල – ජාතික රෝහල, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජීවනී රාජසිංහ – ශ‍්‍රී ජයවර්ධනපුර මහරෝහල, විකිරණ ශිල්පය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය බුද්ධි අබේවික‍්‍රම – ශ‍්‍රී ජයවර්ධනපුර මහරෝහල, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප‍්‍රගීත් පතිරගේ – ශ‍්‍රී ජයවර්ධනපුර මහරෝහල, රුධිර පාරවිලයනය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය අයේෂා අබේවර්ධන – ශ‍්‍රී ජයවර්ධනපුර මහරෝහල, හෙද නිලධාරීන්ගේ සහ අනෙක් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙනි. එම වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය පැය 12කට පමණ පසු ඉතාමත් සාර්ථකව අක්මාව බද්ධ කිරීමේ සැත්කම අවසන් කළහ.

කොවිඩ් අස්සේ ජ්'පුර රෝහලේ අක්මා බද්ධයක්… ජපුර ඉතිහාසයේ පළමු අක්මා බද්ධය

සැත්කමින් පසු විශේෂඥ ශල්‍ය වෛද්‍ය රොහාන් සිරිසේන මහතා ‘‘අක්මාව බද්ධය සිදුකිරීම සඳහා වසර 3ක පමණ කාලයක් පරීක්ෂණ කටයුතු සිදුකර ඇති බවත් වෛද්‍යවරුන්ගේ සහ අනෙක් කාර්ය මණ්ඩලයේ දැඩි කැපවීම මත එය සාර්ථක කර ගැනීමට හැකිවූ බවත්” පැවසීය. ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂක, වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා එම සැත්කම පිළිබඳව මෙලෙස පැවසුවේය.

‘‘ඇත්තටම මෙම සැත්කම සඳහා අපි වසර තුනක සිට පරීක්ෂා පැවැත්තුවා. වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය ඒ සඳහා විශාල කැප කිරීමක් කළා. මෙම රෝගියා පිළිබඳව දැනගත් පසු මම තීරණය කළා එම සැත්කම කිසිදු මුදලක් අය නොකර සිදුකරන බව.”

‘‘ඒ වගේම කියන්න ඕන අක්මා බද්ධ කිරීමේ සැත්කමක් ශී‍්‍ර ජවර්ධනපුර රෝහලේ සිදු කළේ ප‍්‍රථම වතාවටයි. කොවිඞ් වසංගතය හමුවේ විශාල අභියෝගයක් අරගෙනයි අපි මේ සැත්කම සිදු කළේ. අවසානයේ සාර්ථකව එය සිදුකරගන්න පුළුවන් වුණා. ඒ සඳහා සහභාගි වූ සියලූම වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පුද කරනවා.” ‘‘පළමු අක්මා බද්ධ කිරීමේ සැත්කම වගේම දෙවැනි අක්මා බද්ධ කිරීමේ සැත්කමත් නොමිලේ සිදු කිරීමට මම තීරණය කළා.”

  • අක්මාව බද්දය.

අක්මාව බද්ධ කිරීම යනු රෝගී අක්මාවක් නිරෝගී පුද්ගලයෙක්ගේ අක්මාවක් මගින් ප‍්‍රතිස්ථාපනය කිරීමයි. මෙහිදී බහුලවම භාවිතා වන ක‍්‍රමය වන්නේ අදාළ පුද්ගලයාගේ රෝගී අක්මාව ඉවත් කර දායකයකුගෙන් ලබාගන්නා නිරෝගී අක්මාවක් රෝගියාගේ අක්මාව පිහිටි ස්ථානයටම බද්ධ කිරීමයි. අක්මාව බද්ධ කිරීම අක්මා රෝග ඇති අසාධ්‍ය රෝගීන්ට සහ ක්ෂණිකව අක්මාව අක‍්‍රීය වූ පුද්ලයන් හට ලබාදෙන ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස අද දින ඉහළ පිලිගැනීමක් ලැබී තිබේ.

  • ලොව පළමු අක්මාව බද්ධය

ප‍්‍රථම මිනිස් අක්මාව බද්ධ කිරීම සිදු කරන ලද්දේ 1963 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් සහ කොලරාඩෝ ප‍්‍රාන්තයන්හි වෛද්‍ය තෝමස් ස්ටාල් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසිනි. වෛද්‍ය ස්ටාල් මීට අමතරව අක්මා බද්ධ කිරීම් ද ඊළ`ග වසර කිහිපය තුළ සිදු කළ අතර 1967 දී ප‍්‍රථම වරට අක්මා බද්ධයකින් පසු රෝගියකු වසරක් ජීවත් විය. විවිධ ශල්‍ය උපක‍්‍රම හමුවේ අක්මා බද්ධ කිරීම 1970 දී පරීක්ෂණාත්මක මට්ටමක පැවතුණු අතර සැත්කමකින් පසු රෝගියකු වසරක් ජීවත් වීමේ සම්භාවිතාව එවකට සියයට 25 ක් වුණි. සර් රෝයි කානි විසින් සයික්ලොස්පොරීන් නම් ඖෂධය හඳුන්වා දීමෙන් පසු සැත්කමට ලක් වූ රෝගීන් කෙරෙහි යහපත් ප‍්‍රතිඵල ලබාදුනි. 1990 දී සිට වැඩිහිටියන් සහ කුඩා ළමුන් සඳහා ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස අක්මාව බද්ධය යොදා ගැනේ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment