ජිනීවා සමුළුවේදී ශී‍්‍ර ලංකාවට කළු පැල්ලමක් ඇති නොවන බව ස්ථිරයි: අධිකරණ ඇමැති ජිනීවා සිට කියයි

250

ජිනීවා සමුළුවේදී ශී‍්‍ර ලංකාවට කළු පැල්ලමක් ඇති නොවන බව තමාට ස්ථිර වශයෙන්ම විශ්වාස යැයි අධිකරණ ඇමැති අලි සබ්රි මහතා ජිනීවා නුුවර සිට ‘දිවයින’ට ඊයේ (01 වැනිදා) පැවසීය.

මෙම සමුළුවේදී මුල සිටම කතාබහට ලක් වී ඇත්තේ රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය තත්ත්වය පිළිබඳව බවද ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත්, ජිනීවා සමුළුවට ශී‍්‍ර ලංකාව පිළිබඳව ලැබෙන පැමිණිලි ලබන සෙනසුරාදා කතාබහ කිරීමට නියමිත බවද හෙතෙම කියා සිටියේය.

මෙම පැමිණිලිවලට එරෙහිව ජී. ඇල්. ඇමැතිවරයා නිසියාකාරයට පිළිතුරු දීමට සූදානම් වී සිටින බවද ඇමැතිවරයා කීය. කෙසේ වෙතත්, මෙම පැමිණිලිවල ස්වභාවය අනුව ඒවා අපට තදින්ම බලපාන්නේ නැතැයි ද හෙතෙම කීවේය. ශී‍්‍ර ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම තත්ත්වය ජිනීවා සමුළු නිලධාරීන් අද වටහාගෙන සිටින බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.කෙසේ වෙතත් ලබන සෙනසුරාදා ශී‍්‍ර ලංකාව පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳව දින 2 – 3 ක් ප‍්‍රමාදවීමට ඉඩ තිබෙන බව ද ඇමැතිවරයා කීය. ඊට හේතුව රුසියාව, යුක්රේනය අතර පවතින යුදමය තත්ත්වය අද විශාලතම මාතෘකාවක් වී තිබීම යැයි ද හෙතෙම කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment