ජනාධිපති මන්දිරයෙන් හමුවූ සල්ලි : සංවාදයේ ඇත්ත දැනගන්න පොලිස් ලොක්කන් දෙදෙනාගේ දුරකථන රස පරීක්‍ෂකට

329

කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහ කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර ලියනගේ මහතාගේ ජංගම දුරකථන රජයේ රස පරීක්‍ෂකවරයාගේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්කොට 2022.7.9 වැනි දින එකී දෙපාර්ශ්වය අතර ඇතිවූ දුරකථන සංවාද පටිගතවීම් පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (26)දා කොළඹ මධ්‍යම කොට්ඨාස විමර්ශන ඒකකයට නියෝග කළේය.

අරගලකරුවන් විසින් 2022 ජූලි 9 වැනිදා ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි අසූලක්‍ෂ පනස් දහසක මුදල කොටුව පොලිසියට භාරදීමෙන් අනතුරුව එම මුදල් වෙනත් පුද්ගලයකුට එනම් වර්තමාන රජයේ වගකිවයුතු අමාත්‍යවරයකුට භාරදෙන ලෙසට දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් දුරකථන මාර්ගයෙන් කර ඇතැයි කියන නියෝගයට අදාළව සිදුකරන විමර්ශන සඳහා එකී සංවාද අවශ්‍ය බව පවසමින් විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

2022.7.09 වැනි දින රාත්‍රි 9:17ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික පරිගණක අංශය විසින් කරන ලද පරීක්‍ෂණ අනුව තහවුරු වී ඇති නමුත් එම දුරකථන සංවාදයේ දෙබස් පටිගතවී නොමැති බව දන්වා ඇතැයි ද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවසූහ.

කෙසේ නමුත් ඊට පසුදින එනම් 2022.7.10 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නැවත දුරකථන ඇමතුමක් ලබාදී එකී මුදල පිළිබඳව ගත් පියවර කුමක් දැයි කොටුව ස්ථානාධිපතිවරයා ගෙන් දුරකථනයෙන් විමසන හඬපට පටිගතවී ඇතැයි ද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවසූහ.

දේශබන්දු තෙන්නකෝන් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමැතුම් ලබාදී එකී මුදල් සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බව සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොවන්නේ දැයි විමසූ මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එකී නියෝගය කළේය. එම නඩුව ලබන 9 වැනිදා යළි කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment