විදුලි වාහනයේ බැටරි තත්ත්ව වාර්තාව රටවිරුවන් අසරණ කරනවා

534

මේ කොන්දේසිය ඉවත්කරන්න
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක
රුෂාන් මලින්ද ආණ්ඩුවෙන් ඉල්ලයි

විදේශ ශ්‍රමිකයන් විසින් ලංකාවට ඩොලර් එවීම වෙනුවෙන් ඔවුන්ට විදුලි මෝටර් රථ ගෙන්වා ගැනීමට රජය විසින් ලබා දෙන බලපත්‍රය ගැනීමට සම්පූර්ණ කළ යුතු ඉල්ලුම් පත්‍රයේ සඳහන් කරුණු අතර 10 සිට 13 දක්වා කරුණු කිසිදු වැදගත්කමක් නැති බවත් එයින් සිදුවන්නේ ඉල්ලුම්කරු කළකිරීමට පත්වන බව හා බැටරිය සඳහා තත්ත්ව සහතික නිකුත් කරන කළුකඩ බිහිවීම පමණක් බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහතා සඳහන් කරයි.

මේ නිසා අදාළ වාහනයේ බැටරිය සඳහා තත්ත්ව සහතිකයක් ඉල්ලුම්කරුගෙන් ඉල්ලන කොන්දේසිය වහාම ඉවත් කරන ලෙසත් රුෂාන් මලින්ද මහතා කියා සිටී.

“ලෝකයේ පිළිගත් වාහන නිෂ්පාදන සමාගම් තමයි මේ විදුලි වාහන නිපදවන්නේ. ඒ නිසා සහතිකය ලබා දිය යුත්තේ අදාළ වාහන නිෂ්පාදන සමාගම මිස ආනයනකරු නෙමෙයි. මමත් ජපානයේ සිට වාහන විශාල ප්‍රමාණයක් ලංකාවට එවල තිබෙනවා. නමුත්, මම වාහනයක් ලංකාවට එවනකොට ඊට තත්ත්ව වාර්තාවක් දෙන්න මට බෑ. උදාහරණයක් ලෙස බී. එම්. ඩබ්ලිව් අයි 7 රථය ගත්තම අවුරුදු 8 ක වගකීම හෝ කිලෝමීටර් 80,000 ක වගකීම ඒ රථයට තියනවා. ඊට වගකීම ලබාදී තියෙන්නෙ අදාළ සමාගම විසින්.

නමුත් විදේශ ශ්‍රමිකයකු පිටරට ඇවිත් හම්බකරන්නේ හීන ගොඩක් ඔළුවෙ තියාගෙන. එහෙම හම්බකර රටට ඩොලර් එවලා ඒ සඳහා දෙන බලපත්‍රයට වාහනයක් ගන්න ගියාම මේ නිසා අසරණ වෙනවා. විදේශ ශ්‍රමිකයට ලැබෙන බලපත්‍රය ගන්න යන්නෙ ලංකාවේ ඉන්න ඔහුගේ පවුලේ කෙනෙක්. ඔහුගෙන් බැටරිය සඳහා තත්ත්ව වාර්තාවක් ඉල්ලුවම ඔහුට සිදුවෙනවා තැරැව්කරුවෙකුට සල්ලි ලබාදී එය ඉටුකරගන්න. මේ පිළිබඳ විදේශ ශ්‍රමිකයන් කලකිරීමෙන් ඉන්නෙ. මෙම අනවශ්‍ය කරුණු එම ඉල්ලුම්පත්‍රයෙන් ඉවත් කර රටට ඩොලර් එවන රටවිරුවන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යැයිද රුෂාන් මලින්ද මහතා ‘දිවයින’ ට පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment