පරිපාලකවරිය ගැන විමර්ශනයක්: ඇස් රෝහලේ වර්ජනය පැය දෙකෙන් නවතියි

175

කොළඹ අක්‍ෂි රෝහලේ පරිපාලකවරියකගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

එම පොරොන්දුව අනුව ඊයේ (14 දා) කොළඹ අක්ෂි රෝහලේ ආරම්භ කළ එක් දින වැඩවර්ජනය පැය දෙකක පමණ කාලයකදී අත්හිටුවීමට තීරණය කළ බව ඔහු කීවේය.

ඒ අනුව පෙරවරු 8.00 ට ආරම්භ කළ එම වැඩවර්ජනය පෙරවරු 10.00 පමණ වන විට අවසන් කරන ලදී.

පරිපාලකවරියගේ ක්‍රියාපිළිවෙත්වලට එරෙහිව වර්ජනය ආරම්භකර තිබිණි.

අදාළ ගැටලුව සම්බන්ධව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ පෙරවරු 8.00 ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ සාකච්ඡාවක් කැඳවා තිබිණි.

එම සාකච්ඡාවේදී සෞඛ්‍ය ලේකම්වරයා අක්ෂි රෝහලේ පරිපාලකවරියගේ ක්‍රියා කලාපය සම්බන්ධව විමර්ශනය කර කඩිනමින් විසඳුම් ලබාදෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පොරොන්දුවී තිබේ.

මෙම සාකච්ඡාවට කොළඹ අක්ෂි රෝහලේ අධ්‍යක්‍ෂ ඒ. ආර්. එම්. තවුෆික්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. බී. බටවල යන මහත්වරුන්ද, අක්ෂි රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගිවී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment