රතු ග්‍රහයා මත ජීවය සොයන ලාංකික ඉංජිනේරුවා

108

අඟහරු මත කවදා හෝ ජීවයක් තිබුණිද? තිබේද? තිබේවිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට විශ්වය ගැන කුතුහලය ඇති බොහෝ දෙනා බොහෝ කාලයක පටන් විවිධාකාරයෙන් වෑයම් කරති. එවන් උත්සාහයකට තම සුවිශේෂී දායකත්වය සපයන ශ්‍රී ලාංකික විද්වතෙකු ද සිටිනා බව ඔබ දන්නවාද? මේ ඒ පිළිබඳ කෙරෙන අනාවරණයයි.

වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන හේ ඉන්ද්‍රජිත් මනිලාල් සිල්වාය. විවිධ පර්යේෂණ කාර්යයන් රැසක් සඳහා දියත් කෙරුණු ප්‍රධාන අභ්‍යවකාශ ව්‍යාපෘති කිහිපයකම ඔහු ඉතා වැදගත් වගකිව යුතු නිල දරන්නෙකි. අඟහරු මත ජීවය සොයන එක්සොමාස් (ExoMars) නමැති රෝවරයේ තාක්ෂණික අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මනිලාල්ය.

1976 වසරේ උපත ලබා ඇති අපේ කතා නායකයා සිය මූලික අධ්‍යාපනය අරඹන්නේ කොළඹ ඉසිපතන විද්‍යාලයෙනි. ඉන් පසු කොළඹ රාජකීය විද්‍යාලයේත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේත් ඉගෙනුම ලබන ඔහු සිය උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගන්නේ එක්සත් ජනපදයේ කිංස්ටන් විශ්වවිද්‍යාලයයි. එහිදී ඔහු අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය සපුරා ගනී.

අනතුරුව තරුණ මනිලාල් සම්බන්ධ වන්නේ එයාබස් ලෙස ප්‍රකට Airbus Defence and Space සමාගම සමගයි. යුරෝපයේ විශාලතම අභ්‍යවකාශ වෙළඳ ආයතනය වන එහිදී ඔහු ගුවන් යානා සැලසුම් කිරීම, ගුවන් යානා නිෂ්පාදනය කිරීම හා ගුවන් යානා නඩත්තු කිරීම යන ත්‍රිවිධ ක්ෂේත්‍රයන්හි ඉංජිනේරුවෙකු ලෙස තම කාර්යභාරය ඉටු කර ඇත. එහිදී ටෙලිසන්නිවේදන චන්ද්‍රිකා නිෂ්පාදනය, පෘථිවි, විද්‍යා හා නාවුක චන්ද්‍රිකා නිෂ්පාදනය පිළිබඳ විශේෂඥයෙක් බවට පත්වීමට ඔහුට හැකි විය.

රතු ග්‍රහයා මත ජීවය සොයන ලාංකික ඉංජිනේරුවා

2018 වසරේ ඔක්තෝබරයෙහි BpiColomba අභ්‍යවකාශ යානය දියත් කරන තුරු මනිලාල් එයාබස් සමාගමේ සේවය කර ඇත. ඉතිහාසයේ ප්‍රථම වරට සූර්යයාට එතරම් ලංව ඡායාරූප ගැනීමට සමත් වූයේ බුධ ග්‍රහයාගේ රහස් සෙවීමට යවන ලද BepiColomba යානය මගිනි. යුරෝපයෙන් බුධ වෙත යැවුණු ප්‍රථම යානය වූ එය නම් කරනු ලැබ ඇත්තේ ඉතාලි ජාතික විද්‍යාඥයකු වූ Giuseppe (Bepi) Colombo ට ගෞරව පිණිසය. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය හා ජපන් අභ්‍යවකාශ ඒජන්සිය එක්ව කරන ලද BepiColomba ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්මික ඉංජිනේරුවරයා වූයේ මනිලාල් සිල්වාය. එය අතිශයින් සාර්ථක වූ මෙහෙයුමක් විය.

ඉන් අනතුරුව ඔහු සම්බන්ධ වූ ප්‍රධාන ව්‍යාපෘතිය වන්නේ එක්සොමාස් රෝවර් ව්‍යාපෘතියයි. අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් යුරෝපයෙන් දියත් කෙරුණු ප්‍රථම මෙහෙයුම වන එය යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය හා රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය වන Roscosmos ඒකාබද්ධව සිදුකරන ලද්දකි. අඟහරු මත අතීතයේ යම් ජීවයක් තිබූ බවට සලකුණක් හෝ තිබේදැයි සොයා බැලීම මේ ව්‍යාපෘතියේ මූලික අරමුණකි. ඒ සඳහා අඟහරු මත මී. 2ක් ගැඹුරට විද පස් නියැදි ලබා ගැනීම සඳහා වූ විදුම් මෙවලම් කට්ටලයකින් මේ යානය සමන්විත විය. එසේම අඟහරුගේ ජලය හා භූ රසායනික පරිසරය වෙනස් වන ආකාරය, එහි වායුගෝලීය තත්ත්වය හා ඒවායේ ප්‍රභවය පිළිබඳ පරීක්ෂා කිරීම මෙන්ම අනාගතයේ අඟහරු වෙත ගොස් ආපසු එන මෙහෙයුමකදී තාක්ෂණය යොදාගන්නා ආකාරය නිරූපණය කිරීම ද එක්සොමාස් රෝවර් ව්‍යාපෘතියේ ඉලක්කයන්ය.

එක්සොමාස් රෝවරය නිර්මාණය කිරීමේදී මනිලාල් ඇතුළු කණ්ඩායම මුහුණ පෑ ප්‍රධාන අභියෝගය වූයේ එය ජීවානුහර තත්ත්වයෙන් තිබිය යුතු වීමයි. ඒ සඳහා විශේෂිත ඇඳුම් ඇඳ වැඩ කිරීමට ඔවුනට සිදුව ඇත.

කුඩා කල පටන් ඉංජිනේරු විද්‍යාව මෙන්ම අභ්‍යවකාශය හා ඒ සම්බන්ධ වස්තූන් ද තම සිත වසඟ කළ බව මනිලාල් පවසයි. අඟහරු මත ජනාවාස ඇති කිරීම යනාදී අඟහරු මෙහෙයුම්වලට තම දැනුමින් දායක වීම ඔහුගේ අපේක්ෂාවයි.

‘මම ගුවන්යානා මූලධර්ම හා නිෂ්පාදන ක්‍රියාවලිය ගැන කියවන්න පටන් ගත්තා. ඒ වගේම ග්‍රහලෝක හැදෙන හැටි පවතින හැටි ගැන තේරුම් ගන්නත් වෙනත් ග්‍රහලෝකවල ජීවය පවතීද යන්න ගැනත් විතරක් නොවේ විද්‍යාඥයෙක් වෙන්නත් මම උනන්දු වුණා’යි ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

පාසලේදී මනිලාල් සෑම අංශයකම දස්කම් පෑ සිසුවෙක්ව සිට ඇතැයි පැවසේ. අවුරුදු දහනවයෙන් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම තුළින් කණ්ඩායමක් සේ වැඩ කිරීම කෙරෙහි නැඹුරු වූ පාසල් කාලය ඔහුගේ අධ්‍යාපනික හා වෘත්තීය ජයග්‍රහණයන්ගේ මහා ප්‍රතිබිම්භයක් බව ඔහු ප්‍රකාශ කර ඇත. ඔහුගේ සාර්ථකත්වය පසුපස මව්පියන් ද සිටින බව කීමට පසුබට නොවූ මනිලාල් ජීවන දර්ශනයක් තබාගැනීමට හා ආත්ම විශ්වාසය පවත්වා ගැනීමට කියා දුන්නේ ඔවුන් බව සිහිකරයි.

රතු ග්‍රහයා මත ජීවය සොයන ලාංකික ඉංජිනේරුවා
මනිලාල් සිල්වා

ශ්‍රී ලාංකික තරුණ පරපුර වෙත කීමට ඇත්තේ කුමක්දැයි වාර්තාකරු විමසන ලදුව මනිලාල් පවසා ඇත්තේ මෙසේය.

‘ඔබ ගැන මනාව වටහා ගනිමින් ඔබේ අනාගත ජීවිතය සැලසුම් කර ගැනීම සඳහා අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. ඔබ තෝරා ගන්නා දේ ගැන සතුටින් ඒ අනුව ඔබේ කුසලතා සංවර්ධනය කර ගත යුතුයි. මට නම් වයස අවුරුදු 16 – 20 හරිම තීරණාත්මකයි. ඒ කාලය නාස්ති නොකළ යුතුයි. විෂය කරුණු පාඩම් කරනවාට වඩා නිර්මාණාත්මකබව වඩා වර්ධනය කර ගැනීමයි අවශ්‍ය. ඒ සඳහා කියවීම සහ මූලික කරුණු අවබෝධ කර ගැනීමත් වැදගත්.’

අපේ සැබෑ හැකියාව මතු කර ගැනීම සඳහා උත්තේජනය විය යුතු සැඟවුණු හැකියාවන් අප සැම දෙනා තුළ ඇතැයි මහිලාල් දැඩිව විශ්වාස කරයි. ඒ සඳහා දෙමාපියන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ උපකාර වැදගත් බව ඔහුගේ මතයයි. තරුණ අභ්‍යවකාශ ඉංජිනේරුවන් උනන්දු කරවමින් තම දැනුම ඔවුනට හැකිතාක් දායාද කිරීමට තමන් ඉතා කැමැත්තෙන් සිටින බව පැවසීමට ද මනිලාල් අමතක කර නැත. අනාගතයේදී ඔහු ඒ සඳහා යම් ව්‍යාපෘතියක් ආරම්භ කරනු ඇත.

සැබැවින්ම මේ ලාංකික ඉංජිනේරුවා මෙරටට යම් කීර්තියක් ගෙනාවේ නම් ඒ ඉලක්ක හඹායෑමට ඔහු තුළ වූ නොතිත් අධිෂ්ඨානය හා වෙහෙස වී වැඩ කිරීමට කැපවීම නිසාම විය යුතු යැයි සිතේ. අපි ඔහුගේ ඉදිරි ගමනට සුබ පතමු.

දීපිකා ප්‍රියදර්ශනී

advertistmentadvertistment
advertistmentadvertistment