හැත්තෑපස් වසර සපුරන ශ්‍රී ලංකා රාමක්‍ඳ්ක්‍ඳ මහා නිකායේ මහා නායක මකුලෑවේ ශ්‍රී විමලාභිධාන නාහිමිපාණෝ

110

ශ්‍රී ලංකා රාමක්‍ඳ්ක්‍ඳ මහා නිකායේ මහා නායක පදවිය (ධුරය) සඳහා සුදුසු පැවිදි උතුමෙකු පිළිබඳ සිතූ තත් කාරක – පාලක සංඝ සභාව ඒ වෙනුවෙන් වඩාත් උචිත සුදුසු මහ තෙර නමක ලෙස තෝරාගනු ලැබුවේ වර්තමාන මහා නායක ත්‍රිපිටක විශාරද දර්ශනශූරී, අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති මකුලෑවේ ශ්‍රී විමල මාහිමියන් ය. ඒ සඳහා උන්වහන්සේ අතිශයින් සුදුසු බව කාරක පාලක මහා සංඝ සභාව මගින් ඒකමතිකව තීරණය කළ නිසා ය.

වයඹ පළාතේ, වන්නි හත්පත්තුවේ ගල්ගමුව, මකුලෑව ග්‍රාමවරයෙහි සම්භාවනීය පරපුරක හේරත් මුදියන්සේලාගේ පුංචිරාළ හා ඉමිහාමි මුදියන්සේලාගේ කිරිමැණිකේ යන දම්පතීන්ට දාව 1948 අගෝස්තු 25 දින මෙලොව එළිය දුටු පින්වත් පුත් රුවන හේරත් මුදියන්සේලාගේ ‘කිරිබණ්ඩාර’ නමින් නම් කෙරිණි. ධන්‍ය, පුණ්‍ය ලක්‍ෂණවලින් හෙබි කිරිබණ්ඩාර කුමරුන් හැමදෙනාගේ සෙනෙහස මධ්‍යයේ වැඩුණේ ළාබාල අවධියේ සිටම සුවිශේෂී ලක්‍ෂණ රැසක්ම හෙළි කරමිනි. ආගම දහමට ලැදි බව, පිරිසිදුකම, තැන්පත් බව, මස් මාංශ පිළිකුල් කරමින් නිර්මාංශ බවින් යුතුවීම ආදී මෙකී ලක්‍ෂණ නිසා දෙමාපියන් මෙම කුල කුමරුන් පිළිබඳ විමසුම් නෙතින් සිතින් නිරන්තරවම කල්ගත කරන්නට විය.

වසර 11 දී පමණ පැවිදි දම් පුරන රිසි වූ කිරිබණ්ඩාර කුල කුමරුවන් – මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරය වෙත පැමිණියෙන් 1960 මාර්තු මස 24 වන දින මකුලෑවේ විමල නමින් උතුම් පැවිදි භූමියට පත්වූයේ රාජකීය පණ්ඩිත දෙමළ භාෂා විශාරද නුගදෙණියේ ධම්මානන්ද හා දිසාපාලක ධුරන්ධර වේවැල්දෙණියේ නන්දසිරි යන මාහිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යත්වයෙනි.

ඉන් අනතුරුව වසර 07 ක් පමණ ගුරු ඇසුර යටතේ උගත මනා බණ දහම් හා සිංහල – පාලි – සංස්කෘත භාෂාවන් ද උසස් අයුරින් ප්‍රගුණ කරනු ලැබුවේ ඉතාමත් සුසංවර හා සුසංයම අයුරින් හා උද්‍යා්ගයෙන් යුතුවය.

විසි වයස් සම්පූර්ණ වූ විමල හිමිපාණන් අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට සුදුසුව සිටි හෙයින් 1969 ජූලි 22 දින කල්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේදී උතුම් උපසම්පදා භූමියට පත්විය.

ශ්‍රී ලංකා රාමක්‍ඳ්ක්‍ඳ මහා නිකායේ අතිපූජ්‍ය මහනායක විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත ඉඳුරුවේ උත්තරානන්ද මාහිමිපාණන්ගේ උපාධ්‍යාත්වයෙන් හා මහෝපාධ්‍යාය කුඹුක්වැවේ විජිතසේන, ශාස්ත්‍රවේදී පිදුමේ රතන, රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද, ශාස්ත්‍රවේදී ලෝලුවාගොඩ ඤාණරතන මාහිමිවරුන්ගේ ආචාර්ය්‍යත්වයෙන් විමල හිමිපාණෝ එසේ අධිශීලයෙහි පිහිටුවනු ලැබූහ. කු/ නිතලව කනිටු විදුහලින් මූලික අධ්‍යාපනය ලබා පසුව මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනෙන් වැඩිදුර ඉගෙනුම ලැබූ විමල හිමිපාණෝ අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයට (වර්තමාන භික්‍ෂු විශ්වවිද්‍යාලය) ඇතුළත්ව අතිශය සාර්ථක ඉගෙනුමකින් පසු ත්‍රිපිටකවේදී උපාධිය ලබා ඉන් නික්මුණි.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත් විමල හිමියන් එමගින් ශාස්ත්‍රපති උපාධිය ද උසස් ලෙස සමත් වන්නට වාසනාවන්ත විය.

මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන් ශ්‍රී සුමංගල සභාව මගින් පවත්වනු ලබන සද්ධර්මාචාර්ය හා විනයාචාර්ය යන ත්‍රිපිටකය පිළිබඳ වන උපාධි පාඨමාලා හදාරා එම උපාධීන් ද, උසස් අයුරින් සමත්වූ විමල හිමිපාණන් තවදුරටත් ත්‍රිපිටකය පිළිබඳ හැදෑරීමේ නොනිත් ආශාවෙන් ස්වනිකායික පරියත්ති පාලක සභාව මගින් පවත්වනු ලැබූ ත්‍රිපිටකාචාර්ය හා ත්‍රිටක විශාරද යන උපාධි ද්විත්වයෙන් ද විශිෂ්ට අයුරින් සමත්වීමට වාසනාවන්ත වූයේ තත් ගුරු පාර්ශ්වයේ අප්‍රමාණ සොම්නස කුළුගන්වමිනි.

ඉගෙනුම් අවධියේ සිටම ශාසනික හා සාමාජික සේවාවන්ට අවතීර්ණ වූ විමල හිමිපාණන් දහම් පාසල් ක්‍ෂේත්‍රය නගාසිටුවන්නට අප්‍රතිහත ධෛර්ය්‍යයෙන් යුතුව ක්‍රියාකරමින් මිණිඔළුව ශ්‍රී ඤාණේශ්වර දහම් පාසලේ විශිෂ්ට ප්‍රගතිය වෙනුවෙන් අනල්ප වෙහෙසක් දරනු ලැබීය.

විශාල ශාස්ත්‍රීය මෙහෙවරක් විමල හිමිපාණන් අතින් සිදුවිය. අපවත් වී වදාළ 20 වන සියවසේ මුල් අවධියේ මෙරට වැඩ සිටි දීප්තිමත් පඬිරුවණක් වූ රාජකීය පණ්ඩිත නිතලව ඤාණේශ්වර මාහිමියන් විසින් රචිත ග්‍රන්ථ රාශියක්ම යළි සංස්කරණය කර මුද්‍රණද්වාරයෙන් පිටකිරීම එකී අගනා මෙහෙවර වේ. මුද්‍රිතව තිබූ හා අත්පිටපත් වශයෙන් පැවැති කෘති කිහිපයකට සංස්කරණයෙන් පමණක් දොරට වැඩ තිබේ. බාල සුබෝදිනී නාම පද පාලිවරනැගිල්ල අතිශය ගැඹුරු හා විමර්ශනාත්මක කෘතියක් වන “ව්‍යාකරණ රත්නාකරය’ හා ‘සප්ත විශුද්ධි නිර්දේශය’, ‘සද්ධමෝපදේශය’, ‘අභිධම්මත්ථ විභාවිනි ටීකා සන්නස’, ‘පාලි භාෂාවේ පද සාධන විධි’, ‘ශ්‍රී සරණංකර චරිතය’, ‘අධිකරණ විනිශ්චය’, ‘නැණපහන’ යන මෙම මුද්‍රිත හා අමුද්‍රිත කෘති යළි සංස්කරණය කර පාඨක ලෝකය වෙත ඉදිරිපත් කිරීමෙන් විමල හිමිපාණෝ ඉටුකර ඇති ශාස්ත්‍රීය සේවය බෙහෙවින්ම උසස් වේ.

රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද හිමියන්ගේ දෙමළ බසින් රචිත සිංහලට පරිවර්තනය වී ඇති කෝකිලයෝ හා ආච්චිගේ කතා යන කෘති යළි පළකිරීමෙන් සිදුකර ඇති අගනා මෙහෙවර ද ශාස්ත්‍රාභිලාෂීන්ගේ නොමඳ පැසසුමට හේතු වේ.

‘බුද්ධ ශ්‍රාවක’, ‘පරියත්ති’, ‘අධිශීල’ යන ශාස්ත්‍රීය සඟරාවන්ගේ සම සංස්කාරක ලෙස උදාර කාර්යයක් අප නාහිමිපාණන් වෙතින් සිදුව තිබේ. ‘නැණිසුරු – විදුමිණ – ප්‍රතිභා’ යන සඟරාවන්හි සංස්කාරක ලෙස ද විමල නාහිමියෝ මහත් කැපකිරීමක් කොට ශාස්ත්‍රීය ලෝකය කළඑළි කර තිබේ.

පරාර්ථ චර්යාව දිවි දිවිමඟ හා යා කරගෙන සිටින විමල නාහිමිපාණන් තමන්ගෙන් සේවයක් අවැසි සැමටම සිය යුතුකම හා වගකීම මැනවින් ඉටුකිරීම සඳහා අත්‍යන්තයෙන් ම කැප වී සිටියි.

ගල්ගමුව ප්‍රදේශයේ පිටිසරව පිහිටි ගම් කීපයක් සඳහා විදුලි ආකෝලය ලබා ගැනීම සිහිනයක්ව පැවති අවධියක දේශපාලන අධිකාරිය හා අවශ්‍ය අනෙකුත් බලධාරීන් දැනුවත් කරමින් එම විදුලි ආලෝකය මකුලෑව නිතලව, බෝගස්වැව, විකාදෙණිගම, හෙට්ටිගම, මැදගම ආදී

ගම්මානවලට ලබාදීමට ගත් දැවැන්ත ප්‍රයන්තයේ අනුහසින් අද වනවිට එම ගම් ප්‍රදේශ විදුලි ආලෝකයෙන් ආලෝකවත් ව තිබේ. ගම්මානයෙන් කටුක අත්දැකීම් ලැබ ඇති උක්ත ප්‍රදේශයන්හි ජනතාවගේ තත් පහසුව ඇතිකරනු වස් ගල්ගමුව සිට

දිවුල්ගනේ දක්වා නිතලව – මකුලෑව – බෝගස්වැව – හෙට්ටිගම – විකාදෙණිගම ආදී ගම්මාන ඔස්සේ ගමන් කිරීම සඳහා බස් ධාවනයක් ලබාදීමට ද අප මාහිමියන් ගන්නා ලද උදාර ප්‍රයත්නය අතිශයින්ම ජනතා හිතෛෂී වී ඇත.

රෝගීන්, අසරණයන්, දිළින්දන්, ආබාධිතයන් වැනි අයට සේවාවක් සැලසීම වෙනුවෙන් මහනායක මාහිමියන් දැඩි උත්සාහයක යෙදෙන බව වෙසෙසා පැවසිය යුතුය. පැරණි ආචාර්යවරුන්, හිතවතුන්, ඥාතීන්, ආශ්‍රිතයන් ආදීන්ගේ දුක සැප වෙනුවෙන් ද මහා නායක මාහිමියන්ගේ කුළුණු මෙත හා නෙත නිරන්තරවම යොමු වේ.

මහා නායක ධුරය ආභරණයක් හෝ ආවරණයක් කර ගෙන නැති මහා නායක මාහිමියන් සිය යුතුකම් හා වගකීම් නිසුයුරු ඉටුකරන්නේ හදවතට එකඟව ය.

තුන් නිකායේම මහ තෙරවරුන් හා සමඟ සමීප ඇසුරක් පවත්වන අප මහා නාහිමියෝ එම හැම දෙනා වහන්සේගේම අත්‍යන්ත ආදරයට හා ගෞරවයට ලක්ව සිටිති.

ජීවන ගමනේ සැත්තෑපස් විය සපුරන මහා නායක මාහිමි සඳුනි! ඔබ වහන්සේට සුඛී දීඝායුඛෝ භව!

● දිවුලපිටිය – අයි. එම්. අබේරත්න
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment