ධනංජය සහ කමිඳුගේ ශතකවලින් හිස එසවූ ශ්‍රී ලංකාව බංග්ලාදේශය අමාරුවේ දැමීමට සැරසෙයි

587

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය

ලකුණු 57 කට කඩුලු 5 ක් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ජීවය සපයමින් නායක ධනංජය ද සිල්වා සහ තම දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කමිඳු මෙන්ඩිස් දෙදෙනා රැස් කරන ලද විශිෂ්ට ශතක දෙකේ සවිය සමගින් බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ප්‍රබල ආක්‍රමණයක් එල්ල කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (22 වැනිදා) සමත්ව සිටියේය.

ධනංජය සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 202 ක විශිෂ්ට සම්බන්ධතාවයක් පැවැත්වූ අතර 6 වැනි කඩුල්ල ලෙස කමිඳු ලකුණු 259 දී දැවී යෑමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා තවත් ලකුණු 41 ක් තුළ දැවී ගියහ.

කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා දෙදෙනා අතරින් පළමුව ශතකය වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වූ අතර පන්දු 126 කදී හතරේ පහර 11 ක් සහ 6 පහර 3 ක් සමග ශතකය වාර්තා කළ කමිඳු ඉන් පසුව මුහුණ දුන් පළමු පන්දුවේදීම කඩුලු රකින්නා අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේය.

ධනංජය ද සිල්වා ද කමිඳු මෙන්ඩිස් මෙන්ම හතරේ පහරක් එල්ල කරමින් සිය ශතකය වාර්තා කළ අතර එම ශතකය ධනංජයගේ ටෙස්ට් දිවියේ 11 වැනි ශතකය ලෙස වාර්තා විය.

තම දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කමිඳු වාර්තා කළේ සිය මංගල ටෙස්ට් ශතකයයි.

ධනංජයගේ නායකත්වයේ ඉනිම පන්දු 131 ක් පුරා ඇදී ගිය අතර හතරේ පහර 12 කින් සහ එක් හයේ පහරකින් එම ඉනිම පෝෂණය විය.

ශ්‍රී ලංකා ඉනිම වැටෙන්නට ගිය අගාධයෙන් ගොඩ ගත් ඔවුන් දෙදෙනා බංගලාදේශය පන්දු යවන්නන් තඹයකට මායිම් නොකර අලංකාර ලෙස පන්දුවට පහර දුන්හ.

ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 280 ට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම ඊයේ දිනය නිමාවන විට කඩුලු තුනක් දැවී ලකුණු 32ක් රැස් කරගෙන සිටියේය.

ඒ අනුව බංගලාදේශය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 248ක් පිටුපසින් සිටිමින් තරගයේ දෙවැනි දිනය වන අද දිනය ඇරඹීමට නියමිතය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

බංගලාදේශ නායකයාගේ තීරණය නිවැරදි බව පෙන්වමින් ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු පූජා කළ අතර ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී ගොස් පිටියෙන් ඉවත් වූයේය.

ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ලකුණු 02 කටත් කුසල් මෙන්ඩිස් ලකුණු 16 කටත් දැවී ගිය අතර දිමුත් කරුණාරත්න රැස් කළේ ලකුණු 17 ක් පමණි.

බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ කලීඩ් අහමඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3 ම දවා ගැනීමට සමත් වූ අතර මංගල තරගයට ක්‍රීඩා කරන නහිඩ් රානා ද කඩුලු 3 ක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ඇරඹූ බංග්ලාදේශ කණ්ඩායමට තියුණු තර්ජනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්න දෙදෙනා වූ විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත සමත් වූහ.

එහිදී ශකීර් හසන් සහ නායක නජ්මුල් හුසේන් ෂැන්ටෝගේ කඩුලු විශ්ව විසින් ලබා ගත් අතර මොමිනුල් හක් කසුන් රාජිතට ගොදුරු විය.

ධනංජය සහ කමිඳුගේ ශතකවලින් හිස එසවූ ශ්‍රී ලංකාව බංග්ලාදේශය අමාරුවේ දැමීමට සැරසෙයි
advertistmentadvertistment
advertistmentadvertistment