යළි විදුලි බිල වැඩි කරන්න යන්නේ දිනකට කෝටි 200ක් උපයද්දීයි – ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක් කියයි

264

දිනක ආදායම කෝටි 200ක්: ඒත් ලංවිම පාඩුයිලු

විදුලිබල පනතේ වගන්ති උල්ලංඝණය කරමින් මෙම වසරේදී තුන්වැනි වරටත් විදුලි ගාස්තු ඉහළ දැමීමට යන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ දිනක ආදායම රුපියල් කෝටි 200ක් (බිලියන 2) ඉක්මවා තිබියදී යැයි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව දළ වශයෙන් විදුලිබල මණ්ඩලය මාසයකට රුපියල් කෝටි හයදහසකට අධික ආදායමක් ලබන මොහොතේදී මේ දක්වා රුපියල් කෝටි 1800ක (බිලියන 18) සමස්ත අලාභයක් ලබා ඇත්තේ මන්දැයි රටට හෙළිකළ යුතු බවද හෙතෙම කීය.

විදුලිබල මණ්ඩලයේ දත්තවලට අනුව තාප විදුලිය සඳහා දිනකට රුපියල් කෝටි හතළිහක (මිලියන 400) මුදලක් ගෙවීමට සිදුවී තිබේ. එසේ තාප විදුලිය සඳහා රුපියල් කෝටි හතළිහක මුදලක් වැය වුවත් දෛනික ආදායමෙන් ඉතිරි වන රුපියල් කෝටි එකසිය හැටක මුදල කළමනාකරණය කර ගැනීමට අපොහොසත්වීම පිළිබඳ සොයාබැලිය යුතු බවද එම ඉංජිනේරුවරයා කීවේය.

ඉකුත් ජනවාරි සිට විදුලිබල මණ්ඩලයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම නතර කළ බවත් මණ්ඩලයම සිය ආදායම් වියදම් කළමනාකරණය කරගත යුතු බවත් හෙතෙම පැවසීය. එසේ නොකර සිදුවන අලාභය ලක්‍ෂ හැත්තෑ එකක පාරිභෝගිකයන් මත පැටවීම විසඳුම නොවන බවද හෙතෙම කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment