රිළා පැනය නැවතත්

523

ලෝකයේ රටවල්වලින් 70% ක පමණ ගොවි ජනයා SMART FARMING නමැති ගොවිතැන් ක්‍රමය කෙරෙහි අවධානය යොමුකර තිබෙන සහ ඒ ක්‍රමය සමඟ වැඩකරන යුගයක අප තවමත් කතා කරන්නේ වගාවට හානි කරන රිළවුන් අල්ලා චීනයට පැටවීම ගැන ය. SMART FARMING යනු කුමක් ද? මේ ක්‍රමය යටතේ වගාබිම් සහමුලින්ම පරිගණකය සමඟ හෝ ස්මාර්ට් දුරකථනය සමඟ සම්බන්ධ කර ඇත. වගාබිමට රසායනික පොහොර ඉසීම, කෘමිනාශක තෙල් ගැසීම ඇතුළු කටයුතු රැසක් ඩ්‍රෝන තාක්‍ෂණය යටතේ සිදුකිරීම SMART FARMING සංකල්පයට අයත් ය.

ගොවිතැනට වතුර අවශ්‍ය කවර වේලාවට ද යන්නත්, අවශ්‍ය වතුර ප්‍රමාණය කොපමණ ද යන්නත් SMART FARMING ක්‍රමය තුළදී පරිගණකය මගින් ගොවීන්ට දැනුම් දෙයි. මෙහිදී අපතේ යෑම අඩුවන අතර ගොවියාට කාලය ද ඉතිරි වෙයි. මෙවැනි ක්‍රම යටතේ අස්වනු වැඩිකර ගත හැකිය. එසේම මේ කන්නයේ ලැබෙන අස්වැන්න කොපමණ ද යන්න තක්සේරු කර ගත හැකිය. තවත් ටික කාලයකට පසු දියුණු රටවල ගොවි ජනතාව ස්වකීය වගා කටයුතු සඳහා අභ්‍යවකාශ තාක්‍ෂණය ද යොදා ගන්නවා ඇත. මේ කියන තාක්‍ෂණය ඉතා සියුම්, ඉතා ඉක්මන් තාක්‍ෂණයකි.

වගා විනාශ කරන රිළවුන් ලක්‍ෂයක් පමණ චීනයේ සත්වෝද්‍යාන විසිදහසකට යැවීමට තිබූ අවස්ථාව සතුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන කණ්ඩායම් නිසා නැවතී ඇතැයි කෘෂිකර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පසුගියදා පාර්ලිමේන්තුවේදී කීවේය. මහින්ද අමරවීර යනු චීනයට රිළවුන් පැටවීම සඳහා මුලින්ම කතා කළ දෙතුන්දෙනාගෙන් කෙනෙකි. ඔහු එම අදහස ඉදිරිපත් කරන විටම සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන මේ රටේ සමිති සමාගම් රැසක් ඔහු වටලා දරුණු ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ. ඒ සමඟම ඇමැතිතුමා නිහඬ වූ අතර කිසිදු කලබලයක් නැතිව කාලය ගෙවී ගියේ ය. මාස 4 ක් පමණ තිස්සේ දිගින් දිගටම වැසි වට අතර ඒ නිසා බොහෝ වගා පාළු සිදුවිය. රිළවුන් චීනයට පැටවිය හැකි වුවද, වැස්ස චීනයට පැටවිය නොහැක. වැස්ස නිසා කැරට් කිලෝව රුපියල් 1000 ටත්, ලීක්ස් කිලෝව රුපියල් 800 ටත්, අමුමිරිස් කිලෝව රුපියල් 1200 ටත් නැග්ගේ ය. යාපනයේ මුරුංගා කිලෝව මේ මොහොතේ දී රුපියල් 3000 කි. යාපනයට ඔය කියන තරම් වැස්සේ ද යන කාරණය අපි නොදනිමු. කෙසේ වුවද ඇමැතිතුමා කොහොම කීවත් මේ රටේ රිළවුන් චීනයට යන්නේ සත්වෝද්‍යානවල කූඩු පිරවීමට නොව වෙනත් කාරණා සඳහා බව අපගේ විශ්වාසය වේ. මේ වෙනත් කාරණා මොනවාද? රිළා මස් කෑමද? නැත. සත්ව අයිතිවාසිකම් පිළිබඳ කතා කරන ආයතන කියන පරිදි චීනයේ වෛද්‍ය පර්යේෂණාගාරවල පාවිච්චිය සඳහා මේ වන විට අවුරුද්දකට මීයන් දසලක්‍ෂ පනහක් ද, හාවුන් දෙකෝටි විසිලක්‍ෂයක් ද, රිළවුන් එක්ලක්‍ෂ විසිනවදාහක් ද, බල්ලන් හැටහතරදාහක් ද අවශ්‍යය. මේ සමස්ත ගණන පන්කෝටි විසිලක්‍ෂයකි. රසායනාගාරවලදී මේ සතුන් පාවිච්චි කරන්නේ විවිධ පර්යේෂණ සඳහා ය. චීනය, කොරියාව වැනි රටවල් හෙල්මට් පිළිබඳ පර්යේෂණ කිරීමේදී රිළවුන් යොදාගනු ලැබේ. රිළවාගේ අතපය බැඳ ඌට හෙල්මට් එකක් පළඳවන පර්යේෂකයෝ එම හෙල්මට් එකට දැඩි ප්‍රහාර එල්ල කරති. ඔවුන් එමගින් අදහස් කරන්නේ හෙල්මට් එකේ සවිමත්බව තක්සේරු කිරීම ය. හෙල්මට් එක සවිමත් නැත්නම් රිළවාගේ හිස කුඩු වී ඒ අසරණ සතා මියයයි. හෙල්මට් එක සවිමත් නම් ප්‍රහාරයේ දැඩි බව නිසා රිළවාට ක්ලාන්ත වෙයි. ක්ලාන්ත වූ රිළවුන්ට බෙහෙත් දීමක් නැත. සමහර විට ඒ සතුන් කෙළින්ම වළ දමනු ලැබේ. සතාට පණ යන්නේ පොළොව යටදී ය. රිළා මස් රසවත් ආහාරයක් ලෙස පිළිගන්නා නමුදු මසට විකිණීමට වඩා පර්යේෂණාගාර සඳහා රිළවුන් විකිණීමෙන් විශාල ලාභයක් උපයා ගැනීමට පුළුවන.

මේ රටේ වගා පාළුව විශාල ප්‍රශ්නයක් ලෙස අපිද දකිමු. 2022 දී මේ රටේ බෝග වර්ග ටොන් එක්ලක්‍ෂ හතළිස්හතරදහස් නවසිය අසූනමයක් ම වන සතුන් විසින් විනාශකර දමා ඇත. වී සහ එළවළු ද මේ බෝග අතරට අයත් ය. සතුන් විසින් කා දැමීම නිසා අපට අහිමි වූ පොල් ගෙඩි ගණන මිලියන අනූතුනකි. මෙය කෝටි දහයකට ස්වල්පයක් අඩුවීමකි. 2022 දී වූ වගා පාළුව නිසා රුපියල් මිලියන තිස්දහස් දෙසිය පහළොවක් රටට අහිමි විය. මේ නිසා බැංකු ණය ගෙවීමටත් දූ දරුවන්ට කෑම බීම මිලදී ගැනීමටත් නොහැකිව ගොවියන් විශාල ප්‍රමාණයක් දුකට පත් වූහ. සමහරුන්ට බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි විය. මේ වගා හානිය සිදුකරන්නේ රිළවුන් පමණක් නොවේ. රිළවුන්ට අමතරව සියලු පක්‍ෂි වර්ග ද දඬු ලේන්නු ද, වල්ඌරෝ ද, අලි ද වගා පාළු කරති. වගා පාළු නොකරන සතුන් වන්නේ දිවියන් සහ වළසුන් පමණි. ඔවුහු වගාව දෙසවත් නොබලා ගොවියා මරාගෙන කති. වගා පාළු කරන සතුන් මේ සා විශාල ප්‍රමාණයක් සමූල ඝාතනය කළ නොහැක. චීනයට විකිණීමට ද නොහැක. එසේ නම් අප සතුන්ගෙන් වගාව බේරා ගැනීම සඳහා වෙනත් විකල්පවලට යෑමට පුරුදු විය යුතුය. එවැනි විකල්ප ගැන අපට දැනුමක් නැත. එවැනි විකල්ප හඳුන්වාදීමට සුදුසුකම් ඇති විද්වතුන් විශාල ප්‍රමාණයක් මේ රටේ සිටිති.

වන සතුන් විසින් වගා පාළු කරන ප්‍රධාන හේතුව වන්නේ එම සතුන්ට අයත් භූමිය මිනිසුන් විසින් ආක්‍රමණය කරනු ලැබීම ය. සතුන්ගේ මුල් බිම්වල මනුෂ්‍යයන් විසින් හේන් කෙටීම නිසා එම බිම්වල ජීවත් වූ සතුන්ට වෙනත් වාසස්ථාන සොයාගෙන යෑමට සිදුවී ඇත. එහෙත් වන සතා යනු එසේ පසුබසින සතෙක් නොවේ. ඌ තමාට හිමි පොළොව මත්තේම ගැටෙන එකෙකි. මෙතැනින් තව තැනකට යා යුතු යැයි ඌට අවබෝධයක් නැත. මෙතැනින් වෙනුවට වෙන තැනකින් කෑම කමු යැයි යන දැනුමද ඌට නැත. මේ සියල්ල එකවර කළමනාකරණය කිරීම දුෂ්කර බව අපට ද වැටහේ. එහෙත් ඇමැතිතුමනි රිළවුන් චීනයට යන්නේ සත්වෝද්‍යානවලට පිරවීමට ද නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment