දැන් ක්‍රියාත්මක සතුරාගේ ව්‍යාපෘතියක් – ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් ඩයස්

5873

උතුරු පළාත කොටි ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීමේ මානුෂිය මෙහෙයුමේදී 57 වන සේනාංකයේ සේනාධිපතිවරයා ලෙස කටයුතු කළේ මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාය. කීර්තිමත් යුද වීරයෙකු වන ඒ මහතා පසුගිය කාලයේදී අවස්ථා කිහිපයකදීම සත්‍ය සෙවීමේ කොමිෂන් සභා පනත, හිමාලයා ප්‍රකාශනය වැනි දේශපාලනයට අදාළ කරුණු කාරණා පිළිබඳව අදහස් ප්‍රකාශ කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් අප මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගෙන් වැඩිදුරටත් කරුණු විමසා සිටි අතර, ඒ ගැන ඔහු දැක්වූ අදහස් මෙසේය.

ප්‍රශ්නය – කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගත් මානුෂීය මෙහෙයුමේදී 57 වන සේනාංකයේ ආඥාපති ලෙස කටයුතු කළ ඔබ, පසුගිය කාලයේදී ජාතික සංවිධාන එකමුතුව වැනි සංවිධාන සමග එක්වී කටයුතු කරන අයුරු දැක ගැනීමට ලැබුණා. යුද පෙරමුණේ සිටි ඔබ දේශපාලන පෙරමුණක කටයුතු කිරීමට තීරණය කළේ ඇයි?

පිළිතුර – මේක මගේ රට. මම උපන් දේශය. මම ශ්‍රී ලාංකික පුරවැසියෙක්. මම ඔබට උත්තර දෙන්නේ මේ රටේ පුරවැසියෙක් ලෙස මිස දේශපාලනඥයෙක් ලෙස නොවෙයි. මම කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු හෝ හිතවතකු නොවෙයි.

මම හමුදාවට බැදෙන කොට මේ රටේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම හමුදාවට බැදුණේ හමුදා නිල ඇඳුමට, විනයට තිබුණු ආශාව නිසා. නමුත් අපට රටෙත්, මහජනතාවගෙත් ආරක්‍ෂාව පතා බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධාන සමග සටන් කිරීමට සිද්ධ වූවා. එම ත්‍රස්තවාදී ප්‍රශ්නයත් සමග රටට ඉදිරියට යෑමේ හැකියාවක් තිබුණේ නැහැ. එම නිසා අපි අපේ ජාතික වගකීමරජ්‍ය හා ජනතාව වෙනුවෙන් ඉෂ්ට කිරීම සඳහා ත්‍රස්තවාදී සංවිධානයකට විරුද්ධව සටන් කළා. එම සටනින් අපි විජයග්‍රහණය කළා. නමුත් ත්‍රස්තවාදය අවසන් කළත් දෙමළ ඩයස්පෝරාව, බටහිර බලවේග, ඉන්දියාව, බෙදුම්වාදී ව්‍යාපෘති තවමත් කරගෙන යනවා. එම ත්‍රස්තවාදී ප්‍රශ්නය අවසන් වීමෙන් පසුව රටට හොඳක් සිද්ධ වේවි කියලා අපි අපේක්‍ෂා කළා. අපි අපේක්‍ෂා කළේ නැහැ අද මේ රට ගමන් කරන මාර්ගය තෝරා ගනු ඇතැයි කියලා. අද රට ගමන් කරමින් සිටින්නේ වෙනම න්‍යායපත්‍රයකට අනුව. මේක ජනතාව අපේක්‍ෂා කළ තත්ත්වයක් නොවෙයි. එම නිසා තමයි ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ඔබ සඳහන් කළ සංවිධාන සමග කටයුතු කිරීමට සිද්ධ වුණේ.

ප්‍රශ්නය – හිමාලයා ප්‍රකාශනය නම් වූ ප්‍රකාශනයක් පසුගියදා ප්‍රකාශයට පත්වූවා. ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී ඔබ සඳහන් කළා නමවත් නොදන්න භික්‍ෂූන් වහන්සේලා 7ත් නමක් දෙමළ ඩයස්පෝරාව සමග එක්වී එම ප්‍රකාශනය එළිදක්වා ඇති බව.ඇත්තටම භික්‍ෂූන් වහන්සේලා සහ දෙමළ ඩයස්පෝරාව එක්වී ප්‍රකාශයට පත්කර ඇති හිමාලයා ප්‍රකාශනය යනු කුමක් ද?

පිළිතුර – මම බෞද්ධයෙක් ලෙස භික්‍ෂූන් වහන්සේලාට ගරු කරනවා. නමුත් මම එදා එහෙම සඳහන් කළේ මම භික්‍ෂූන් වහන්සේලා සමග කොතෙකුත් කටයුතු කර ඇතත් එම භික්‍ෂූන් වහන්සේලා 7ත් නම පිළිබඳව අසා නොතිබුණ නිසයි. සමහර විට ඒක මගේ දැනුමේ අඩුවක් වෙන්න ඇති. කෙසේ වුවත් එම භික්‍ෂූන් වහන්සේලා පිළිබඳව මගේ මතකයක් තිබුණේ නැහැ.

භික්‍ෂූන් වහන්සේලා 7ත් නමක් ගෝලීය දෙමළ සංසදය සහ සුරෙන් සුරෙන්ද්‍රන් සමග කටයුතු කරනවා කියලා ඇසූවිට මම පුදුමයට පත්වූවා. හිමාලයා ප්‍රකාශනය මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් සහ ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරලා තිබෙන්නේ එම භික්‍ෂූන් වහන්සේලා 7ත් නම සහ සුරෙන් සුරෙන්ද්‍රන් විසින්. පැහැදිලිවම ඒක දේශපාලන මැදිහත්වීමක්. හිමාලයා ප්‍රකාශනය කියන්නේ ජාත්‍යන්තර උපායමාර්ගික සැලසුමක කොටසක්. ඇයි සුරෙන් සුරෙන්ද්‍රන් එම ප්‍රකාශනය භික්‍ෂූන් වහන්සේලා 7ත් නමක් එක්කම ගිහින් පිළිගන්වන්නේ. සුරෙන් සුරෙන්ද්‍රන්ට එම සංවිධානයේ පිරිසක් සමග යන්න තිබුණනේ. අන්න එතන තමයි ගැටලුව තිබෙන්නේ. මේ උත්සාහ කරලා තිබෙන්නේ එම ප්‍රකාශනයට සමස්ත සිංහල බෞද්ධ ජනතාවගේ කැමැත්ත තිබෙනවා කියලා පෙන්වන්න. අපිත් ගරු මහානායක හිමිවරුන් මුණගැසීමට ගියා. මහානායක හිමිවරුන් එම ලියවිල්ල භාරගෙන තිබුණත් කැමැත්ත ප්‍රකාශ කරලා හෝ අනුමැතිය දීලා නැහැ. නමුත් හිමාලයා ප්‍රකාශනය මහානායක හිමිවරුන්ට පිළිගැන්වූ භික්‍ෂූන් වහන්සේලා ඇතුළු පිරිස, මහානායක හිමිවරුන් එම ප්‍රකාශනයේ අන්තර්ගතයට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා කියලා ප්‍රචාරය කර ඇති බව අපට ආරංචි වූවා. මහානායක හිමිවරුන් එසේ ප්‍රකාශ කර නොතිබියදී එබදු ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි.

සිංහල බෞද්ධයන් තමයි ත්‍රස්තවාදීන් සමග කළ සටනේදී 99.9% ක් ජීවිත පූජා කළේ. ඔවුන් එසේ කටයුතු කළේ කිසිදු ලාභ අපේක්‍ෂාවකින් තොරව රට, දැය, සමය රැකගැනීම සඳහා. අතීතයේදීත් මේ රට ආරක්‍ෂා වූයේ ඒ ආකාරයටය තමයි. එම ඉතිහාසය දන්න නිසා තමයි ගෝලීය දෙමළ සංසදය තමන්ගේ බෙදුම්වාදී න්‍යායපත්‍රය ඉදිරියට ගෙනයෑම සඳහා මෙවර භික්‍ෂූන් වහන්සේලා පිරිසක් සම්බන්ධ කරගෙන තිබෙන්නේ.

ත්‍රස්තවාදයෙන් සහ පසුගිය කාලයේ තිබුණ අරගලයෙන් කරගන්න බැරි වූ දේ කර ගැනීමට තමයි හිමාලයා ප්‍රකාශනය ගෙනත් තිබෙන්නේ. එම යෝජනාවේ අන්තර්ගත යෝජනා ක්‍රියාත්මක කළහොත් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙලා මේ රට දෙකඩ වෙනවා. පශ්චාත් අරගල සමයේදී තමයි මෙම යෝජනා ඉදිරිපත් වෙන්නේ. ත්‍රස්තවාදයේ පරාජයත් සමග නැති වුණ කේවල් කිරීමේ බලය මොවුන් මෙබඳු ප්‍රකාශන හරහා ලබාගැනීමට උත්සාහ කරනවා. මෙම ප්‍රකාශනය තමයි මෑත ඉතිහාසයේදී රට බෙදීම සඳහා ඉදිරිපත් වූ අලුත්ම පිටපත. මෙය ඇමෙරිකාවෙදී ලියලා ඉන්දියාව අනුමත කරලා තිබෙන බවක් තමයි පේන්නේ.

ප්‍රශ්නය – පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සත්‍ය සෙවීමේ කොමිෂන් සභා පනතට එරෙහිවත් ඔබ අදහස් දක්වා තිබුණා. එම පනත සමග එකතු වන්න බැරි ඇයි?

පිළිතුර – මෙම සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන පනත දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වූ සත්‍ය සෙවීම සඳහා පමණක් පිහිටුවන ආයතනයක් නොවේ. මෙම පනත මගින් ආවරණය වන කාලය 2009 සිට 1983 දක්වා ආපස්සට ගමන් කරනවා. එම නිසා විවිධ චෝදනා විවිධ ආකාරයෙන් ඉදිරිපත් කර විභාග කිරීමට අවස්ථාව උදාවනවා. මෙම පනත මගින් රට බේරාගැනීම සඳහා දිවි පිදූ රණවිරුවන් 30,000 කගේ සහ ආබාධිතව සිටින 14,000කගේ සියලු කැපකිරීම් පාවාදීමට සූදානම් වෙනවා. ඒ වගේම නැවතත් රට බෙදුම්වාදී ව්‍යාපෘතියකට තල්ලු කරනවා.

මෙම පනතින් ප්‍රකාශිත බාහිරව පෙන්වන අරමුණුවලට වඩා සැඟවුණු දුෂ්ට අරමුණු තිබෙනවා. මෙරට ව්‍යවස්ථාවට අනුව ජාත්‍යන්තර මැදිහත්වීම් සහිතව යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට බැහැ. නමුත් මෙම පනත හරහා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනත් නිර්මාණය කර තිබෙනවා.

ප්‍රශ්නය – ඔබ පසුගියදා ප්‍රකාශ කළා අතීතයේදී මේ රට අවස්ථා 17 කදී විදේශීය ආක්‍රමණයන්ට ගොදුරුවී ඇති බවත්, පසුගිය කාලයේදී තවත් විදේශීය ආක්‍රමණ 3ක් සිදුවූ බවත් එම ආක්‍රමණ තුන මොනවාද?

පිළිතුර – එම ආක්‍රමණ තුනෙන් පළමු ආක්‍රමණය සිද්ධ වූයේ 1987 දී. එම ආක්‍රමණය සිද්ධ වූයේ ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමට සහ 13 වන සංශෝධනය ගෙන ඒමට පෙර. අපි එතකොට විමුක්ති මෙහෙයුමේ නැතිනම් වඩමාරච්චි මෙහෙයුමේ නිරත වෙලා සිටියේ. පළාලි යුද හමුදා කඳවුරේ සිට තමයි එම මෙහෙයුම ක්‍රියාත්මක වූයේ. එම මෙහෙයුම තව පැය 24ක් ක්‍රියාත්මක වූවා නම් ත්‍රස්තවාදය අවසන් වන්නේ එදා. සියලු නායකයන් කොටුවෙලා සිටියේ. එම අවස්ථාවේදී තමයි පළමු ආක්‍රමණය සිද්ධ වූයේ. ඉන්දියාව පළමුවෙන්ම මුහුදු සීමාව ආක්‍රමණය කරලා එන්න සූදානම් වුවත් අපගේ නාවික හමුදාව එම ප්‍රයත්නය පරාජය කරා. නමුත් ඉන් පසුව ඉන්දියාව අපගේ ගුවන් සීමාව උල්ලංඝනය කර ඇවිත් ගුවනින් පරිප්පු, හාල් දැම්මා. ඊට පෙර මෙහෙයුම නතර කරලා අපට කඳවුරුවලට එන්න කියලා කිව්වා.

2015 දී සිදුවූ ආණ්ඩු පෙරළියත්, විදේශීය ආක්‍රමණයක් තමයි. එම රජය පෙරළීම සඳහා විදේශීය රටවල් මුදල් වැය කර ඇති බව මේ වන විට හෙළිදරව් වී තිබෙනවා. වඩමාරච්චි මෙහෙයුමේදී මෙන්ම මානුෂීය මෙහෙයුමේදීත් එම මෙහෙයුම නතර කරන්න කියලා විදේශීය බලපෑම් ආවා. ප්‍රංශය, එංගලන්තය වැනි රටවලින් දේශපාලන නායකයන් ඇවිත් මෙහෙයුම නතර කරන ලෙසට බලපෑම් කළා. නමුත් එම අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කෙළින් සිට ගත්තා. 2015 දී යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විදේශීය මැදිහත්වීම් සහිතව ගෙන ගිය වැඩපිළිවෙළත් විදේශීය ආක්‍රමනයත් සමගයි යහපාලන ආණ්ඩුව බිහිවූයේ. රට තුළ පැන නැගුණ තත්ත්වයක් නිසා නොවෙයි. එය පැහැදිලිවම බටහිර බලවේගවල අවශ්‍යතාවය මත සිදුවූ දේශපාලන පෙරළියක්. එම නිසා එයත් විදේශීය ආක්‍රමණයක් තමයි.

තුන් වන විදේශීය මැදිහත්වීම තමයි අරගලය. අරගලය කියන්නේ කුමන්ත්‍රණයක් සහ පාවාදීමක්. 69 ලක්‍ෂයක් ජනතාව ඡන්දය ලබාදුන්නේ මේ රටට හිතකර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා. එය ගෝඨාභය කියන එක් පුද්ගලයකුට පමණක් ලබාදුන් ඡන්දයක් නොවෙයි. ඒ යටතේ ජනතාව එක රටක් එක නීතියක් අපේක්ෂා කළා. නමුත් දැන් එම ජනවරම අංශක 180කින් හරවලා තිබෙනවා. එම නිසා දැන් ක්‍රියාත්මක වන්නේ සතුරාගේ ව්‍යාපෘතියක් තමයි. මේ වගේ තත්ත්වයක් සිකීම්වල ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඉන් පසුව සිකීම් ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් වී තිබෙනවා. දැන් ඒ සිකීම්වල ඉන්නේ ඉන්දියාවේ ආණ්ඩුකාරයෙක්.

අරගලය අවස්ථාවෙදී මේ රටේ ජනතාව, ජනතා නියෝජිතයන් බයකර ගැනීමේ සූදානමක් තිබුණ බව පැහැදිලි කාරණයක්.

ඒ සඳහා තමයි ජනතා නියෝජිතයන්ගේ නිවාස ගිනි තිබ්බේ. එම නිවාසවලට ආරක්‍ෂාව නොසැපයීම සම්බන්ධයෙන් පොලිසියට සහ හමුදාවට චෝදනා එල්ල වනවා. මමත් සිතනවා එම නිවාසවලට ආරක්‍ෂාව දුන්නා නම් හොඳයි කියලා. එහෙම දෙයක් සිද්ධ වූ පළමු අවස්ථාව ඒක තමයි.

ප්‍රශ්නය – මොකද්ද ඔබලාගේ මීළඟ පියවර

පිළිතුර – විදේශීය බලවේගයන් මේ රට ගොදුරු කර ගැනීමේ සැලසුමේ එක් අංගයක් ලෙස මේ රටේ සංස්කෘතියට සහ ආර්ථිකයට විවිධ බලපෑම් එල්ල කරමින් සිටිනවා. බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල කියන ව්‍යාපෘති වැටෙන්නෙත් ඒ යටතට තමයි. ඒක අදාළම නැති කතාවක්නේ. මෙවැනි ව්‍යාපෘති නිසා සිද්ධ වෙන්නේ අපේ සමාජය තුළ තිබිය යුතු පිළිගැනීම, අනන්‍යතාවය, ඒකමතිකභාවය අහෝසි වී යෑම තමයි.

මෙහෙම ගියොත් අපිට උපන් රටේම වහල්ලු ලෙස තමයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. අපි දැන් උජාරුවෙන් හිටියට මේ රට තුළට විදේශීය බලපෑම් සහ විදේශිකයන් එනවා. අපි වෙන රටවල්වලට ගිහින් යුද්ධ කරලා නෑ. නමුත් අපව බිත්තියට හේත්තු කළොත් අපට වඩා දරුණු පිරිසක් ලෝකයේ තවත් නැහැ. අපව බිත්තියට හේත්තු කළොත් මොකද වෙන්නේ කියලා මානුෂීය මෙහෙයුමේදී කවුරුත් දැක ගත්තා. අපිව බිත්තියට හේත්තු කරන්න ආවොත් ඉදිරියටත් වෙන්නේ ඒ ටිකම තමයි.

අපි බලාපොරොත්තු වෙනවා ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට. අවශ්‍ය වුවහොත් ඒ සඳහා මමත් පාරට බහිනවා. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන්ට විශේෂ වගකීමක් තිබෙනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අණ පනත් කියවා බලා ඡන්දය ප්‍රකාශ කරන්න කියලා අපි ඒ අයගෙන් ඉල්ලා සිටිනවා.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment