කුඩ්ඩන්ට කුඩු වෙනුවට සැර බෙහෙත් දෙන ෆාමසි මාෆියාව

193

ඉකුත් 25 වැනි දින වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් පිරිසක් සීදුව ප්‍රදේශය බලා පිටත්ව යන්නේ එක්තරා වැටලීමක් පිණිසය. ඊට දින කීපයකට පෙර පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් ලබාදුන් තොරතුරක් අනුව ක්‍රියාත්මක කරන එම මෙහෙයුම සැලසුම් කරනු ලබන්නේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි කේ. ඒ. උදය කුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීම මතය. ඔත්තකුරු විසින් ලබාදුන් තොරතුරින් කියවෙන්නේ සීදුව ප්‍රදේශයේ පිහිටි ඖෂධ අලෙවි සල් දෙකක් පිළිකා රෝගීන් සඳහා අලෙවි කරන වේදනා නාශක ඖෂධ වර්ගයක් මත්කුඩු ආදේශකයක් වශයෙන් මත්කුඩු ලෝලීන්ට අලෙවි කරන බවත් ඒ සඳහා එම ප්‍රදේශය තුළ ඉහළ ඉල්ලුමක් පවතින බවත්ය.

එම තොරතුර අනුව ක්‍රියාත්මක වන පොලිස් නිලධාරීන් කණ්ඩායම සීදුව බලා පිටත්ව යන අතර ඒ සඳහා නායකත්වය දෙනු ලබන්නේ උප පොලිස් පරීක්‍ෂක ජයරත්න මහතා විසින්ය. උප පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමට අමතරව මෙම වැටලීම පිණිස තවත් පුද්ගලයකුගේ සහාය ලබා ගැනීමට පොලිසිය විසින් කටයුතු කර ඇත. ගම්පහ දිස්ත්‍රික් ආහාර ඖෂධ පරීක්‍ෂක ඊ. එම්. කරුණාරත්න මහතාද එම වැටලීමට සම්බන්ධ කරගත් පොලිසිය අදාළ වැටලීම් දෙක සිදුකරනු ලබන්නේ අදාළ වැටලීම් පිණිස පොලිස් උපාය දූතයෙකු යොදා ගනිමින්ය.

ඒ අනුව අධික ලෙස මත්කුඩු සඳහා ඇබ්බැහි වූවෙකු ලෙස රංගනයක යෙදෙන පොලිස් කොස්තාපල්වරයෙකු අදාළ වේදනා නාශක ඖෂධය මිලදී ගැනීම පිණිස ඖෂධ අලෙවි සල වෙත ඇතුල් වී ඇති අතර අදාළ ඖෂධ වර්ගයේ නම සඳහන් කර එය මිලදී ගැනීම පිණිස තමන්ට අවශ්‍යතාවයක් ඇතැයි ඖෂධ හල් හිමිකරු අමතමින් සඳහන් කර ඇත. එම ඉල්ලීමත් සමග පොලිස් උපාය දූතයා කෙරෙහි විමසිලි සහගත බැල්මක් හෙළන ඖෂධ හල් හිමිකරු මේ පැමිණ ඇත්තේ කුඩ්ඩෙක් යැයි අනුමාන කරමින් එම වේදනා නාශකය පොලිස් උපාය දූතයාට අලෙවි කරන අතර එම වේදනා නාශකය අඩංගු එක් කරලක් ඖෂධ හල් හිමිකරු විසින් අලෙවි කර ඇත්තේ රු. 3000 ක් වැනි කළු කඩ මිලකටය. එම සිදුවීම අතර තුර ඖෂධ අලෙවි සල ඉදිරිපිට සිවිල් ඇඳුමෙන් සැරසී සිටින එම කණ්ඩායමට අයත් තවත් නිලධාරීන් පිරිසක් එම ගනුදෙනුව සියුම්ව නිරීක්‍ෂණය කරමින් සිට ඇත. මුදල් හුවමාරුවෙන් අනතුරුව ගනුදෙනුව නිමාවට පත්වනාවත් සමගම සිවිල් ඇඳුමින් සැරසී සිටි එම නිලධාරීන් කීප දෙනෙකු සහ ආහාර ඖෂධ පරීක්‍ෂකවරයා ඖෂධ අලෙවි සල වෙත ඇතුල්වීමත් සමග ඔවුන්ගේ අනන්‍යතාවය ඉදිරිපත් කරමින් ඖෂධ හල් හිමියාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් වී ඇත්තේ පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ප්‍රබල වේදනා නාශක ඖෂධයක් මත්කුඩු ලෝලීන් වෙත අලෙවි කරන බවත් ඒ සඳහා හොඳ ඉල්ලුමක් පවතින බැවින් තමන් විසින් එය දිගින් දිගටම සිදුකළ බවත්ය. ඒ අනුව එම ස්ථානයේ තිබී එම වේදනා නාශක ඖෂධය ඇතුළත් කරල් 30 ක් පමණ පොලිස් භාරයට ගන්නා අතර දෙවැනි වැටලීම සිදුකරනු ලබන්නේ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඖෂධ අලෙවි සලක් කේන්ද්‍රකර ගනිමින්ය.

ඉහත වැටලීම සිදුකළ ආකාරයෙන් ඒ සඳහාද උපාය දූතයෙකු යොදාගන්නා අතර එහිදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව එම වේදනා නාශක අඩංගු එක් කරලක් මත්කුඩු ලෝලීන් වෙත අලෙවිකර ඇත්තේ රුපියල් 1000 ක් වැනි මිලකටය. එහිදී ද නීති විරෝධී ආකාරයට අලෙවි කළ වේදනා නාශක තොගයක් හා එක් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. ඉදිරියේදී එම සැකකරුවන්ව අධිකරණය ඉදිරියට පමුණුවන්නට පොපලිසිය විසින් කටයුතු කරනු ඇත.

මෙම සිදුවීම් දෙකෙන් අනතුරුව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත විශාල තොරතුරු ප්‍රමාණයක් ලැබෙමින් පවතින අතර ඒ සෑම පුවතකින්ම කියවෙමින් පවතින්නේ රටේ බොහෝ ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් පවත්වාගෙන යන පෞද්ගලික ඖෂධ අලෙවි සල් ආශ්‍රීතව මෙවැනිම ආකාරයේ ජාවාරම් ක්‍රියාත්මක වන බවත් මේ දිනවල රටේ පවතින හෙරොයින් හිඟයක් හේතුවෙන් ඊට විකල්පයක් ලෙස මත්කුඩු ලෝලීන් අදික මාත්‍රාවෙන් යුක්ත වේදනා නාශක ඖෂධ මිලදී ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බවත්ය. ඒ අනුව අධික ලාභය අරමුණු කර ගනිමින් ඇතැම් ඖෂධ අලෙවි සල් හිමියන් මෙවැනි ජාවාරම් සඳහා වැඩි වැඩියෙන් යොමුවන ආකාරයක් නිරීක්‍ෂණය වෙමින් පවතින බව පෙන්වා දෙන පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ රටේ ඕනෑම තැනක සිදුවන එවැනි කටයුතු මර්දනය කිරීම පිණිස ඉදිරියේදී වැඩි වැඩියෙන් වැටලීම් සිදුකරන බවත් දැනටමත් ඇතැම් ඖෂධ අලෙවි සල් හිමිකරුවන් කුඩු වෙළෙඳුන්ගේ භූමිකාවට පණ දෙමින් සිටින බැවින් එම උවදුරින් රටේ ජනතාව මුදාගැනීම පැහැර නොහැරිය හැකි රාජකාරියක් බවට පත්ව ඇති බවත්ය. පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප. ජයරත්න, පො.කො. වරුන් වන අතුල (64674), සිල්වා (105529), රුසිරු (94734), කුමාර (104678), සහීඩ් (104912), දිසානායක (97342) යන නිලධාරීන් මෙම වැටලීම සිදුකොට සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment