අධිවේගයට හමුදාව – මැෂින් අක්‍රිය නිසා කොළයක ලියා මුදල් අය කරයි

419

රැකියා අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් දියත්වෙලා – වෘත්තීය සමිති
සේවකයෝ 11,000ක වර්ජනයේ

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන අධිවේගී මාර්ගවල සේවකයන් සහ මාර්ග සංවර්ධන සේවකයන් එකොළොස්දහසක් පමණ ඊයේ (22දා) ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදීම නිසා ඊයේ (22දා) පැය එකහමාරක පමණ කාලයක් රථවාහන රියැදුරන්ට නොමිලේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේ අවස්ථාව උදාවී තිබිණි. අනතුරුව ත්‍රිවිධ හමුදාව යොදවා ගාස්තු අයකර රථවාහන ධාවනයට ඉඩ ප්‍රස්ථාව සලසාදී තිබිණි.

අධිවේගී මාර්ගවල සේවය කරන සේවකයින් 1000ක් පමණ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් 10,000ක් පමණ ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජික නිහාල් අජිත් මහතා ‘දිවයින’ට පැවසීය.

අධිවේගී මාර්ගවල සේවකයන් පෙරවරු 7.00 සිට රාත්‍රී 7.00 දක්වා ද, මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා ද වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වූ බවද අජිත් මහතා කීය.

සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව දැනුම්දීම නිසා පෙරේදා (21දා) යුද හමුදාව මගින් අධිවේගී මාර්ගවල ගමනා ගමන කටයුතු නිරීක්‍ෂණය කළ බවත්, ඒ අනුව ඊයේ (22දා) පෙරවරු 7.00ට පමණ ත්‍රිවිද හමුදාව අධිවේගී මාර්ගවල රාජකාරි භාරගත් බවත් ඒ වනවිට පැය එකහමාරක පමණ කාලය තුළ අධිවේගී මාර්ගවල පැමිණි වාහනවලට ගාස්තු අයකිරීමකින් තොරව ගමන් කිරීමට අවස්ථාව ලබාදුන් බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රවී හේරත් මහතා කීය.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේදී යුද හමුදාව මගින්ද, මීරිගම සිට කුරුණෑගල මාර්ගයේ දී නාවික හමුදාව මගින්ද, කටුනායක අධිවේගී මාර්ගයේදී ගුවන් හමුදාව මගින් ද ගාස්තු අයකිරීම සිදුකළ බවත් ඒ මහතා කීය. මෙහිදී රථ වාහනයක් අධිවේගී මාර්ගයකට ඇතුළත් වූ ස්ථානයෙන් සටහන් කොළයක් ලබාදී පිටව යන ස්ථානයෙන් අදාළ නියමිත ගාස්තු අයකළ බවද ඔහු කීය.

අධිවේගී මාර්ගවලදී ප්‍රවේශපත්‍ර නිකුත් කළ යන්ත්‍ර අක්‍රීයව පැවතීම නිසා එම යන්ත්‍රවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් නොතිබූ බවත් ඔහු කීය. මේ නිසා යම් ආයතනයක සේවකයකු රාජකාරි කටයුතු සඳහා අධිවේගී මාර්ගයේ ගමන් කළ බවට සහතික කිරීම සඳහා ත්‍රිවිද හමුදාවට රිසිට් පතක් නිකුත් කිරීමේ හැකියාවක් නොතිබූ බවද ඔහු කීය. අධිවේගී සේවකයන් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වූ විට අධිවේගී මාර්ගයෙන් ත්‍රිවිද හමුදාව අයකරගත් මුදල් මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදීමට කටයුතු කරන බවද ඔහු කීය.

සිය ඉල්ලීම් අතර මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින අධිවේගී මාර්ග, මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉවත් කර කැබිනට් පත්‍රිකාවක් මගින් මුදල් අමාත්‍යාංශය යටතේ සමාගමක් පිහිටුවා ඒ යටතට පවරා ගැනීමට කළ යෝජනාව ඉවත් කර ගැනීම අධිවේගී මාර්ග හවුල්කාරීත්වය යටතේ ව්‍යාපාරයක් විදියට කරගෙන යෑමට ගෙන තිබෙන තීරණය ඉවත් කර ගැනීම සහ ඒ සඳහා ආයෝජකයන් සොයා බැලීමට ලබාදී තිබෙන අවසරය ඉවත් කර ගැනීම අයත් බවත්, එම සාධක පාදක කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වූ බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජික නිහාල් අජිත් මහතා පැවසීය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ලෙඩ නිවාඩු වාර්තා කර සිදුකළ බවත් ඊයේ (22දා) රාත්‍රී 7.00 ට සේවා මුරයට පැමිණෙන පිරිස් සුපුරුදු ලෙස සිය රාජකාරි සිදුකරන බවත් ඔහු කීය.

මේ වනවිට අධිවේගී මාර්ගයේ සේවකයන් 1000ක් පමණ සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ සේවකයන් 10,000ක් පමණ සේවය කරන බවත් අධිවේගී මාර්ගවලින් මාර්ග සංවර්ධන අධිකාරියට ලැබෙන මුදල් රජය මගින් නවතා දමා මාර්ග සංවර්ධන අධිකාරිය නඩත්තු කිරීමට මුදල් අමාත්‍යාංශයට තවදුරටත් නොහැකි බව පවසමින් මාර්ග සංවර්ධන අධිකරිය වසාදමා එහි සේවකයන්ගේ රැකියා අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් මේ හරහා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවත් අජිත් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වනවිට කටුනායක අධිවේගී මාර්ගය, නුවර අධිවේගී මාර්ග කොටස, පිටත වටරවුම් අධිවේගී මාර්ගය සහ දක්‍ෂිණ අධිවේගී මාර්ගය මගින් දෛනිකව රුපියල් මිලියන 30ක පමණ මුදලක් උපයා ගන්නා බවද ඔහු කීය.

මේ අතර වෘත්තීය අරගලයේ නිරතව සිටින ඇතැම් පිරිස් විසින් මුදල් අයකර ගන්නා යන්ත්‍ර සූත්‍රවල කොටස් ගලවාගෙන ගොස් ඇති බවටද චෝදනා එල්ල විය.
චමින්ද සිල්වා, ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment