සිනීවලට වෙච්ච දෙයින් කිහිපදෙනකුගේ මල්ල පිරුණා

59

රජය බදු සහන ලබාදීමට ක්‍රියා කළ යුත්තේ ජනතාවට මිස අයුතු ලෙස මුදල් උපයන ව්‍යාපාරිකයන්ට නොවේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටී.

එම ව්‍යාපාරයේ සභාපති, කරු ජයසූරිය මහතාගේ අත්සනින් යුත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

පසුගියදා සීනි ආනයනයට අදාළව පනවන ලද නව බදු ක්‍රමය නිසා ඉන් මේ රටේ ජනතාවට තබා රජයට හෝ කිසිදු වාසියක් අත්නොවූ අතර එමගින් සිදුව ඇති එකම දේ වනුයේ මේ රටේ බලවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු අතට දැවැන්ත මුදල් සම්භාරයක් උපයා ගැනීමට අවස්ථාව සලසා දීම පමණකි. එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අවධාරණය කරන්නේ බදු සහන ලැබිය යුත්තේ ජනතාවට මිස අයුතු ලෙස මුදල් උපයන ව්‍යාපාරිකයන්ට නොවන බවය. ඒ අනුව නොපමාව ජනතාවට සාධාරණයක් ඉටුකිරීම රජයේ වගකීමකි.

අපගේ ඇස්තමේන්තු අනුව මෙයට පෙර 2020 වසරේදී සීනි සඳහා පනවා තිබූ බදු අඩු කිරීම මගින් අපයෝජනය කරන ලද මුදල රුපියල් බිලියන 15කි. පාර්ලිමේන්තුවේ කාරක සභා දෙකක විමසුම් මගින් සහ විගණකාධිපතිවරයාගේ නිගමනයෙන්ද මේ බව සනාථ කරයි. එදා එකී වංචාවට එරෙහිව ද අපි බලවත් හඬක් සමාජගත කළෙමු. එම නිසා මෙම ක්‍ෂේත්‍රය පිළිබඳව කථා කිරීමට අයිතියක්, යුතුකමක්, හා හෘදයසාක්‍ෂියක් අපට තිබේ. පසුගියදා සීනි සඳහා වන බදු මුදල් ඉහළ දැමීම මගින් රුපියල් බිලියන 10ක් පමණ වන තරමේ දැවැන්ත මුදලක් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු අතට පත්වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම අප මෙහිදී අවධාරණය කරන තවත් එක් කාරණයක් වන්නේ මෙවැනි තත්ත්වයන් නිර්මාණය කර උපරිම සිල්ලර මිල නියම කිරීම මගින් මේ රටේ කිසිම දිනක සාර්ථකත්වයක් ලබා නොමැති බවය. එමෙන්ම මේ ආකාරයට බලවතුන් කිහිපදෙනෙකුගේ සිතැඟි පරිදි සිදුකරන බදු සංශෝධන මගින් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට අයථා ලෙස ලාභ ලබා ගැනීමට ඉඩ නොතැබීම එක් යුගයක මේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය වී තිබූ බව ද සිහිපත් කළ යුතුය. එයට උදාහරණ වන්නේ 1977 පළමු අයවැය ලේඛනය මගින් රුපියල අවප්‍රමාණය කිරීම නිසා අපනයනකරුවන් වශයෙන් මේ රටේ ව්‍යාපාරිකයන්ට ලැබුණු විශාල ලාභය රජයට අත්පත් කර ගැනීමට මේ රට කටයුතු කර ඇති බව ද මෙහිදී සිහිපත් කළ යුතුය. එය සිදුකරන ලද්දේ “අසීමිත ලාභ” නමින් නව පනතක් සම්මත කිරීම මගිනි. එවකට මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොනී ද මැල් මහතා එම පනත හරහා ව්‍යාපාරිකයන් අතට පත්වීමට තිබූ අසීමිත ලාභ නැවත රජයට අත්පත් කර ගැනීමට කටයුත කළේය.

අප මෙම නිවේදනය නිකුත්කරන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පමණක් නොව 1980 දශකයේ දී සීනි ආනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙක් ද වශයෙන් ලබාගත් අත්දැකීම් ද සමගිනි.

1980 දශකයේ දී දේශීය සීනි කර්මාන්ත ශාලා පාඩු ලැබූ අතර ආනයනික සීනි අඩු මිලකට ලබා ගැනීමට හැකිවී තිබිණි. එම නිසා එවකට සිටි රාජ්‍ය නායකයන්ගේ ඇරයුම පිට ආනයනකරුවන්ගේ සංගමය, දේශීය සීනි නිෂ්පාදකයන්ගේ සංගමය හා මහා භාණ්ඩාගාරය සමඟ එක්ව සාධාරණ ආනයන බදු ක්‍රමයක් යෝජනා කරන ලදී. ඒ අනුව නිෂ්පාදන සමාගම්වලට ආනයනකරුවන්ට කිලෝවකට ශත 15ත් 25 අතර ලාභයක් උපයා ගැනීමට අවකාශය ලැබිණි. මෙම ක්‍රමය තුළ සිල්ලර වෙළෙන්දන්ට ද සහනයක් සැලසින. දේශීය සීනි නිෂ්පාදනය දියුණු වූයේ එදා ඇති කරගත් එම සහජීවනය තුළිනි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment