පාරිභෝගිකයා සූරාකෑමට ඉඩදිය යුතුද?

635

රුපියල් දහඅට දහසක විදුලි බිලක් ගෙවා ගැනීමට නොහැකිව අඳුරේ සිටින පවුලක් පිළිබඳව සීගිරි පව්ව පාමුල පිහිටි කලාපුරයෙන් වාර්තා වෙයි. මෙම පවුලට අඳුරේ සිටීමට පමණක් නොව දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ ජීවත්වීමේ අභියෝගයට මුහුණ දීමට සිදුව තිබේ. දරුවන් පස්දෙනකු සහිත මෙම පවුලේ දෙමාපියෝ තම දරුවන්ට එක් වේලක් හෝ ආහාර පාන ලබාදීමට දරනුයේ දැඩි සටනකි. මෙම දෙමාපියන්ට තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම ද ගැටලුවක්ව පවතී. විදුලි බිල ගෙවා දැමීම සඳහා මෙම පවුලේ 17 හැවිරිදි පිරිමි දරුවා රැකියාවක් සොයා නිවසින් බැහැරව ඇති අතර ඔහු ගැන ද තොරතුරක් නැති බව වාර්තා වේ.

අප ඉහතින් සඳහන් කළ ඛේදවාචකය සීගිරි පව්ව පාමුල පිහිටි කලාපුරයේ පවුලට පමණක් සීමාවී නොමැත. විදුලි බිල මෙන්ම ජල බිල ද ඉහළ යෑම නිසා අප රටේ පවුල් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් අසරණව සිටිති.

අද වනවිට විදුලිය යනු අත්‍යවශ්‍ය පාරිභෝගික සේවාවකි. තරගකාරී ජීවිතයට විදුලිය නැතිවම බැරිය. විදුලිය නැතිව ගතකරන ජීවිතය කෙතරම් පීඩාකාරී දැයි අපි පසුගිය කාලයේදී ඕනෑවටත් වඩා අත්විඳෙව් වෙමු. අද වනවිට විදුලි පාරිභෝගිකයා අධික මිලක් ගෙවමින් විඳවන්නේ අනුන්ගේ පව්ය. ලාබදායී විදුලි උත්පාදන ප්‍රභවයන් සුලබ රටක ඒවා ක්‍රියාත්මක නොකර තමන්ගේ මඩිය පමණක් තරවන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේ විදුලි මාෆියාව පිළිබඳ චෝදනා නැගෙන්නේ කලක සිටය. එනිසා දැන්වත් මේවාට නිසි විසඳුම් ලබාදිය යුතුය. විදුලි බිලෙන් පීඩාවට පත්ව සිටින පාරිභෝගිකයන්ට යම් සහනයක් ලබාදීමට හැකි ඉක්මනින් පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමකි.

විදුලිය, ජලය පමණක් නොව අනෙකුත් සේවාවන් පිළිබඳවද නිසි කළමනාකරණයක් නොමැති වීමෙන් ජනතාවට ලබාදීමට හැකි සහන පවා නොලැබීම අතිශය කනගාටුදායකය. රුපියල් හාරසීය ඉක්මවා ගිය තිරිඟු පිටි කිලෝවක් සැලකිය යුතු මට්ටමකින් මේ වනවිට අඩුවී ඇත. රුපියල් පන්දහස ඉක්මවූ කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 3180 දක්වා අඩුවී ඇත. ඒ හා සමානව අනෙකුත් ගෑස් සිලින්ඩරවල මිල ද අඩුවී ඇත. මේ මිල අඩුවීම්වලට සාපේක්‍ෂව වෙළෙඳපොළේ බත් පැකට්ටුවේ කොත්තුරොටියේ මෙන්ම පරාටා ඇතුළු කෙටි ආහාරවල ද මිල ගණන් මේ වන තෙක් අඩුවී නොමැත. මෙහි සම්පූර්ණ වාසිය ලබන්නේ වෙළෙන්ඳන්ය. ව්‍යාපාරයක් නොව පුංචි තේ කඩයක් වුවද පවත්වාගෙන යෑමේදී ලාභයක් තබා ගැනීම අත්‍යවශ්‍යය. නමුත් පාරිභෝගිකයන් සූරාකෑම කිසිසේත් අනුමත කළ නොහැක. අප රටේ පාරිභෝගික අධිකාරිය කියා එකක් ඇතත් මේ ගැන කිසිවෙක් සොයා නොබැලීම පුදුම සහගතය. විශේෂයෙන් ජීවන බරෙහි කරවටක් ගිලී සිටින ජනතාවට මේ මොහොතේදී ලබාදිය හැකි සුළු සහනය හෝ මග නොහැරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.

ඊළඟට කතා කළ යුතු තව මාතෘකාවක් තිබේ. ඒ මාළු මිලයි. මේ දිනවල වෙළෙඳපොළේ පවතින මාළු මිල අනුව දරුවන්ට මාළු කෑල්ලක් ලබාදීම පහළ ආදායම් ලබන පවුල්වලට සිහිනයක් පමණි. තලපත්, තෝරා, කෙලවල්ලා වැනි මාළු කෑල්ලක් දරුවන්ට ලබාදීමට එම දෙමාපියන්ට නොහැක. මාළු ලෑල්ලේ අඩු මිලට තිබූ සාලයා කිලෝවකුත් මේ වනවිට රුපියල් හත්සීය ඉක්මවා තිබේ. මෙසේ අධික ලෙස මාළු මිල ඉහළ යෑම ඍජු ලෙසම දරුවන්ගේ පෞරුෂයට පෝෂණයට තදින් බලපාන්නකි. ඒ අතරේ බිත්තරේ මිල ද අධික වීම මෙන්ම වෙළෙඳපොළේ බිත්තර හිඟයක් පැවතීම හමුවේ පාරිභෝගික ජනතාව දැඩිව අසරණව සිටිති.

පසුගිය කාලයේදී බස් ගාස්තු යම් ප්‍රමාණයකින් පහළ යෑම මගීන්ට සුළු වාසියක් අත්විය. එහෙත් එම වාසිය ද ගසාගෙන කන ඇතැම් කොන්දොස්තරවරු සිටින බව සඳහන් කළ යුතුය. උදාහරණයක් ගත් විට මහරගම සිට කොළඹ කොටුව බස් ගාස්තුව රුපියල් 96කි. රුපියල් සියයක් දුන් විට බොහෝ විට ඉතිරි රුපියල් හතර නොදෙන කොන්දොස්තරවරු සිටිති. ඉතිරිය ඉල්ලා සිටි විට පසුව දෙන්නම් කියා මගහැරීම මේ අයගේ ස්වභාවයයි. ඉස්සර මේ අය ගසා කෑවේ රුපියලක්, දෙකක් වැනි ප්‍රමාණයකි. මේ ගැන මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ අවධානය යොමු කරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු. රුපියල් හතරට පහට ඉතිරිය දෙන කොන්දොස්තර මහත්වරු ද ඇතැම් විට සිටින බව සඳහන් කරනුයේ නැතහොත් ඔවුන්ට අසාධාරණයක් වන බැවිනි.

රටේ ආර්ථික අර්බුදයක් පවතින බව සැබෑවකි. එහෙත් අප අවධාරණය කරනු ලබන්නේ මේ තත්ත්වය හමුවේ වුවද පාරිභෝගිකයාට ලබාදිය හැකි සහන ලබාදීමට හෝ බලධාරීන් පියවර නොගන්නේ ඇයිද යන්නය.

advertistmentadvertistment
advertistmentadvertistment