‘යස් සර්, යස් සර්’ ගගා නොහිටියොත් රොෂාන්ට අත්වෙච්ච දේම වේවි – සජිත් කියයි

423

මෑත කාලයේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම හොරකමට එරෙහිව ඒකමතිකව එකතු වූ අවස්ථාවක් ලෙස ක්‍රිකට් පරිපාලනයට විරුද්ධ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම හැඳින්විය හැකි වුවත් මේ වන විට මේ යෝජනාවට පයින් ගසා හොරකම හෙළි කළ පුද්ගලයා ඉවත් කර හොරකම් කළ කණ්ඩායම රැක ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හොරකම් කළාට කමක් නෑ. හොරු අල්ලන්න තහනම් බවත් ‘යස් සර්, යස් සර්’ ගගා හිටියොත් යහතින් සිටිය හැකි අතර එසේ නොවුණොත් රොෂාන් රණසිංහ ඇමැතිවරයාට සිදු වූ ආකාරයේ දෙයක් විය හැකි බවට ජනාධිපතිවරයා විසින් අගමැති ප්‍රමුඛ ආණ්ඩුවට රතු එළියක් ලබා දී ඇති බවත් මේ වන විට 225 දෙනාම විධායකයේ යකඩ සපත්තුවට යට වී ඇති බවත් විපක්ෂ නායකවරයා ඊයේ (28) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා එසේ කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේදී රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

සෞඛ්‍ය ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේදීත් ජනාධිපතිවරයා ක්‍රියා කළේ වැරදි ආකාරයට බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපතිවරයා අවසානයේ පාර්ලිමේන්තුව තුට්ටු දෙකට දමා ඇති බවත් ඔහු මැතිවරණය පැවැත්වීමට අදාළව අධිකරණය දුන් තීන්දුව පවා ගණන් නොගත් අතර ඔහුව මෙහෙයවන අදිසි හස්තයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සීනි, බෙහෙත්, ක්‍රිකට් ආදී මාෆියා පවා මැති ඇමැතීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ තත්ත්වයක් උදා වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා තමා ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ක්‍රීඩා ඇමැතිවරයා සමඟ එකතු වී ක්‍රිකට් තහංචිය ඉවත් කර ගැනීමට කටයුතු කළා මිස කිසිදු අවස්ථාවක දේශපාලන කුමන්ත්‍රණයක් නොකළ බවත් තමා හමුවීමට රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පමණක් නොව වත්මන් කැබිනට් මණ්ඩලයේ වැඩි පිරිසක් පැමිණෙන බැවින් එම තර්කය මත ඔවුන් ද ධුරවලින් ඉවත් කළ යුතු බවත් කියා සිටියේය.

සමගි ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගන්නේ ඔළුගෙඩි මාරුවෙන් නොව ජනතාවගේ ජන වරමෙන් බවත් එබැවින් කුමන්ත්‍රණ කිරීමට විපක්ෂයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඉතිහාසයේ පළමු වතාවට ජනවරමක් නොමැති ජනාධිපතිවරයකු විසින් ජනතා වරමින් පත්වූ මන්ත්‍රීවරයකු පන්නා දැමූ බවත් පැවසීය.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment