බෙහෙත් හිඟයට වගකියන්න ඕනෑ මුදල් අමාත්‍යාංශය භාණ්ඩාගාරය හා රේගුව – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

103

රෝහල් තුළ ඇතිවී තිබෙන ඖෂධ හිඟයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා රේගුව බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (10දා) කියා සිටියේය.

ඖෂධ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, බැංකු පද්ධතිය දැනුවත් කිරීම, බාධාවකින් තොරව ඖෂධ වරායෙන් සහ ගුවන්තොටුපළෙන් නිදහස් කිරීමේ වගකීම ඇත්තේ මහා භාණ්ඩාගාරය සහ රේගුව සතුව බව පවසන බෙල්ලන මහතා මෙම ආයතන දෙක තම රාජකාරි නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම රටේ ඖෂධ හිඟයට මූලික හේතුව බව පවසයි.

ඔහු මෙසේද කීය

ඔස්‌ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් පිරිසක් ඩොලර් මිලියනයකට වඩා වටිනා පිළිකා ඖෂධ තොගයක් පරිත්‍යාග කළහ.

මේ ඖෂධ තොගය මාසයකට වැඩි කාලයක් රේගුවේ රඳවාගෙන තිබුණා. ඖෂධ නියාමන කොමිෂන් සභාවේ අනුමැති ලැබිලා තියෙනවා නම් ඖෂධ තොගය නිකුත් කරන්න ඕනේ. එහෙම තියෙද්දීත් රේගුවේ ආනයන පාලකවරයෙක් මේ අත්‍යවශ්‍ය ඖෂධ තොගය මාසයකටක වැඩි කාලයක් වරායේ රඳවාගෙන තිබුණා.

මේ බලධාරිවාදය නිසා අහිංසක රෝගීන් අමාරුවේ වැටෙනවා. මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලං කරන්න හොඳ නැහැ.

ඒ වගේම ඖෂධ ගෙන්වීමේ වගකීම තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නෙවෙයි. මහා භාණ්ඩගාරය, මුදල් අමාත්‍යාංශය මැදිහත්වෙලා බැංකු පද්ධතිය හරහා ණයවර ලිපි නිකුත් කරලා ඖෂධ සමාගම් මාර්ගයෙන් මේ ඖෂධ ගෙන්වීමේ කටයුතු ක්‍රියාත්මක කරන්න ඕනේ.

ඒත් මේ ආයතනවල වගකීම් හරි ආකාරයට ඉෂ්ට නොවන නිසා මේ රටේ ඖෂධ හිඟයක් නිර්මාණය වෙලා තියෙනවා.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment