නිකන්ම නිකන් බයිලා…

1390

ආණ්ඩුවෙන් ගහන ලද Tax එකට විරුද්ධව දොස්තර මහතුන් විසින් වැඩ වර්ජනයක් පටන්ගෙන ඇත. ඔවුන් මෙදා සැරේ කොතරම් පිරිසිදුවට වැඩවර්ජනය කරනවාද යත් දැනට චැනල් සේවයෙන් පවා ඉවත්වී සිටිති. මේ ඇසූ මුල් අවස්ථාවේදී අපි කිසිදු ආකාරයකින් එය විශ්වාස නොකෙළෙමු. ජනතාවගේ බදු මුදලින් සහ ආණ්ඩුව ලෝකයේ විවිධ තැන්වලින් ණයට ගන්න සල්ලිවලින් නිදහසේ අධ්‍යාපනය ලබන දොස්තරලා වැඩවර්ජනය කිරීම සාමාන්‍ය පුවතකි. එහෙත් ඔවුන් චැනල් සේවයෙන් ඉවත්ව සිටින්නේ යැයි කියන කාරණය නම් පිළිගැනීමට ඉතා දුෂ්කර අසාමාන්‍ය දෙයකි. සාමාන්‍යයක් වශයෙන් ගත්කල අවුරුද්දකට රුපියල් කෝටි හත අටක් පමණ උපයන අසරණ චැනල් දොස්තරලාගෙනුත් ඊට අඩු පඩියක් ගන්නා වෙනත් වර්ගයේ දොස්තරලාගෙනුත් ආණ්ඩුව Tax කැපීම හෙණ ගහන අපරාධයකි. මේ Tax එක නිසා අමාරුවේ වැටී සිටින චැනල්දොස්තර කෙනෙක්ගේ දුක්ඛිත කතාව මෙසේය. ඒ දොස්තර මහතා මසකට රුපියල් 49 ලක්ෂයක ආදායමක් ලැබීය. එය ආණ්ඩුවේ පඩියට අමතරව ය. හිතක් පපුවක් නැති ආණ්ඩුව මෙතුමාගෙන් රුපියල් ලක්ෂ 8 ක් Tax කපා තිබේ. දැන් මේ මනුස්සයාට අතේ සතේ නැතිලු. රුපියල් ලක්ෂ 8 ක් බදු කැපීමෙන් පසු ඉතිරි වූ ලක්ෂ 41 පර්මිට් එකට ගෙන්වූ මොන්ටෙරෝ එකටත් මාලිගාවක් වැනි ගෙටත් දූදරුවන් විදේශ අධ්‍යාපනයට යැවීමටත් වැය වන්නට ඇති. එබැවින් දොස්තරලා ඉතාම නරක ලෙස දුකට පත්වනවා ඇත. මසකට රුපියල් ලක්ෂයක ආදායම උපයන මිනිහා මොන්ටෙරෝ හෝ V 8 රථ නොගනිති. ඔහුට කාර් එකක් නැත. ඔහුගේ බිරියට ද කාර් එකක් නැත. ඔහු ඉන්නේ මන්දිරයක නොව කුඩා ගේ කබලකය. වැඩිම වුණොත් ඔහුගෙන් කැපෙන්නේ Housing Loan එක පමණි. පාන් මිල වැඩි නිසා උදේට කෑම අත්හැර ඇති ඔහු හා බිරිය දෙවේලක් විතරක් කා දරුවන්ට තුන් වේලක් කන්නට දෙති. මේ පවුලම බස් එකේ යා යුතු ඇතැම් දුරවල් පයින් යති. ගෙදර ලයිට් ඔක්කොම පත්තු කළොත් ලයිට් බිල වැඩිවන නිසා රාත්‍රී කාලයේදී සෙසු ලයිට් නිවා සාලයේ තියෙන TV එකද Off කර සාලයේ ඇති එකම ලයිට් එක පමණක් පත්තු කරගෙන දූ දරුවෝ රෑ වෙනතුරු පාඩම් කරති. TV බැලීමෙන් දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් හටගනිතැයි සිතමින් මහ ජෝඩුව දරුවන්ගේ පාඩම් අවසන් වනතුරු ඈනුම් ඇර ඇර සිටිති. මුළු ජීවිතේම දුක් කරදර ගැන කතා කර ඇති බැවින් තවදුරටත් කතා කරන්නට දෙයක් මහ ජෝඩුවට ඉතිරි වී නැත. එනිසා මෙවැනි නිහඬ මිනිසුන්ගෙන් පමණක් Tax කපා දොස්තරලාගේ ආදායම්වලින් Tax නොකපන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු. එසේම සාමාන්‍ය ජනයා උද්ඝෝෂණය කරන විට ඔවුන්ට පහරදී එලවා දොස්තරලා උද්ඝෝෂණය කරන විට ඔවුන්ට බුරියානි පාර්සල් සහ ෆෘට් ජූස් ලබාදෙන ලෙසත් උද්ඝෝෂණ අවසන් කර චැනල් සේවයට යෑමට අවශ්‍ය නම් පුද්ගලික රෝහල්වලට ඔවුන් ඇරලවන ලෙසත් ඉල්ලමු.

එක අතකට මහජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලැබ මහජනතාවගේම මරණය වෙනුවෙන් කටයුතු කරමින් සිටින දොස්තර ප්‍රජාවගේ හිඟන වැඩ ගැන කතා කිරීමට වඩා තුර්කියේ සිදු වූ භූමිකම්පාව ගැන කතා කිරීම වැදගත්ය. මෙය තුර්කිය සහ සිරියාව වෙන් කරන දේශසීමාව ආසන්නයේ හටගත් බැවින් දෙරටටම බලගතු හානි සිදුවිය. මෙහිදී වැදගත් සත්‍යයක් වටහා ගමු. ස්වභාව ධර්මයට දේශසීමා කතන්දරයක් නැති බවයි. වීසා ප්‍රශ්නයක් නැතිවම වෙනත් රටවලට කඩා වැටීමට ස්වභාවධර්මයට අයිතිය තිබේ. සුමාත්‍රා දූපත කිට්ටුව මහ සාගරය යට 2004 දෙසැම්බර් 26 දා සිදු වූ, රික්ටර් මාපකයේ 9.1 ක අගයක් සඳහන් කළ භූමිකම්පාව නිසා අවුල් වූ ජලය කිසිදු අවසරයක් නැතුව තායිලන්තය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, ඉන්දියාව යන රටවල්වලට කඩා වැදී දෙලක්ෂ විසිපන්දාහක් ඝාතනය කළේය. මේ නිසා තායිලන්තයේ එක්ලක්ෂ පනස්දාහක් මිය ගියහ. සුමාත්‍රාවට හැතැක්ම 5000 ක් ඈතින් තිබූ දකුණු අප්‍රිකානු මුහුදේ රළ ප්‍රචණ්ඩ වී විශාල පිරිසක් මිය ගියහ. රිච්ටර් මාපකයේ 9.1 ක අගයක් සටහන් කරන භූමිකම්පාවක් සමාන වන්නේ හිරෝෂිමාවට 1945 දී දැමූ පරමාණු බෝම්බය මෙන් තිස් අටදහස් ගුණයකටය. ස්වාභාවික විපතකට මුහුණ දීමේදී හටගන්නා හානිය කතාවෙන් කියා නිම කිරීමට නොහැකි අතර සැබෑ අත්දැකීමක් ලෙස ලැබුණොත් පමණක් ඇඟට දැනෙන දෙයකි. තුර්කියේ භූමිකම්පාවෙන් 25000 ක පිරිසක් මිය යෑමෙන් හෙළිවූ කාරණයක් තිබේ. තුර්කියේ නිවාස ඉදිකර ඇත්තේ ඉතාම අවිධිමත් ආකාරයකට මහනුවර නගරයේ ගෙවල් හදා ඇති ලෙසය. මෙයට කලකට පෙර මෙසේ අවිධිමත්ව තැනූ ගොඩනැගිල්ලක් හිටිහැටියේ කඩා වැටී මහනුවර පවුලක්ම මිය ගියහ. ගේ කඩාවැටෙන සද්දයටම ගෙයි අයිතිකරුවන් පැන ගිය නිසා එම ඉදිකිරීම සම්බන්ධයෙන් රට පුරා ජනතාවගෙන් බැණුම් අසමින් හෝ පණ බේරා ගැනීමට හැකි විය. ශ්‍රී ලංකාවේ සුනාමියේදී ද විශාල පිරිසක් මිය ගියේ මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි ආණ්ඩුවේ Reservation ඉඩම්වල ගෙවල් හා හෝටල් තනාගෙන පදිංචිව සිටි බැවිනි. මෙය කෝච්චි පාර දෙපැත්තේ ගෙවල් හදාගෙන ඉන්නවට සමානය. යම් හෙයකින් කෝච්චියක් පීලි පැන්නොත් එය ගෙවල් ද කඩාගෙන මිනිසුන්ද මරාගෙන යෑම වැළැක්වීමට නොහැක.

තුර්කියේ සහ සිරියාවේ භූ කම්පන වින්දිතයන් වෙනුවෙන් මුළු ලෝකයම හැකි පමණින් ආධාර කළ යුතු අවස්ථාව එළඹ තිබේ. මේ වෙලාවේදී රුසියාව සහ යුක්‍රේනය තඹ තුට්ටුවකට වැඩක් නැති භූ දේශපාලනික ප්‍රශ්නයක් අල්ලාගෙන මරා ගනිති. මේ රටවල් දෙකම එකම කලාපයේ පිහිටි ආසන්න රටවල්ය. මේ රටවල් දෙක සමාදානයෙන් සිටියේ නම් සිරියාවේ සහ තුර්කියේ භූ කම්පන වින්දිතයන්ට කිසියම්ම හෝ සහනයක් ලැබීමට ඉඩ තිබිණ. එහෙත් වලිග සහ අං නැති නිසා මී හරකුන්ට සමාන කළ නොහැකි වුවද හිත්වලින් මී හරකුන් වන මේ දෙරටේ පාලකයන්ට ස්වාභාවික ව්‍යසනවලින් වැඩක් නැත. ඔවුන් දිගටම මිනී මරා ගනිති. හරි නම් මේ යුද්ධයට එක්වී සිටින පාර්ශ්ව දෙකේ සෙබළුන් මේ අවස්ථාවේදී සිටිය යුත්තේ සිරියාවේ හා තුර්කියේ භූ කම්පන වින්දිතයන්ට සහන සැලසීම සඳහා එහි ගොස්ය. එහෙත් ඒ කතා නිකන්ම නිකන් බයිලා පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment