පුටින් සමග බැහැ සෙල්ලම්

1645

රුසියාවේ ලොකුම මිනීමරු කුලී හමුදාවේ අයිතිකාරයා වූ යෙව්ජිනි ප්‍රිගොෂින් මීට පැය 48කට පමණ පෙර ගුවන් අනතුරකින් මියගිය බව අපට දැනගන්නට ලැබිණ. අනතුර සිදුවන විට ඔහු රුසියාව තුළ අභ්‍යන්තර ගුවන් ගමනක යෙදෙමින් සිටියේය. ඔහු සමඟ ඔහුගේ ශරීර ආරක්‍ෂකයෝ ද සංචාරකයන් කිහිප දෙනෙක් ද වූහ. ගුවන් ගමන අරඹා ටික වේලාවකට පසු ප්ලේන් එක කඩාගෙන වැටිණි. යානය බිම වැටුණු සැණින් ප්‍රිගොෂිල් අභාවයට පත්විය. යෙව්ජිනි ප්‍රිගොෂින් ඉතා ළඟදීම මියයන බව මුළු ලෝකයම දැන සිටියේය. එයට හේතුව මීට දෙමසකට පමණ පෙරදී ඔහු සෝවියට් ජනාධිපති පුටින් විවේචනය කරමින් රුසියාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයට අපහාස කිරීමය. රුසියාව සතුව ප්‍රමාණවත් තරම් ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය නැති බවට චෝදනා කළ කුලී හමුදා නායක ප්‍රිගොෂින් පුටින්ගේ හමුදාවට වඩා තමන්ගේ හමුදාව ශක්තිමත් බව කීවේය. පුද්ගලික හමුදාවක් වුවද ප්‍රිගොෂින්ගේ හමුදාවට යුද ටැංකි, මිසයිල, යුද ගුවන්යානා සහ යුද හෙලිකොප්ටර් යනාදිය තිබිණි. මේ තනි පුද්ගලයාගේ යුද බලය ලංකාවේ යුද බලයට වඩා වැඩිය. ඔහුගේ හමුදාව වැග්නර් හමුදාව ලෙස හඳුන්වන ලදී. එයට හේතුව ප්‍රිගොෂින් ජර්මන් සංගීතඥයකු වූ රිචර්ඩ් වැග්නර්ගේ රසිකයකු වීමය. ඔහුගේ හමුදාව රුසියන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි කර තිබුණේ නැත. ඔහු තම හමුදාව වහාම ලියාපදිංචි කළ යුතු බව පුටින් ඔහුට දැන්වීය. මෙහිදී නොසන්සුන් වූ ඔහු රුසියාවේ දුරබැහැර ගම්මාන කිහිපයක් යටත් කරගෙන මොස්කව් දක්වා සංග්‍රාමික ගමනක් ආරම්භ කළේය. එහෙත් ටික දිනකින් එය නවත්වා දැමීය. රුසියන් ජනාධිපති පුටින් ප්‍රිගොෂින්ගේ හොඳම යාළුවෙකි. කලක් පුටින් පවුලට තුන් වේලම කෑම සපයන්නා ලෙසද ඔහු වැඩකර තිබිණ. තමන් සමග පැවති මිතුරුකම කඩවී මොස්කව් දක්වා සංග්‍රාමික ගමනක් පැමිණීමට වැග්නර් හමුදාව කටයුතු කිරීම ගැන පුටින් හිටියේ බලවත් කෝපයෙනි. මේ නිසා ප්‍රිගොෂින්ගේ මරණය නොවැළැක්විය හැක්කකි. ප්‍රිගොෂින් ගමන් කළ ප්ලේන් එක කඩාවැටුණේ ඉබේට නොවේ. හැබැයි එය එසේ කඩාවැටීමට හේතුව කවදාවත් සොයා ගැනීමට බැරිවනවා ඇත. රාජ්‍ය නායකයන්ට කිට්ටුවීම ඉතා භයානක කාරණයකි. රාජ්‍ය නායකයන් ඇසුරෙහි හැදී වැඩීම තවදුරටත් භයානකය. ලංකාවේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ඝාතනය කරන ලද්දේ ඔහුගේම කිට්ටුවන්තයන් විසින් බව කියනු ලැබේ. බණ්ඩාරනායක ඝාතනය කරන ලද්දේ ද ඔහුට හිතවත් චීවරධාරියෙකි.

ජෝසප් ස්ටාලින් රුසියාව පාලනය කරන සමයේදී ඔහුට අතීසාර මිත්‍රයෙක් විය. ඔහුගේ නම ලැවරෙන්ති බෙරියාය. ස්ටාලින් සිය රහස් පොලිසියේ ප්‍රධානියා ලෙස බෙරියා පත්කළේය. ස්ටාලින්ට කිසියම් කෙනකු සැක සිතුන විට එම සැකකටයුතු පුද්ගලයා මරණ ලෙස බෙරියාට පණිවිඩයක් යැවීම ප්‍රමාණවත් විය. පසුවදා ඒ තරහකාරයාගේ මළ මිනිය කොහේ සිට හෝ හමුවිය. මේ ආකාරයෙන් බෙරියා විසින් ස්ටාලින්ගේ විරුද්ධවාදීන් ලක්‍ෂ ගණනක් ඝාතනය කරන ලදී. ඇතැම්විට පෞද්ගලිකවම ස්ටාලින්ගේ සතුරා හමුවූ බෙරියා සතුරාට වෙඩිතබා මැරීය. පසුවදා ස්ටාලින් ඒ මළගමට ද ගියේය. මෙය කුලී හමුදා දේශපාලනයේ ස්වරූපය වේ. ස්ටාලින් මියගිය පසු බෙරියා අත්අඩංගුවට ගත් අලුත් ආණ්ඩුවේ ප්‍රධානීහු බෙරියාට ගුටි දී ඔහු ඝාතනය කරවීය.

ඔසාමා බින්ලාදින් ද කුලී හමුදාකාරයෙකි. ඔහුගේ පවුලේ සෙසු අය ඇමරිකාවේ බිලියනපති ව්‍යාපාරිකයෝ වූහ. බින්ලාදින් ද කෘෂිකර්ම ව්‍යාපාරයෙහි නිරත වුවද ඇමරිකන් නායකයන්ට කුලියට සෙබළුන් සපයා දුන්නේය. මේ සඳහා අදාළ රටවලින් ඔහුට හොඳට මුදල් ලැබිණි. මෙයට දසක හතරකට පමණ පෙර ඇෆ්ගනිස්තානය පාලනය කරන ලද්දේ සෝවියට් රුසියාව සහ ඊට අයත් කුලී හමුදාව විසිනි. ඔසාමා බින්ලාදින් ලොව පුරා රටවල ඇවිද කුලී හමුදා ගැන තොරතුරු බලාකියාගෙන ඇමරිකාවට විත් එවැනි හමුදාවක් තමන්ම පිහිටුවා ගත්තේය. රජයේ හමුදාවට කිරීමට බැරි වැඩ කුලී හමුදාවට කළ හැකිය. ස්ත්‍රී දූෂණය ආයුධයක් ලෙස පාවිච්චි කිරීමට කුලී හමුදා තුළ විශාල වුවමනාවක් විය. රජයේ හමුදාවලට එවැනි තුට්ටු දෙකේ වැඩ කිරීමට බැරිය. ඒ නිසා යුද්ධයකදී කුලී හමුදාව පාවිච්චි කිරීම අලුත්ම ලෝක ප්‍රවනතාව වී තිබේ. කුලී හමුදාවල වැටුප් ලොකුය. රජයේ හමුදාව හිඟා නොකා හිඟා කනවිට කුලී හමුදාව ඉතා සුවපහසු ජීවිත ගතකරති. පසු කාලයේදී ඔසාමා බින්ලාදින් මරා දමන තුරු ඇමරිකාවට නින්ද ගියේ නැත. බින්ලාදින්ගේ හමුදා බලය ඇමරිකාව හොඳින්ම දැන සිටියේය.

පුටින් සමග ඇතිකරගත් ආරවුලෙන් පසු වැග්නර් ප්‍රධානියා වූ යෙව්ජිනි ප්‍රිගොෂින් තම ජනාධිපතිවරයා හමුවී වැඩේ ගොඩදාගත් බව කියනු ලැබේ. මීට අවුරුදු 30කට පමණ පෙර ඇමරිකාවේ සංචාරය කළ වැග්නර් හමුදා ප්‍රධානියා ඒ රටේ නිව්යෝර්ක් නගරයේ විකුණන හොට්ඩෝග්ස්වලින් උපදින ආදායමෙන් විස්මයට පත්ව ආපසු රුසියාවට පැමිණ හොට්ඩෝග් කම්පැණියක් පටන්ගත්තේය. මෙය පසුව රුසියාවේ ලොකුම හොට්ඩෝග් කම්පැණිය බවට පත්විය. එහෙත් ඔහුගේ ජීවත්වීමට ඇති කාලය සීමා සහිත වීමට පටන්ගත්තේ පුටින් සමග තරහ වුණු දවසේ පටන්ය. ප්‍රිගෝෂින්ගේ ගුවන්යානය කඩා වට්ටවන ලද්දේ පුටින් යැයි අපි කිසිවිටකත් නොකියමු. එහෙත් රුසියාවේ ජනාධිපති පුටින් බවත් ඔහු ඉතා දැඩි රාජ්‍ය නායකයකු බවත් ඔහු සමග සෙල්ලම් නැති බවත් අප මතක තබාගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment