ප්‍රෙෂර් තියෙන අයට ව්‍යායාම හොඳ ද?

2140

නීරෝගී පුද්ගලයකුගේ සිරුරේ තිබිය යුතු සාමාන්‍ය රුධිර පීඩන මට්ටම 130/85 බව වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ සිදු කර ඇති පරීක්ෂණවලට අනුව නිර්දේශ කර ඇත. එය මීට පෙර පැවතියේ 140/90 යන අගයකය.

බොහෝ ලෙඩ රෝගවලට රුධිර පීඩන මට්ටම ඉහළ යෑම බලපා ඇති නිසා මෙම නව අගය නිර්දේශ කර ඇත. එබැවින් වයස අවුරුදු 40 ක පමණ පුද්ගලයකුගේ රුධිර පීඩන අගය 130/85 ට වැඩි නම් එම පුද්ගලයා අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව තීරණය කරනු ලබයි.

තරුණවියේ පසු වන පුද්ගලයකුගේ තිබිය යුතු රුධිර පීඩන මට්ටම වන්නේ 120/80 අතර අගයකි.

යම් පුද්ගලයකුගේ රුධිර පීඩන මට්ටම 160/100 හෝ ඊට වැඩි අගයක් පවතී නම් එය අවදානම් මට්ටමේ පවතින රුධිර පීඩන අගයක් ලෙස සලකයි. එනම් ඉතා ඉක්මනින් සිරුර අභ්‍යන්තරයේ අනතුරු ඇතිවීමේ අවදානමක් පවතී. රුධිර පීඩන මට්ටම 180/200 වැනි අගයක් පැවැතීම රෝහල්ගත වී ප්‍රතිකාර ලැබිය යුතු අවදානමක් මතු වේ.

රුධිර පීඩන අගය 130/85 ට වැඩි අගයක දිගු කාලයක් පැවැතීම ද රෝග ඇතිවීමේ අවදානමකට පසුබිම සකසයි

අධිරුධිර පීඩනය ඇතිවීමඃ

අධික රුධිර පීඩනය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ රුධිරය ගමන් කරන ලේ නහරවල පරිමාව අඩු වීමය. දෙවැනි කාරණය වනුයේ හෘද ස්පන්ධන වේගය වෙනස් වීමය. මීට අමතරව වෙනත් හේතු ද පවතී.

මෙම තත්ත්වයට බලපාන හේතු පිළිබඳව සලකා බැලීමේ දී සිරුරේ ලුණු සාන්ද්‍රණය වැඩි වීම, හෝමෝන අසමතුලිතතාවය, සිරුරේ මුත්‍රා පිටවීම, අඩු වීම ආදිය බහුලව දැකිය හැකිය. කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම රුධිර පීඩනයට වැඩි වීමට ඍජුව ම බලපාන්නේ නැත.

අධිරුධිර පීඩනය පාලනයඃ

යම් පුද්ගලයකුගේ රුධිර පීඩන අගය ඉහළ යෑමකට පත්ව ඇතිනම් ඊට හේතු සොයා බැලීමට වෛද්‍ය පරීක්ෂාවනට යොමු කරනු ලබයි. එහිදී හඳුනාගන්නා හේතු අනුව එම පුද්ගලයාගේ ජීවන රටාව වෙනස් කළ යුතුය.

එනම් ආහාර පාලනය, ව්‍යායාම සහ ඖෂධ මගින් ප්‍රතිකාර ලබාදිය යුතුය.

මෙම ප්‍රතිකාර තුනේම එකතුවෙන් එම පුද්ගලයාගේ ජීවන රටාව වෙනස් කිරීම මගින් දීර්ඝ කාලීනව පවතින අධි රුධිර පීඩනය පාලනය කළ හැකිය.

රුධිර පීඩනය සඳහා දීර්ඝ කාලීනව ගනු ලබන ඖෂධවලින් සිරුරට කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන බව නවීනතම පර්යේෂණවලට අනුව හඳුනාගෙන ඇත. ඒ නිසා මෙම ඖෂධ වකුගඩු දුර්වල වීමට බලපානු ඇතැයි වැනි අනියත බියක් ඇති කර ගතයුතු නැත. එය සමාජය තුළ පවතින වැරදි මතයකි.

අධි රුධිර පීඩනය පාලනය සඳහා වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ මුළු ජීවිත කාලයට ම ගතයුතුය. එසේ ම එහි මාත්‍රාව සම්බන්ධව තීරණය කරන්නේ එම පුද්ගලයා තුළ පවතින රුධිර පීඩන අගය අනුවය. එබැවින් වෛද්‍ය නිර්දේශය අනුව ලබාදෙන අධි රුධිර පාලන ඖෂධ දිනපතා නියමිත වේලාවට ගතයුතුය. එම ඖෂධවල ක්‍රියාකාරීත්වය ඉදිරි දින කිහිපයකට බලපවත්වන්නේ නැත. ඒ නිසා වසර ගණනාවක් ඖෂධ ගත් අයකුට වුව එක් දිනක් එම ඖෂධ ගැනීම නතර කළහොත් එදින රුධිර පීඩන අගය වෙනස් විය හැකිය.

ව්‍යායාමවල යෙදීමඃ

අධි රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයින් ව්‍යායාමවල යෙදීම හොඳ නැතැයි කියා මතයක් පවතී. ව්‍යායාමවල යෙදීමේ දී රුධිර පීඩන අගය ඉහළ යෑම ඊට හේතුව බව පවසති. අධි රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයින් පමණක් නොව, සෑම පුද්ගලයෙක්ම ව්‍යායාමවල යෙදීමට පෙර තම රුධිර පීඩන අගය නිසි වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරගත යුතුය. ඒ අනුව අධි රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයින් වුව නිසි මට්ටමට තම රුධිර පීඩනය වෛද්‍ය ප්‍රතිකාර අනුව පාලනය කරගෙන සිටින්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව ව්‍යායාමවල යෙදිය හැකිය. ව්‍යායාමවල යෙදීම මගින් රුධිර පීඩන අගය ඉහළ යෑම සියයට දහයකින් (10%) පමණ පාලනය කරගත හැකි බව හඳුනාගෙන ඇත.

ප්‍රෙෂර් තියෙන අයට ව්‍යායාම හොඳ ද?

උතුරු කොළඹ (රාගම)
ශික්ෂණ රෝහලේ
කායික රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය එන්. එම්. පෙරේරා
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment