පරාර්ථයේ පුළුල් අරුත බුද්ධි…

171

(සම්මානනීය කවියකු, ප්‍රවීණ සාහිත්‍යධරයකු වන බුද්ධදාස ගලප්පත්ති ගේ 75 වන ජන්ම දිනය අද (18)ට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

විශ්වනාථට අනුව රසවත් වැකිය කවිය වූවාසේම ඇරිස්ටෝටල් ට අනුව කාව්‍ය වනාහි ඉතාම දාර්ශනික වූ ලේඛනයයි. ෆ්‍රොස්ට් කීවේ කවියා යනු ආකූල මනසක් මොහොතකට නතර කරන්නෙක් බවය. වර්ඩ්ස්වර්ත් ට අනුව කවිය යනු, සංවේදී හැඟුම් පදනම් කරගෙන ජනිතව ඕපපාතිකව ගලායන ශක්තිමත් සිතුවිලි සමුදායකි. මේ සියල්ලටම වඩා එමර්සන් කවිය ගැන කියන කියමන මා හට වඩාත් සමීපව දැනුණි. එමර්සන් කියන්නේ කුමක්ද?

“සෑම විශිෂ්ට නිර්මාණයකම අප විසින් යම් මොහොතක ඉවත දමන ලද අපේම සිතුවිලි අපටම හඳුනා ගත හැකිය. ඒවා වඩාත් ගාම්භීර දීප්තියකින් අප වෙත පැමිණේ.”

මේ සියල්ල මෙසේ වුවද, සීගිරි ගලෙහි තම අව්‍යාජ හැඟුම් කවි කර ලියූ ගැමියා අප වෙත ගෙනෙන පහන් රසය වෙනම සලකා බැලිය යුත්තකි. තල මල කවි කියූ අව්‍යාජ කවියෝද සදාකාලයටම අඥාත කවීහු වෙත්.

කවිය ගැන පළවූ අනන්ත කියමන්, පිළිගැනීම් සහ නිර්වචන තේමා කොට ගත් මේ අදහස් බුද්ධදාස ගලප්පත්ති නම් වසර 50ක් ඉක්මවා නිර්මාණ ක්ෂේත්‍රයේ රැඳී සිටින කවියාගේ නිර්මාණ රීතිය ගැන කදිම චිත්තරූපයක් ඔබ හට ගෙනෙනු ඇත. බුද්ධදාස ගලප්පත්ති නිබැහින්ම කවියෙකි. ඔහු ප්‍රකටව සිටින්නේද කවියෙකු ලෙසයි. නමුත් මා හට පැවරී ඇත්තේ ඔහු ගීත රචකයෙකු වශයෙන් කළ කී දේ විමසන්නටය. බුද්ධි ගේ කවි ඕනෑ තරම් සුලභව සොයා ගත හැකිය. නමුත් ඔහු ලියා ඇත්තේ ගීත දහයක් හෝ පහළොවක් පමණි. කවි පොත් රැසක් මුද්‍රණද්වාරයෙන් පළ කළ, ඒ හා සමානව පුවත්පත්, ගුවන් විදුලි සහ අන්‍ය ප්‍රකාශන සඳහා කවි ලියූ ඔහුගේ කවියක් ඔහු අමුවෙන් ගීත සඳහා හරවා නොමැති බව ප්‍රත්‍යක්ෂයෙන් කිව හැකිය. ඔහුගේ අදීන බව එයයි. ඔහුගේ කවි, කවිම වේ. ඔහුගේ ගීත, ගීතම වේ.

1971- 2022 අද දක්වා කාලය බුද්ධදාස ගලප්පත්ති නම් නිර්මාණකරුවාගේ ප්‍රකට නිමැවුම් යුගයයි. හෙට ද එය ඉදිරියට යයි. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය, විචාරක භූමිකාව, මූලාශ්‍ර පුද්ගල මෙහෙවර, තීරු ලිපි ලියන්නාගේ සහ කොලම කරුවාගේ කාර්ය භාරය, ලිපි සංස්කරණය මඟින් කෘති පළ කිරීම ආදීව එහි විවිධ වර්ණ දිස් වෙතත් මට නම් බුද්ධි යනු මූලිකව බලපෑම්කාර කවියා ය. මන්ද පෙර කී සහ නොකී ඔහුගේ සෑම ක්ෂේත්‍රයකම උල්පත ඔහුගේ නිර්මාණාත්මක කවි සිත යැයි හඟිමි. මේ නිර්මාණාත්මක කවි සිතට ප්‍රේමය සහ සමාජ අසාධාරණය යන මාතෘකා බහුලව නිමිති සපයයි. ඒ නිසාම ඔහුගේ කවි අපේ පරපුර මතු නොව ඔහුගේ පරපුර සහ අද හෝ අනාගත පරපුරට නැතිවම බැරි මූලාශ්‍ර බව ඉඳුරා පිළිගැනීමට සිදුවේ.

කාව්‍යක්කාරයකු ලෙස මෙසේ පෘථුල ක්ෂේත්‍රයක හරඹ පෑවද ගීත රචකයෙකු සේ ඔහු සිටින්නේ හරියට අපට ඕනෑවට වගේය. ඔහුට ඇති අන් ක්ෂේත්‍ර දෙස බැලූ විට (විශේෂයෙන්ම නවකයන්ට අත දීම, ඔවුනගේ ප්‍රකාශන පරාර්ථයෙන් එළි දැක්වීම වැනි අතුරු සමාජ මෙහෙවරද සැලකූ විට) ගී ලිවීම ඔහුට ඉඳ හිට හෝ නොකෙරෙන්නකි. නමුත් ඔහු ලියූ අතිශයින්ම අල්ප වූ ගී දෙස බලන්න. ඒ සෑම ගීයක්ම ජනප්‍රිය වූවා සේම. ඒ සෑම ගීයක්ම ඒ ඒ යුගය නියෝජනය කළ බව නොරහසකි.

බුද්ධි ලියූ ගී අතලොස්ස අතර ගී යුග්මයක් කැපී පෙනේ. එක් ගීයක් වනුයේ පණ්ඩිත් අමරදේවයන් ගැයූ සංගීත් නිපුන් සනත් නන්දසිරි තනු හදා සංගීතවත් කළ ”කඳුළු කතාවේ නිමක් දුටුවා දා” ගීතාවයි. අනෙක ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කොට තනු හැදූ, ආචාර්ය වික්ටර් රත්නායක සුගැයුම් කළ ”තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්” ගීතයයි.

ප්‍රේමයේ සම්ප්‍රයෝගය සහ විප්‍රයෝගය යන දෙඅන්තය එකම රචකයෙකු අතින් මෙලෙස මටසිලිටි ලෙස චිත්‍රණය වූ අවස්ථාවක් ඔබට සිතා ගත හැකිද?

කඳුළු කතාවේ නිමක් දුටුව දා ගීයේ ප්‍රේමාභිෂේකය ලබන පෙම්වතා ප්‍රීති ප්‍රමෝදයෙන් වසඟ වෙයි. ප්‍රහර්ෂයෙන් ඇලලෙයි. නමුත් තනිවෙන්නට මගේ ලොවේ ගීයේදී එම ප්‍රේමවන්ත සිතම දැවී හළුවෙයි. විරහ වේදනාවෙන් වෙව්ලුම් කන මේ වියෝගී සිත එළියට ඇද පෙන්වන්නේ බුද්ධි ගේ කෙටි වදන් හරඹයයි.

“ආසිරි චාමර පවන් සැලී
සෝ දුක් සංකා කෙමෙන් මැකී
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
අපේම ලොව අප තනිවූයේ”

මෙතන ඇත්තේ වචන 17 කි. ඒ වචන 17 න් බුද්ධි මුළු මහත් දර්ශනාවලියක් නිර්මාණය කරයි. මෙන්න ඔහුගේ ගීතයේ මේ පේලි 4ක සොච්චමේ දීර්ඝ තිර රචනය.

කවිය සහ ගීතය එක් කුස උපන් නිවුන්නු යයි කීවාට ගීයක් ලිවීමත්, කවි පබැඳීමත් අත්‍යන්තයෙන්ම වෙනස් වූ රටා දෙකකි. මේ වෙනස හරි හැටි තේරුම් ගන්නේ කෙසේද? එවන් ජාත ලක්ෂණ කිසි තැනෙක අප හට උගන්වා නැතත් ගීතය සහ කවිය කිරෙන් දිය සේ දැන හෝ නොදැන වෙන්කර ගත් නිර්මාණකරුවා හඳුනාගත හැකිය. බුද්ධදාස ගලප්පත්ති යනු ගී කීපයක් පබැඳුවාට මේ ක්‍රම ද්වය නිවැරදිව හඳුනාගත් ගීත රචකයෙකි. එම ක්‍රමවේදය යොදා ගැනීමම සාර්ථක ගීයක් බිහිවීමට හේතු නොවේ. ගීය කවියෙන් වෙනස් කරගත් පසු ගීයේ අන්තර්ගතය (contents), සන්දර්භය (context) අතිශය වැදගති. ඔහුගේ සෑම ගීයකම ප්‍රකාශ කරන ප්‍රස්තුතය ඉතා නිරවුල්ව සහ මන බඳනා අයුරින් නිර්මිත වී ඇත. ප්‍රේමයේ දැරිය නොහැකි විප්‍රයෝගය ඔහු තනිවෙන්නට මගේ ලොවේ ගී පද රචනයෙන් මූර්තිමත් කරද්දී, ඒ අපේක්ෂා භංගත්වයම ඔහු කවියෙන් පෙන්වන සැටි අභ්‍යාසයක් සේ සැලකීම වටී. මේ තනිවෙන්නට මගේ ලොවේ ගීය තුළ ඇති දැනවීම ඔහු කවියකට ගත් සැටියි. නිර්මාණ දෙකෙහිම ඉන්නේ පෙම්වතා විරහ තාපයෙන් පෙලනු ලැබූ පණ මෙන් පෙම් කළ පෙම්වතියයි. කවියේ නම “මල් පොකුරයි.”

“සත් වසක් මා සමඟ ආදරෙන් බැඳුණු ඇය
අනෙකෙකුගෙ අත රැගෙන විවාපත් වන දිනෙහි
සුබ පැතූ සඳ ඇයට
ඇය මගේ අත රැගෙන සිනාසුණි
කිසිදු බහකින් තොරව
එය දුටුව ඇගේ අත රැඳී සිටි මල් පොකුර
බලා ගත්තාය බිම
දරාගත නොහැකි වී
ලජ්ජාව හද උපන්”

මේ කවියේ සත් වසක් පෙම් කළ, පිටුපෑ යුවතිය ශේෂ කළ ඇසුරේ කැළල නොවේද බුද්ධි රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින් ලෙස ගීයකට ගෙතෙන්නේ?

කාව්‍යකරණයේදී ඔහුගේ දර්ශනය, නිමිති, සංකල්ප, උපමා රූපක, ප්‍රස්තුත සියල්ල දැඩි රැඩිකල්මය, සටන්කාමි බවක් දනවයි. “විනිසකරුවෙකුගෙන් ඇසූ ප්‍රශ්නය” වැනි කවියකදී ඔහු අධිකරණයට පමුණුවනු ලැබූ අබිසරුලිය ලවා අසන ප්‍රශ්නය අපට කිසිදා අමතක කළ හැකි නොවේ.

ඔහුගේ කාව්‍ය සංග්‍රහ කවරක් ගත්තද ඒවායේ සංගෘහිත බොහෝ කවි නිරූපණය කරන්නේ දෘඪ විරෝධාකල්පයන්ය. සුනිල් ආරියරත්න, ජයලත් මනෝරත්න සහ ඔහු එක්වී 1971 පළ කළ ඔහුගේ කුළුඳුල් නිර්මාණ එකතුව “දොළොස් මහේ පහන” කාව්‍ය සංග්‍රහයේද කළු කපුටා සුදු වන තුරු, ලුම්බිණිය හා රෙදි මෝල, ”රෑට කොළඹ,” “පතිව්‍රතාව” ආදී මේ කවර කවියක් විමසුවද පෙනෙන්නේ විරෝධාකල්පයන්මය. එහෙව් බුද්ධි ගීත රචනයේදී පමණක් අතිශය සුමට, මෘදු මාතෘකා පමණක් තෝරා ගන්නේ ඇයි? ගී අතලොස්සක් ලිව්වද ඔහු ගීයේ මායිම් හඳුනා ගැනීම නොවේද මේ ප්‍රකට දේහ ලක්ෂණයට හේතුව? ඔහු ගීයට යා හැකි දුරත් කවියට යා හැකි දුරත් හොඳින් දනී. ඒ ඒ කලාංගයට සරිලන අන්තර්ගතය හෝ ප්‍රස්තුතය ගැනද මැනවින් දනී. ඒ නිසාම ඔහුගේ ගී, ගීමැ වේ. ඔහුගේ කවි, කවි මැ වේ. ඔහු තම කවි, ගී කරන්නට නොයන්නේද මේ දැනුවත්භාවය නිසාය.

සැකෙවින්ම කවියේ, ගීතයේ මතු නොව, නාට්‍යයේ, සිනමා තිර රචනයේ, කෙටි කතාවේ, කෙටි නවකතාවේ (short novel) මෙන්ම දීර්ඝ නවකතාවේ ද දේශ සීමා ඔහු මැනවින් හඳුනයි. එය තවත් ස්ඵුට වන තවත් සුවිශේෂී බුද්ධි ගීත රචනයක් විමසමු.

“පාවෙලා හෙමින් ඇවිත් ඉන්න මා ළඟින්
සීත වලාකුලේ ඉන්න මා ළඟින්
මාපියන් සොහෝයුරන් දුරු කතර ගිහින්
ප්‍රේමයේ පැතුම් මලත් පරවෙලා ගිහින්

ඇයි වික්ටර් රත්නායකයන් මේ ගීය ආරම්භ කරන්නට ආරම්භක සංගීත ඛණ්ඩයට ගිටාරය, වයලීන් සෝලෝව පමණක් යොදා ගන්නේ?

ඇයි එසේ මහා පාලු බවක් සුන්දර ලෙස ගෙන එන්නේ?
ඇයි වික්ටර් ස්වරය මන්ද්‍ර වී, ලයාන්විත වී, සන්සුන් වන්නේ?
ඇයි මේ ස්ථායි කොටස අග්ගිස්සේදී බටනලාවේ වෙනස්ම, පපු කුහරයට වදින වර්ණයක් ඒකලව වික්ටර් යොදා ගන්නේ?
දැන් සියල්ල නවතා මේ ගීය අන්තර්ජාලයෙන් අසන්න! මා කියන්නට තතනන දෙය බුද්ධි වික්ටර්ට කියා අකුරට ඔප්පු කොට ඇත.

සාහිත්‍යය වැටහෙන වික්ටර්ට බුද්ධි ගේ මේ ප්‍රකාශනය වටහා ගන්නට පෑ ගණන් දුක් විඳින්නට සිදු වන්නේ නැත. තනුව ද වදන් සමඟ රචකයා පිරිනමා ඇත.

“විරහ ගීතයක් ගයන්න තනුව මට දියන්
මා පැතූ ඔබේ නුවන් සිහිල පා කරන්”

බුද්ධි මෙතරම් සොච්චම් ගී ප්‍රමාණයක් ලීවේ ඇයිදැයි යන්න මට මේ දැන් හදිසියේ වැටහුණි. බුද්ධි කවි ලියන්නේ තමාට ඕනෑ නිසාය. තමුන්නේ ඇම්මටය. ඒ බුද්ධිම ගී ලියන්නේ අනුනට ඕනෑ නිසාය.

“බුද්ධි, මචං මගේ සරල ගී එනව, උඹ එක සින්දුවක් ලියන්නම ඕනේ”

ලක්ෂ්මන් විජේසේකර එසේ කියන්නේ බුද්ධි වේශ නිරූපණය කරන, ලක්ෂ්මන් සංගීතය සපයන නාට්‍යයක විවේකී මොහොතක නේපත්‍යාගාරයේදීය. බුද්ධි එය හිතේ සනිටුහන් කර ගනී. ඔහු කාල සටහනට, වෙලාවට වැඩ කරන්නෙකි. ඇතැම් විට ලක්ෂ්මන්ට මේ ඉල්ලීම මතක නැත.

“ලකී සරල ගී තියෙනව කීව නේද? අන්න මම සින්දුව ලිව්වා හොඳ melody එකක් දාගන්න.”

සෝමපාල රත්නායක හෝ ලක්ෂ්මන් ජීවිතයෙන් නික්ම ගිය නිසා මෙය ඇත්තක්දැයි ඔබට සොයා ගත නොහැකි වනු ඇත.

බුද්ධිට රහසේ ලියන නිසා මෙවන් සිදුවීමක් වුණා දැයි මටද ඇසිය නොහැකිය. මා මේ අය්යලා ගැන දන්නා නිසාද, තිර රචනය යන්තං උගෙන ඇති නිසාද එය හරි බව මේ බුද්ධි පුස්තකය නිකුත් වූ විට අපට අසා ගත හැකිය. ඇත්තටම සනත් නිවසට හිතවතෙකු නිසා නොවේ නම්, වික්ටර් ඇසුරේ වෙලුනෙකු නොවේ නම්, නාට්‍යකාරයෙකු සේ ලූෂන් ලා සමඟ චාරිකා නොකළේ නම් බුද්ධදාස ගලප්පත්ති නම් ගීත රචකයෙකු ගැන අපට කතා කරන්නට සිදු නොවෙනු ඇත.

ලක්ෂ්මන් වාගේ, වික්ටර් සහ සනත් වාගේ හැමෝම මේ කම්මැලි ගීත රචකයාගෙන් නොනවත්වා ගී ඉල්ලුවා නම් මේ ලිපිය මට ඉවර කරගන්නට ලැබෙන්නේද නැත.

“සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කළේ
පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කළේ
ඔබ ආදරය කළේ”

බුද්ධි තුළ සිටින විරහවන්තයා, විදුදය සරසවියේ හෝ මාතර ශාන්ත සර්වේශස් හි සිටි ශිෂ්‍යයාද, කොළඹ 7 (ඇලෙක්සැන්ඩ්‍රා) ටියුටරිය පැත්තේ කරක් ගැසූ ශිෂ්‍ය මානවකයාද, ලුණු සංස්ථාවේ හෝ සිමෙන්තියේ සිටි විධායකයාදැයි අපි නොදනිමු. නමුත් ඔහුගේ විරහවන්ත රචනා, විරහාලාප නොවෙනවා වාගේම යම් උපශාන්ත, උපේක්ෂාසහගත මනෝභාවයක් වෙත පොදු රසිකයා මෙන්ම පුද්ගලිකව විරහ වේදනාව අත්දුටු පෙම්වත්තුද හැරලීමේ පහන් ගුණයෙන් අනූන බව බැලූ බැල්මට පෙනේ.

මේ ගීතයේ අන්තරා කොටසට එන විට මෙතරම් හෝ මැසිවිල්ලක් රචකයාට නොමැත.

වසර 45 කට පමණ පෙර නුගේගොඩ ිඒඑසදබ ක්බැ හි සනත් නන්දසිරි සහෘදයාගේ නිවසට බුද්ධි ගොඩ වූ විට එහි සිටි සිඟිති ළදැරිය දුටු විට වක්කඩ කැඩුවා සේ බුද්ධිට ආ දරු සිතුවිල්ල සනත් – මල්කාන්ති දියණි අනුරාධාට පමණක් නොව මෙරටේ සෑම දියණිවරුන්ටම ලියූ අමා ගීතාවක් වීය.

“කෝමළ අත් පා සෙමෙන් සැලේ
හිනැහී යළි මව් තුරුළෙ වෙලේ
හදවත රැඳි දුක් සෙමින් මැකේ
ජීවිතයම සොම්නසින් පිරේ”
මෙහි sunshine දූ අනුරාධාය.

ජීවිතයක අඩසියවසක් යනු මේ කලියුගයේ මහා කාල වකවානුවකි. තරුණයින් හිටි අඩියේ අවුරුදු විස්සේදී එකවරම කෙසෙල් කඳන් සේ ඇද වැටී මියෙන, කිරි කැටි ළදරුවන්ටද දියවැඩියාව ඇති බව සොයා ගන්නා මෙවන් අරුම පුදුම යුගයක වසර 75 ක් ජීවත් වෙමින් අඩසියවසක් අරා නිර්මාණ කරමින් සුවිශේෂීව නව කවි පරපුරු යුගයෙන් යුගය තනමින්, ඔවුන්ගේ කෘති එළි දක්වමින් හුදී ජන පහන් සංවේගය උදෙසා ජීවිතය සහ සියල්ල කැප කරමින් දුර්ලභයන් අතර සුදුර්ලභයා වෙමින් අප හදවත් ආදරයෙන් ඇද බැඳ ගත් සදාදරණීය බුද්ධි අය්යාට දීර්ඝායු පතමි.

බන්දුල නානායක්කාරවසම්

advertistmentadvertistment
advertistmentadvertistment