සෞඛ්‍ය ගැන කතා දෙකක් (මිත්‍යාවට බිලි වූ දරුවාගේ කතන්දරය ද සමග…)

684

සෞඛ්‍ය වර්ජනය නිසා බිබිලේ රෝගී කතක මියගොස් ඇති බව වාර්තා වේ. ශල්‍යකර්මයකට භාජන කිරීමට අවශ්‍ය එක්ස් රේ සහ ස්කෑන් පරීක්‍ෂණ කලට වේලාවට ලබා ගැනීමට නොහැකි වීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බව ද සැලය. මේ පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වෙන අතර බැරි වේලාවත් මෙම රෝගී කත මිය යෑමට ආසන්නතම හේතුව වර්ජනය නම් ඊට වගකියන්නේ කවුද? වර්ජකයන්ද එසේ නොමැති නම් වෛද්‍ය බලධාරින්ද?

තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට සෞඛ්‍ය සේවකයන්ට ඇති අයිතිය පිළිබඳව අප තර්ක කරන්නේ නැත. එහෙත් තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට උකසට තබන්නේ රෝගී ජීවිත නම් එය කෙතරම් සාහසික ද යන්න වර්ජනයට නායකත්වය දුන් අය සිතිය යුතුය. විශේෂයෙන් කොරෝනා තෙවැනි රැල්ලක් අප රටේ ව්‍යාප්ත වෙද්දී මිනිස් ජීවිත අවදානමකට ලක් නොකිරීමට සෞඛ්‍ය අංශ වගබලා ගත යුතුය. කොරෝනා වසංගතයත් සමග මිනිස් ජීවිත බේරා ගැනීමට ක‍්‍රියා කළ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පිරිස් පසුගිය කාලයේදී ඇගයීමට ලක් වී සුවවිරුවන් ලෙස විරුදාවලිය ලද්දේ ද ඒ නිසාවෙනි. තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට අරගල කරනවා සේ ම සමාජය විසින් ඔසවා තබා ඇති සෞඛ්‍ය ක්ෂේත‍්‍රය කෙළසීමට ඉඩ නොදීම ද සෞඛ්‍ය සේවකයන්ගේ වගකීමක් බව අවධාරණය කරනු කැමැත්තෙමු.

අද වෛද්‍ය ක්ෂේත‍්‍රය පවතිනුයේ ප‍්‍රශස්ත මට්ටමකය. අප රටේ ද තත්ත්වය එසේම ය. විවිධ ශල්‍යකර්මවලින් විස්මිත දස්කම් පාන වෛද්‍යවරු අප අතර වෙති. එසේම විවිධ රෝග සුවකිරීමෙහිලා සුවිශේෂී දස්කම් පාන වෛද්‍යවරු අපේ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ හිඟ නැත. පොදුවේ ගත් කල බියෙන් සැකෙන් තොරව සෑම රෝගියෙකුටම අප රටේ රෝහල් පද්ධතියෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට පුළුවන. එවැනි විශ්වසනීය වෛද්‍ය ක්ෂේත‍්‍රයක් අප සතුව තිබියදී බඩල්කුඹුර ප‍්‍රදේශයේ දස හැවිරිදි දරුවකු මිය යන්නේ එම දරුවාගේ දෙමාපියන් මිත්‍යා මතවල එල්බ සිටීමේ අවාසනාවන්ත සිදුවීමක් නිසාවෙනි. බඩල්ගම ආඬිමුල්ල ප‍්‍රදේශයේ නිවසකින් දුර්ගන්ධයක් හමන බවට ප‍්‍රදේශවාසීන් බඩල්කුඹුර පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබිණි. ඒ අනුව පොලිස් නිලධාරීන් නිවස පරීක්‍ෂා කිරීමේදී ඇඳක් මත මියගොස් සිටි මෙම දරුවාගේ මළ සිරුර හමුවී තිබේ. පොලිසිය මියගිය දරුවාගේ දෙමාපියන්ගෙන් සහ මිත්තණියගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඉකුත් 7 වැනිදා මෙම දරුවා උගුරේ සෙම සිරවීමෙන් අසනීප වූ බවයි. එහිදී ඔවුන් මෙම දරුවාට වෛද්‍ය ප‍්‍රතිකාර නොදී ඔවුන් අදහන ආගමට අනුව දරුවා සුවපත් කර ගැනීම සඳහා යාඥා කර ඇත. මෙම දෙමාපියන් සහ මිත්තණිය යාඥා කරන අතරතුර දරුවා

මියගොස් ඇත. දරුවා මියගිය පසුව ද දරුවාට යළි පණ ලබා ගැනීමේ අටියෙන් මොවුන් යාඥා කර ඇත. වෛද්‍ය විiාව මෙතරම් දියුණු යුගයකදී මිත්‍යාවට යට වූ මෙම දෙමාපියන් සහ මිත්තණියගේ අනුවණ ක‍්‍රියා කලාපය නිසා අප සමාජයට තවත් වටිනා දරුවකු අහිමි විය.

පසුගිය කාලයේදී දේවාරූඪයෙන් හා විශ්ව ශක්තියෙන් රෝගීන් සුවපත් කරන බව පවසමින් මිත්‍යාව අලෙවි කළ වෙළෙන්දන්ගේ ක‍්‍රියා කලාප අපට දැක ගත හැකි විය. මාධ්‍ය මගින් මේ සඳහා එල්ල වූ දැඩි විවේචන නිසා ඔවුන්ගේ ක‍්‍රියා කලාපය යම් ප‍්‍රමාණයකට යටපත් වී තිබිණි. අප කලින් සඳහන් කළ දරුවා මිය යන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට කවුරුන් හෝ දුන් වැරදි උපදේශයන් නිසා දැයි සොයා බැලිය යුතුය. කොරුන්ව ඇවිද්දා, ගොළුවන්ව කතා කරවන බවත්, තමන් ශරීරයේ ඇති අට අනූවක් රෝග සුව කරන බවත් පවසමින් ජනතාව අන්දන වෙළෙඳුන් සමාජයේ තවදුරටත් නොසිටීමට බැරිකමක් නැත. එනිසා වගකීමක් ඇති පුරවැසියන් ලෙස අප ඔවුන්ගේ සැබෑ නිරුවත හෙළි කිරීමට වගබලා ගත යුතුය. විශේෂයෙන් මෙහිලා මාධ්‍යයට සුවිශාල මෙහෙයක් කළ හැකි යැයි අපි දැඩි සේ විශ්වාස කරමු.

මිත්‍යාව විශ්වාස කරන, මිත්‍යාව මත සිට ගනිමින් අවිiාත්මකව හැසිරෙන මිනිසුන්ගෙන් සමාජයට විය හැකි හානිය අතිවිශාලය. කොරෝනා පැමිණි විට ඉන් ගැලවීම සඳහා යැයි කියමින් ගොම තවරාගෙන ගව මුත‍්‍රා බිව් පිරිසක් පිළිබඳව ඉන්දියාවෙන් පවා වාර්තා විය. අප රටේ සමහරක් ගව මුත‍්‍රා නොබීව ද පැණිවලට යට වී කොරෝනා රෝගයෙන් වැළකීමට උත්සාහ කළ අයුරු

පසුගිය කාලයේදී දැක ගත හැකි විය. තවත් පිරිසක් ගෙඟ් මුට්ටි පා කරමින් නොපෙනෙන කොරෝනා වසංගතයෙන් අප ගලවා ගැනීමට උත්සාහ කළ අයුරු ද අපට මතකය. අවසානයේ මෙම සියලූ මිත්‍යා මත බිඳවැටුණු අතර කොරෝනාවෙන් ගැලවීම සඳහා උපකාර වූයේ ඒ සඳහා විද්‍යාත්මකව නිෂ්පාදනය කළ එන්නත් පමණි. එනිසා මිත්‍යාවට එරෙහි වීමට අපි කිසිවිටකවත් පසුබට නොවිය යුතු ය.

advertistmentadvertistment
advertistmentadvertistment