මමත් දැන් පුරාවස්තුවක් ආරක්‍ෂා කරගැනීම රජයේ යුතුකමක්

173

රිටිගල මේ රටේ අතිශය ඓතිහාසික කන්දක් එහි ඇති ශෛලමය නිර්මාණ විශ්මයජනකය…

එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ සැතපුන ලෙන් කුටියේ ලේ මාපිල් ජෝඩුවක්…

මහ රෑ සමන්ගලට යන ගල්පඩිපෙළ මත කොටියෙක්…

බුදුබාව කන්දෙ තේ බොන්න නතර වූ ගස උඩ කොටියෙක් ගිනි තපී…

එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ දිවි මකුළු පොදියකට අත දමති…

කැබිතිගොල්ලෑව ගල් පොකුණ ආරණ්‍ය සේනාසනය ද පුරාවස්තු විසිරි ඇති ඓතිහාසික පුදබිමකි. ගලේ පොකුණක් ඇති බැවින් ‘ගල් පොකුණ’ නමින් හඳුන්වා තිබුණ ද ගල් කණුවක කොටා ඇති පියුමක් නිසා මේ වනවිට ‘ගල් පියුම’ ආරණ්‍ය සේනාසනය ලෙස හඳුන්වති. එමෙන්ම එම ආරණ්‍යය පිහිටි මහ වනාන්තරය පුරා නයි, පොළොන්ගු ආදී විෂකරු සර්පයින් බහුලව ගැවසෙති. ආරණ්‍ය සේනාසනයේ කුටි සෙනසුන් සිදුරු නොසිටින සේ ස්ථාපිත කර ඇත්තේ ද සර්ප ග්‍රහණය වැඩි නිසාය. එහෙත් මහ වන මැද පිහිටි එම ආරණ්‍ය සේනාසනයේ ජීවත්වන කිසිවකුට සතුන්ගෙන් අනතුරක් සිදු වී නොමැති බව එල්ලාවල මෙධානන්ද නායක හිමි අවධාරණය කළහ. එමෙන්ම රිටිගල කන්දේ දී උන්වහන්සේට මුහුණ දීමට සිදු වූ අපූරු සිද්ධියක් ගැන ද අපව දැනුවත් කළහ.

“මිහින්තලේ ආරණ්‍යයේ කෙහෙල්පන්නල සුගතවංශ හාමුදුරුවෝ රිටිගල ආඬියාකන්ද කොටසේ ආරණ්‍යයක් ආරම්භ කිරීමට සූදානම්ව මගෙන් සහාය ඉල්ලුවා. උන්වහන්සේගේ ඉල්ලීම පිළිගෙන කල් තියා දින සූදානම් කරගෙන මම රිටිගලට පිටත් වුණා. පාරේ බස් එකේ ගිහින් ගලපිටගල හන්දියේ බැහැලා කැලෑ පාරක් ඔස්සේ ආඬියාකන්දට යනවිට සවස 05 විතර වුණා. මහ වැස්ස. ඒ දිනවල දිගට ම රෑට වහිනවා. මම ඒ ස්ථානයට යනකොටත් භික්‍ෂූන්වහන්සේ කීපනමක් සමග දායක මහත්වරු කීපදෙනෙක් කුටි සෙනසුන් ගොඩනැඟීමේ කටයුතු ආරම්භ කරල තිබුණා. පළමු පියවර විදිහට ගල්ලෙන් සුද්ද කර පිල්කඩ ඉදිරිපිට පොල්අතු ඉරුවලින් පැළලි බැඳ ආවරණය කර තිබුණා. ගල්ලෙන් ඉදිරිපස බිත්ති බැඳ දොර ජනෙල් තැබීම ඉතිරිව තිබුණා. කෙහෙල්පන්නල හිමියන් සහාය ඉලන්නකොට මම හිතුවේ කුටි සෙනසුන්වල ඉදිරි වැඩ කටයුතු කරගෙන යෑමට මූල්‍යමය ආධාරයක් කියලා. ඒත් උන්වහන්සේගේ බලාපොරොත්තු වෙලා තිබුණේ එම ප්‍රදේශයේ නටබුන්, සෙල්ලිපි පරීක්‍ෂා කර එහි ඉතිහාසය කියැවීමක්…”

රිටිගල කන්ද ආශ්චර්යවත් ඓතිහාසික පුදබිමකි. එම කන්දෙ කොටස් කිහිපයක පැරැණි ආරාමික නටබුන් විසිරි පැතිරී තිබේ. එහි ප්‍රධාන කොටසේ ඇති ශෛලමය නිර්මාණ විශ්මයජනකය. ආඬියාකන්ද කොටසේ ගල්ලෙන් හැර වෙනත් ගොඩනැඟිලිවල නටබුන් කිසිවක් නැත. කටාරම් කෙටූ ලෙන් රැසක් වේ. ඒ ඇතැම් ලෙන්වල සෙල්ලිපි කොටා තිබේ. පසුදා හිමිදිරියේ සිට වැඩ ආරම්භ කළ එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ ලෙන් පරීක්‍ෂා කර සෙල්ලිපි පිටපත් කිරීමට පටන් ගත්හ. උන්වහන්සේ එදින රාත්‍රිය ගත කරනු ලැබුයේ අලුතින් සකස් කරගෙන යන ගල් කුටියකය. මහ වැසි ඇඳ හැළෙන රාත්‍රියේ මැටි පිළ මත පොල්අතු පැඳුර මත ඇළ වී සිටි උන්වහන්සේට වෙව්ලන තරමට සීතලක් ඇති වූහ. රස්නෙන් කහට කෝප්පයක් පානය කර හිසේ සිට දෙපතුල දක්වා සිවුර පොරවාගෙන පිළ මත සැතපුණහ. ලන්තෑරුමක් පසෙකින් එල්ලී තිබිණි. වැසිධාරාව ඉදිරිපස පොල්අතු ඉරු පැලැල්ලට වැදේ. කන්ද පහළට ගලා හැළෙන දිය ඇල්ලේ ඝෝෂාව දෙසවන් අගුළු දමන තරම්ය. ටික වේලාවක් පිළ මත සැතපී සිටි උන්වහන්සේට නින්ද ගියහ. මහා වැස්ස මුරුණ්ඩු විය. වැස්සටත් වඩා සුළඟ රකුසු වෙස් ගෙන ගහ කොළ පොළොවට පා තබාන තරමට ප්‍රචණ්ඩ විය. බර, බර හඬ නඟමින් මහ ගසක් කඩා වැටෙන ශබ්දයට එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ට ඇහැරුණහ.

“පිළ මත වාඩි වෙලා විදුලි පන්දම අතට අරගෙන පොල්අතු පැලැල්ලට එල්ල කර මදක් පරීක්‍ෂාවෙන් බැලුවා. විශාල පතෝල කරල් සේ දරුණු සර්පයින් දෙදෙනෙක් පොල්අතු පැලැල්ලේ එල්ලී ඉන්නවා දැක්කම මාව ඉබේටම පිළෙන් විසි වුණා. වැස්ස, සුළඟ එකට පොරබදමින් ගස් කඩා වැටෙන මහා රෑ හිතට දැනුණු බය වචනයෙන් විස්තර කරන්න බෑ. ඒත් සර්පයින් දැක්කම වැස්ස, හුළඟ මට අමතක වුණා. ලෙන කෙළවරින් දොර ලෙස භාවිත කළ පොල්අතු ඉරුදෙක තල්ලු කර එළියට පැනලා තෙමීගෙන කෙහෙල්පන්නල හිමියන් සැතපී හිටිය කුටියට දිව්වා. මගේ කෑගැහිල්ලට උන්වහන්සේ නැඟිටලා එළියට ආවා. මම විස්තරය පැහැදිලි කළාට පස්සෙ විදුලි පන්දමක් දල්වාගෙන තවත් දෙදෙනෙක් සමග මම හිටිය කුටිය දෙසට උන්වහන්සේ වැඩියා. අපි යනකොට සර්පයින් දෙදෙනා පොල්අතු පැලැල්ලෙන් පහතට බැහැලා බලා ඉන්නවා. කැපකරු මහත්තයා පොළොවෙන් වැලි අහුරක් අතට ගෙන මුවට ළං කර තොල් මතුරලා සර්පයින් දෙසට දමා ගැසුවා. ඒ වැලි පහරට ඒ සතුන් ඇඹරෙමින් පහළට පැන පැලැල්ල යටින් රිංගා ඇඳෙනවා පෙනුණා. අඩි පහක් පමණ දිග ලේ පාට පුල්ලි සහිත ඒ සර්පයින්ගේ විශාලත්වය දැකපු කෙහෙල්පන්නල හාමුදුරුවොත් මවිතයට පත් වුණා…”

‘අපේ හාමුදුරුවනේ ලේ මාපිල්ලු ජෝඩුවක්. මෙවුන් දෂ්ට කරලා ලේ උරන්ට පටන් ගත්තා නම් නිදා සිටින කෙනෙක්ට තව, තවත් සනීපෙට නින්ද යනවා. මැරෙනකම් දන්නෙ නෑ…’ ලේ මාපිල්ලුන්ගේ දරුණු බව කැපකරු මහත්තයා අපිට තේරුම් කර දුන්නා. නැවත ඒ කුටියේ පිළ මත සැතපෙන්න මගෙ හිත ඉඩ දුන්නෙ නෑ. කෙහෙල්පන්නල හිමියන්ගේ කුටියට ගිහින් බංකු කබලක වාඩි වීගෙන රැය පහන් වන තෙක් සටහන් කරගත් සෙල්ලපිවල තොරතුරු උන්වහන්සේට පැහැදිලි කළා. කෙහෙල්පන්නල හාමුදුරුවොත් රෑ එළිවෙනකම් මගේ කතාව අහගෙන අවදියෙන් හිටියා. ඊට පහුවෙනිදා ආඬියාකන්දෙන් පිටත් වෙලා සොයාගත් සෙල්ලිපිවල විස්තර ඇතුළත් කර ඒ සතිඅන්තයේම දිවයින ඉරිදා පුවත්පතේ සවිස්තරාත්මක ලිපියක් පළ කළා. ඒ ලිපිය කියවලා එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා මට කතා කරලා නොසෑහෙන්න ප්‍රශංසා කළා. ඊට පසුව මම රිටිගල ආඬියාකන්ද තපෝවනය පොත මුද්‍රණය කළා. රිටිගල පුදුමාකාර ඓතිහාසික කන්දක්. රිටිගල ඉතිහාසය ගැන තවම බෞද්ධ සමාජයේ හරි හැටි අවබෝධයක් නෑ…” රිටිගල ගැන පමණක් නොව, මෙරට ඉතිහාසය ගැන ද බෞද්ධ සමාජයට තවම හැරි හැටි වැටහීමක් නැති බව පැහැදිලිය. ඒ ගැන කතා කිරීම හදවතට වේදනාවකි. එහෙයින් එල්ලාවල මෙධානන්ද හාමුදුරුවන්ගේ ‘සමන්ගල අමතක නොවන ගමන’ ගැන නැවත අපි ආවර්ජනය කරමු.

සමන්ගලට යෑමට එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ සමග තරුණයන් සිව්දෙනකු එකතු වී සිටියහ. නුවර හරහා අම්පාර බසයෙන් පැමිණ උන්වහන්සේ ඇතුළු සිව්දෙනා 28 කණුව හෙවත් වෑරුන්කැටගොඩ හන්දියෙන් බහිනවිට සවස හය පසු වී තිබුණහ. පසුදින සාමාන්‍ය පෙළ විභාගයට අසල පිහිටි මහා විද්‍යාලයේ ශාලාව සූදානම් කරමින් සිටින අයුරු පිරිස ඈත සිට දුටූහ. එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ විදුහල දෙසට වැඩම කරනු දුටු ගුරුවරයෙක් ඉදිරියට පැමිණ පාද නමස්කාර කළේය. කතාබහා කිරීමෙන් පසු හේ එම පාසලේ විදුහල්පති බව පැහැදිලි විය.

සමන්ගලට යන්නෙ කොහොමද විදුහල්පතිතුමා…? එල්ලාවල හාමුදුරුවෝ කෙටි පැනයක් යොමු කළහ.

‘ටිකක් දුරයි හාමුදුරුවෝ… මේ ගොම්මනේ සමන්ගල යෑම සුදුසු නෑ. යන පාර අපිට කියන්න පුළුවන්…’ විදුහල්පතිවරයාගේ කතාවට එල්ලාවල හාමුදුරුවෝ තිගැස්සුණහ.

‘අපි බය නෑ හාමුදුරුවනේ. යමු…’ තරුණයන්ගේ නිර්භීතකම ඉදිරියේ උන්වහන්සේ ද දිරිමත් වූහ.

‘අපිට පාර කියන්න කෝ…’ නැවත උන්වහන්සේ විදුහල්පතිවරයාට කෙටි පැනයක් යොමු කළහ.

‘අතන ගුරු පාර දිගේ හැතැම්ම 6 ක් විතර යනකොට මහ කැලෑව හමු වෙනවා. වනසතුන් එළිපහළියේ ගැවසෙනවා ඇති. තව ටික දුරක් යනකොට සොහොන් පිටියක් හමු වෙයි. එතැනින් හැරිල යනකොට ලොකු ගහක් ළඟින් වමට පාරක් හමු වෙයි. ඒක දිගේ ගියා ම සමන්ගල…’ විදුහල්පතිවරයා පාර විස්තර කළේය.

පැහැදිල වූ මඟ දිගේ ඉදිරියට යනවිට සොහොන් පිටිය මුණගැසිණි. එදින සවස සොහොන් පිටියේ ගිනි තබා දැවෙමින් තිබුණු සොහොනකින් නැඟෙන දුමාරයෙන් අවට වැසී තිබිණි. දෙනෙත්හි රැදෙන අළු බවට පත් වූ සොහොනත්, අවට වෙළාගත් ධූමාරයත් ගුප්ත, මූසල බියක් සිතට ගෙන දුන්න ද හතර රියන් තරුණයන් සිව්දෙනෙක් පිටුපස සිටින බව හැඟුණුවිට උන්වහන්සේ වීර්යෙන් ඉදිරියට ගමන් කළහ. තව ටික දුරක් ඉදිරියට ගමන් කරනවිට අවට ගණ අන්ධකාරයෙන් වැසිණි. ආලෝකයට තිබුණේ බැටරි කෑලි දෙකේ විදුලි පන්දම පමණි. එහි ආලෝකය ද කණාමැදිරි එළියක් සේ විය.

‘විදුහල්පතිවරයා කියපු විදිහට විශාල ගස් කිහිපයක් අසලින් ම හැරෙන අතුරු පාරවල් තිබුණා. ඒ කිසිම පාරකින් හැරුණේ නැති මට ඊළඟට හමු වන පාරෙන් හැරෙන්න කියලා හිත කිව්වා. එහෙම හිතෙනකොට මහ ගහක් අසලින් වමට පාරක් තිබුණා. මහා වනාන්තරය. කණාමැදිරි එළියෙන් ගණ අන්ධකාරයේ ගිය ගමන සිහිපත් වෙනකොට දැනුත් ඇඟ සලිත වෙනවා. ඒ පාරේ සැතපුමක් විතර යනකොට වමට, දකුණට පාරවල් දෙකක් සහිත හන්දියක් හමු වුණා. එතැනින් කොහේට හැරෙන්න ද කියලා අපිට වැටහීමක් තිබුණේ නෑ. පාරවල් දෙකම සෝදිසි කරලා බලනකොට වම් පැත්තට යන පාර හොඳට පිරිසිදුව තියෙනවා දැක්කා. ඒ පාර දිගේ ටික දුරක් යනකොට ලන්තෑරුම් එළියක් දැක්කා. ඒ එළිය පාරේ ඇවිදගෙන යනකොට පුංචි මඩුවක් හමු වුණා. අපි ඈතට දැක්කෙ ඒ මඩුවේ දැල්වෙන ලන්තෑරුම. ලී කෑලිවලින් වටකරපු මඩුවේ වහලට පොල්අතු සෙවිලි කරලා තිබුණා. මඩුවේ හිටියේ වයසක මනුෂ්‍යයෙක්. සමන්ගල ආරණ්‍යයේ කන්ද පාමුල. වයසක මනුෂ්‍යයා කන්දට නඟින මඟ පෙන්වා ස්වාමීන්වහන්සේනමක් මුදුනෙ ඉන්න බව පවසමින් ප්‍රවේශමෙන් ගමන් කරන්න කියලා උපදෙස් දුන්නා. ගලින්, ගලට පඩි නඟමින් උඩට ගිහින් නැවතී කන්ද මුදුන දෙස බලනකොට ලන්තෑරුම් එළියකින් කෙනෙක් පහළට බහින බව පෙණුනා…”

‘ඉස්සරහා කොටියෙක්… කොටියෙක්…’ ලන්තෑරුම් එළියෙන් පහළට බහින කෙනා කෑගැසනවා ඇහුණා. ඉදිරියෙන් කොටියෙක් ගමන් කරන බව අපි දැක්කෙ ඒ කෑගැහිල්ලට. අපි කන්ද නැඟල තියෙන්නෙ කොටියව පෙරටු කරගෙන. ගල් පඩිපෙළ අවසානයේ කොටියා කැලයට බැහැලා යනවා අපි දැක්කා…’

‘ඔය කොටියා ගොඩක් පහළ ඉඳලා නායක හාමුදුරුවන්ට ඉස්සරහින් එනවා උඩට පෙනුණා. ඔබවහන්සේ කොටියට කිට්ටු වෙනකොට තමයි මම කෑගැහුවේ…’ ලන්තෑරුමක් අරගෙන අප ඉදිරියට පැමිණි උපාසක මහත්තයා එහෙම කිව්වා. ඒත් කොටියා සම්බන්ධයෙන් අපිට බයක් දැනුණේ නෑ. ඒ සමග ම සමන්ගල ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි ස්වාමීන්වහන්සේ පැමිණ උපාසක මහත්තයාට කියලා උණු තේ හදලා දීලා, තරුණයන්ට කෑම ලෑස්ති කරල දුන්නා. එදා රාත්‍රියේ අපි පස්දෙනාම නවාතැන් ගත්තේ ලොකු ගල් කුටියක…”

සමන්ගල මුදුන විසල් ගල් පර්වතයකි. ඒ යට විසල් ලෙනකි. අඩි සියයකට වඩා ඉහළින් එහි කටාරම් කොටා ඇත. සෙල්ලිපියක් ද එහි විය. ලෙන ඉදිරිපස වැඩී තිබුණු ගසක ආධාරයෙන් සෙල්ලිපිය සටහන් කර ගත් එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ එය කිය වූහ. මහානාග යුව රජුගේ සිට සද්ධාතිස්ස කුමාරයා දක්වා රජ පරපුර ගැන එහි සඳහන් වී තිබිණි. අනතුරුව තවත් සෙල්ලිපි දහහතක් සොයාගත් උන්වහන්සේ බුදුසරණින් පහළට බැස්සහ.

තවත් දවසක තාඹුගල ආනන්දසිරි නායක හාමුදුරුවන්ගේ ආරාධනාවකට එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ බුදුවාව බැලීමට ගියහ. එම ප්‍රදේශයේ නිට්ටෑ නම් මිටි මිනිසුන් සිටින බව කියවෙන අතර බුදුවාව හා නලිත්ත ප්‍රදේශවල බෞද්ධ නටබුන් බහුලව තිබෙන බව ද තාඹුගල ආනන්දසිරි හිමි දැනුම් දී තිබුණහ. ඒ ගමන ද අතිශය දුෂ්කරය. ටික දුරක් ගමන් කර ගෙන ගිය බනිස් අනුභව කර කහට සාදා පානය කිරීමට එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ යෝජනා කළහ. ගමනට එකතු වී සිටි කිහිපදෙනාම එයට එකඟ වී මහ කැලය මැද විසල් ගසක නැමී ගිය අත්තක් යට තේ උණු කිරීමට සූදානම් වූහ. කරු දෙකක් කපා එහි හරයට කෝටුවක් තබා වතුර උණු කරන බෙලෙක්කය එහි හරයෙ එල්ලීය. වටින්, පිටින් කෝටු කෑලි එකතු කර ගිනි දැල්වීය. බනිස් කා තේ පානය කර දැල් වූ ළිප ගිනිපුපුරක් නැති වෙන්න නිවා දැමුවේ නැවත සුළඟට ගිනි ඇවිළුණුවිට මහා හානියක් වන හෙයිනි. තේ පිළියෙල කිරීමට යොදාගත් බඩු මුට්ටු ගමන් මලුවල බහාලමින් නැවත ගමන් ආරම්භ කිරීමට සූදානම් වෙමින් එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ ගස උඩ බැලූහ. දණ්ඩ වගේ අත්ත දිගට කොටියෙක් ළිප එල්ලෙ ගහ බදාගෙන නිදා සිටිනු උන්වහන්සේ දුටූහ. මහ වනයේ හේන් කරන ගොවීන් කියා තිබූ කතාවක් උන්වහන්සේගේ මතකයට නැඟුණහ.

‘හෙනේ පැලේ ගිනි ගොඩක් ගැසූ විට අල්ලපු කන්දේ ඉන්න කොටියා එතැන සිට ගිනි තපිනවා. ඌට ගිනි ගොඩ ළඟට එන්න ඕන නෑ. දුටු පමණින් සෑහිලා ගිනි රස්නය විඳිනවා. කොටියා ගිනි රස්සෙනට හරිම කැමැතියි…’ මහ වනයට යාබද පැල් කොටයක දී ගොවියෙක් පැවසූ කතාව එල්ලාවල හාමුදුරුවන්ගේ දෑස් ඉදිරිපිටම සනාථ වූහ. මහ ගසේ අත්තක් මත නිදාගෙන සිටි කොටියා පැමිණ ඇත්තේ තේ උණු කිරීමට දැල්වූ ළිපේ ගිනි තැපීමටය. ඌ නිහඬව අත්තෙ නිදා සිටියේ ළිපෙන් දැල්වෙන රස්නෙ සනීපෙටය. අත්ත මත නිදා සිටි කොටියා පහළ නොබැලුවේය. ඒ අවසරයෙන් ක්‍රියාත්මක වූ පිරිස බඩු මලුත් රැගෙන ඉක්මන් ගමනින් ගස යටින් ඈතට ගියහ.

කොටින්ගෙන්, සර්පයින්ගෙන් අනතුරක් නොවී මහ කැලෑව මැද පුරාවිද්‍යා ගවේෂණ සිදු කරගෙන ගිය එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ අම්පාර බොක්ක බැද්ද මාදන හෙළ කන්ද නැඟීමට ගොස් දිවි මකුළු පොදියකට මැදි වී තිබුණහ. ප්‍රාචීන භූමියේ රජුගේ මව ගැන සඳහන් වන සෙල්ලිපියක් ගැන ලැබුණු තොරතුරු පසුපස හඹා ගිය උන්වහන්සේ ඇතුළු තරුණයන් පිරිස දැඩි වෙහෙසක් දරමින් මහ කැලෑවේ ගලින්, ගලට පැන සෙල්ලිපිය සොයාගෙන කන්ද මුදුනට නැග්ගහ. මුදුනට අඩි දහයක්, පහළොවක් තිබිය දී කුඩා තැන්නක් හමු විය. එම තැන්නෙ සිට පර්වතයේ තලව්වකට නැඟිය යුතු විය. ඒ දුර ගෙවීම දැඩි ලෙස අසීරු විය. ගලින්, ගලට පැන එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ විටෙක ගල් වළකට අත දමා වරුගෙන ඉහළට පැන්නහ. පසුව පහත් වූ උන්වහන්සේ ගල්වල කුමක්දැයි විපරම් කළහ.

‘පූරුවේ වාසනාවක්…’ තොල් මැතිරුණහ. උන්වහන්සේගේ ගත හිරිවැටුණහ. ගල්වළ තුළ දිවි මකුළු පොදියකි. එය දුටු තරුණයන් කෑගසමින් පහළට දිව්හ. එහෙත් කිසිදු ලෙසකින් කලබල නොවූ එල්ලාවල මෙධානන්ද හාමුදුරුවෝ මොහොතක් ගිමන් හැර ගල්ලෙන හා සිලා ලිපිය පරීක්‍ෂා කර සෙමෙන් පහළට බැස්සහ.

කුරක්කන් කරල් මෙට්ටයේ රැයක්…
තවත් කොටසක් ලබන සතියට…
තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment