සංස්කෘතියට කෙහෙතා අහෝ ශ්‍රී ලංකා මහතා!

506

ජනාධිපති රනිල්ගේ පාර්ශ්වයෙන් හා ඔහුගේ සමීපතමයන් විසින් ස්වර්ගය ලෙසත් රනිල්ගේ හා ආණ්ඩුවේ විවේචකයන් බවට පත්ව සිටින ස. ජ. බ. ජා. ජ. බ. ප්‍රමුඛ විපක්‍ෂවලට අනුව දේශපාලන නිරයකැයි හැඳින්වෙන රටක ජනතාවගෙන් බහුතර පිරිසක් අනේක විධ දුක් දොම්නස් විඳිමින් සෝක සංකා ඉවසමින් ගෙවන අඳුරු යුගයක අපි වල්මත්ව සිටිමු ද? විiුත් හා මුද්‍රිත මාධ්‍යවල බහුලව පළවන ප්‍රකාශවන නිෂේධනීය පුවත්වලින් ද සිදුකෙරෙන අනතුරු ඇඟවීම්, කිසිවකට සංවේදී නොවන පාලකයන්ගේ විප්‍රකාර විසූක දස්සන ආදියෙහි ද අඩුවක් නැත. සත්තකින්ම අද මේ රට යන්නේ කොහාට ද? මේ බොහෝ පුරවැසියන් ද විවිධ පීඩාවන් නිසා විපතට පත් ජනතාව විසින් ද නිරන්තරවම නඟනු ලබන ප්‍රශ්නයකි.

මූග්ධ දේශපාලන අගාධයක මුවවිට තෙක් ඇදී ගිය රටක ජනතාවගේ ජීවිතය පමණක් නොව ඔවුන්ගේ ජාතික හා සංස්කෘතික උරුමයන් ද මකබෑවී යන ආකාරය විස්තර කළ යුතු නැත. පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ජාතික ගීය විකෘති කිරීමේ පුවත දෙගොඩ තලා යන සංස්කෘතික පරිහානියේ ඛේදනීය නිදසුන බවට පත්ව තිබේ. සාහිත්‍යය කන්ඩ දැයි ඇසූ දේශපාලන පැනයම අද වෙනත් ආකාරයකින් එනම් සංස්කෘතිය කන්ඩ දැයි අසන අය ද සිටිති. සාහිත්‍යයවත් සංස්කෘතිය හා වෙනත් කවර හෝ සමාජ සාර ධර්මතා ආදියත් අනුභව කළ නො හැකිය. එහෙත් ඒ සියල්ල ශිෂ්ට සමාජයක යහපත් සංස්කෘතියක උත්තරීතර වටිනාකම් බව නම් නිසැකය. දේශපාලන කුණු රැකියාව වෙනුවෙන් ඒ බොහෝ දේවල් විකිණෙන බව ද නොරහසකි. එහෙත් ඒවා අමිල ආධ්‍යාත්මික හා ජාතික උරුමයන් ලෙසත් ජාතිකත්වය සංකේතවත් කෙරෙන ධන නිධාන ලෙසත් බුහුමනට පාත්‍ර වී තිබේ. සැබැවින්ම අද අප මුහුණ දී සිටින බිහිසුණුම ඛේදවාචකය වන්නේ ද ඒ සංස්කෘතික ප්‍රාග්ධනය විනාශ කෙරෙන දේශපාලන මෙහෙයුම්වලට හා විකටයන්ට ඒ සඳහා අවකාශ සලසා දීම නොවේද?

මේ වනවිටත් මිතුරු මෙන්ම පස මිතුරු කතිකාවකට නිමිති වී තිබෙන ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට තිබෙන චෝදනාව නොතකා හැරිය හැකි දෙයක් නොවන බව අප පළමුවෙන්ම සඳහන් කළ යුතුය. මේ ජාතික ගීය ගැන විවාද කිරීමට වඩා ජාතික විපත් ගණනාවක ජනතාව ගිලී සිටින අඳුරු යුගයකැයි පවසන පිරිසක් ද සිටිති. එහෙත් මේ නොසැලකීම හෝ නොතකා හැරීම හෝ ඒ අසංස්කෘතික විකටයන්ට පිනුම් ගැසීමට තවත් නිදහස් අවකාශයක් සලසා දීමකි. මේ විකෘති ගැයුම සඳහා තෝරා ගනු ලැබ ඇත්තේ උමාරා සිංහවංශ නමැති ගායිකාවකි. ඇය මේ වනවිට ද තමන්ගේ කටහඬින් ගැයූ ජාතික ගීය ඇසූ සියලු දෙනාටම කනගාටුව ප්‍රකාශ කර සමාව අයැදීමක් ද කර ඇත. ඒ ඇගේ මුහුණු පොතෙහි ය. උමාරාගේ ගායන ශෛලිය වඩාත් බටහිරට නැඹුරු වූවක් මෙන්ම ඇය මෙහිදී බටහිර ප්‍රචලිත ඔපේරා ශෛලිය අනුව ජාතික ගීය ගයා ඇති බව ද සංගීත ක්‍ෂේත්‍රයෙහිම ඇතැම් ප්‍රාමාණිකයන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත. එහෙත් ප්‍රශ්නය වන්නේ ජාතික ගීය හා සම්බන්ධ ජාතික සංස්කෘතික වටිනාකම් පිළිබඳව ඇයට හෝ ඇය ඒ සඳහා දායක කරගත් අයට අවබෝධයක් නොමැතිවීම හෝ ඔවුන් ඒවා ගැඹුරින් නොසැලකීම හෝ විය හැකිය.

මේ රටේ ප්‍රසිද්ධ රැඟුම් සඳහා මෙන්ම ගායන සංදර්ශන පිළිබඳව ද නීතිමය විධිවිධාන තිබෙන බව ඒ ක්‍ෂේත්‍රවල බොහෝ දෙනෙක් දනිති. ගැයුමකින්, රැඟුමකින් හෝ වෙනත් සෞන්දර්ය කලා නිර්මාණයකින් ජාති, ආගම් සංස්කෘතික හරයන් විකෘති කිරීම මෙන්ම අවමානයට ලක් කිරීම ශිෂ්ට සමාජය අනුමත නොකරයි. එසේ වුවද බුදුන් වහන්සේ, කිතු සමිඳුන් හා වෙනත් ආගමික නිර්මාතෘවරුන්ට හා ඒ පිළිවෙත්වලට ද නිගා කරන ස්වල්ප දෙනෙක් හෝ හැම සමාජයකම සිටිති. බටහිර මෙන්ම පෙරදිගට ද නිර්මාණ කලා නිදහස සම්බන්ධ වාරණයන් හා පාලනයන්ද පනවා ඇත්තේ ඒ ජාතික ප්‍රාග්ධනයේ මහිමය නිසාය.

ජේ. ආර්. ජයවර්ධන විසින් සම්මත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුවිශේෂ අවධාරණයක් වන්නේ ද අපේ ජාතික ගීය සම්බන්ධයෙන් දක්වා තිබෙන නීතිමය විධි විධානයන්ය.

“ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වැනි උපලේඛනයෙහි දැක්වෙන්නේය”

සංස්කෘතියට කෙහෙතා අහෝ ශ්‍රී ලංකා මහතා!
ආනන්ද සමරකෝන්

ඉංගිරිසියත් බටහිර ඇතැම ඇවතුම් පැවතුම් පිළිබඳවත් ඉඳුරා දත් ජයවර්ධන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ජාතික ගීය සම්බන්ධයෙන් එබඳු ගාම්භීර ප්‍රතිචාරයක් දක්වන්නේ ඇතැම් විට බටහිර දෙස බලා ගෙන විය හැකිය. එහෙත් ඔහුගේ ඒ සද්ක්‍රියාව අපට සංස්කෘතික උරුමයක් සුරක්ෂිත කර ගැනීමට හේතු විය.

අද උමාරාට අධිචෝදනා පත්‍රයක් එල්ල වන්නේත් ඇගේ ක්‍රියාව පසු පස අඳුරු සෙවණැලි තිබේද යන්නත් ආණ්ඩුවේ අවධානයට යොමු වූයේ ද ඒ ව්‍යවස්ථාමය කරුණ ද නිසා විය හැකිය. කුමක් වුවත් ජාතික ගීය ප්‍රතිව්‍යුහගත කරණයක් ගැන හෝ රැඩිකල් ගායන ශෛලියකින් සමාජ ගත කළ යුතුය යන ආකාරයේ මුග්ධ යෝජනා ඉදිරිපත් නොවීමෙන් ද තහවුරු වන්නේ අපගේ ජාතික සංස්කෘතික කුලුනු දෙදරා යෑමට ඉඩ නොදිය යුතු යැයි කල්පනා කරන කීපදෙනෙක් හෝ මේ ආණ්ඩුවෙහි ද සිටින බවය. මහාචාර්ය සුනිල් ආරියරත්න හා ආචාර්ය නන්දා මාලිනී මේ සංස්කෘතික ප්‍රාග්ධනය සුනිමල පරම ධනයක් බව මෙසේ වාග් සිතුවමට නංවා සාඩම්බර ගැයුමක් ලෙස සමාජ ගත කරති.

“මගේ දේශය – මගේ ජාතිය
මගේ ආගම මට ලබා දුන් ත්‍යාගයයි
චණ්ඩමරුතයේ නොසෙල්වෙන
චින්තනය නිවහල්”

අපේ ජාතික ගීය සම්බන්ධ කතිකාව තුළ නිධන් වී තිබෙන දුක් සුසුම් ද බොහෝය. ජාතික ගීයේ නිර්මාතෘවරයා යන බුහුමන හිමි වන සංගීතඥ ආනන්ද සමරකෝන් මෙම ගීතයට දැක්වූ අප්‍රමාණ ආදරය හා බුහුමන කෙතෙක්ද යත් දේශපාලනඥයන්ගේ හිතුවක්කාර නිගමනයන් නිසා ගීතයට සිදු කළ වෙනස්කම් දැක කම්පිතව ඔහු දිවි නසාගත් බවද බොහෝ දෙනෙක් දන්නා පුවතකි. 1940 දී එදා පාසල් ප්‍රසංගයක් (ගාල්ලේ මහින්ද විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කරද්දී) සඳහා මේ ගීතය රචනා කර ඇත්තේ සිසුන් තුළ දේශානුරාගයක් දැන වීමටය. පසුව 1951 දී එම ගීතය නිල ජාතික ගීය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. “නමෝ නමෝ මාතා” ලෙස ප්‍රථම වරට ලියූ පදමාලාව වෙනස් වූයේ සිරිමා බණ්ඩාරනායක පාලන සමයේ දී දෙන ලද මූග්ධ උපදේශයක් නිසා බවද කියති. (එයට හේතුව ඇත්තේ “න” අක්ෂරය හා වූ ඝන ශාස්ත්‍රයක් බවද සඳහන් වේ.) ජාතික ගීයේ ආරම්භය රටේ පාලකයන්ට අපලයක් බව කියමින් නිර්මාතෘවරයාගේ විරෝධය නොතකා එය ශ්‍රී ලංකා මාතා ලෙස වෙනස් කර ගායනා කළ බව ඒ දීර්ඝ කථාවේ සංක්ෂිප්තයයි. කුමක් හෝ හේතුවක් නිසා ඒ ගීයෙහි එන “මාතා” යන්න “මහතා” ලෙස ගායනා කිරීම මේ උභතෝකෝටිකයට හේතු වී තිබේ.

ඉන්දියාව භාරත මාතාව ලෙස හැඳින්වෙද්දී ලංකාව ලංකා මාතාව ලෙස අපි හරසර දක්වමු. ඒ ලංකා මාතාව සතු අභිමානය තඹයකට මායිම් නොකරමින් ඒ ගෞරවවාචී පදය “මහතා” බවට විකෘති කළ කිසිවෙක් තමන් විසින් සිදු කරන ලද සාහසික අපරාධයේ ප්‍රමාණය දනිත් ද? අද ක්‍රිකට් බලධාරීන්ට තිබෙන සමාජ විවේචන ඔවුන්ගේ කාමභෝගී චර්යාවන් අපට අදාළ නැත. ක්‍රීඩා ඇමැතිවරයාටත් උඩින් සිටින ධන නිල බල සහිත ඒ බලධාරීන්ට කුමන හේතුවක් නිසා හෝ අපේ ජාතික සංස්කෘතික වටිනාකම් මත පැහැරීමට ඉඩ දිය යුතු නැත. උමාරාගේ කටහඬ වමාරා කෑමක් බදු නීචයන්ගේ දීන ප්‍රයත්නය රටට හෙළි කරන ලෙස ද අපි සංස්කෘතික ඇමැතිවරයාගෙන් මෙන්ම අගමැතිවරයාගෙන් ද ඉල්ලා සිටිමු.

ජාතික ගීය යනු කිසියම් දේශයක ජනතාවගේ හදවත් තුළ නිනාද වන ජාතික අභිමානයේ රැව් පිළිරැව් දෙන මිහිරි වින්දනයකි. කෝටි දෙසීයකට නොඅඩු විවිධ ජන වර්ගවලින් ශෝභාවත් වූ භාරත දේශයම එකාවන්ව ගනු ලබන්නේ පෙරදිග මහා කවි තාගෝර් සූරීන්ගේ ආධ්‍යාත්මය තුළ නිනාද වූ කවියකැයි මම බොහෝවිට කල්පනා කර ඇත්තෙමි. සකු බසත් වංග බසත් සුසංයෝග කළ ඉන්දියාවේ ජාතික ගීය ද 1950 දී ඉන්දියාවේ ජනරජ ව්‍යවස්ථා සම්පාදකයන් විසින් අනුමත කරන ලද්දකි.

ජනගන මන අධිනායක ජයහේ
භාරත භාග්‍ය විධාතා
පන්ජාබ සින්ධු ගුජරාඨ මරාඨා
ද්‍රාවිඩ උත්තල බංගා
වින්ධ්‍ය හිමාවල ජමුනා ගංගා
උච්ඡල ජල ධී තරංගා

තව ශුභ නාමේ ඡාගේ
තව ශුභ ආසිෂ මාගේ
ගහේතව ජය ගාථා
ජනගන මංගල දායක ජයහේ
භාරත භාග්‍ය විධාතා
ජය හේ ජය හේ ජයහේ//

සංස්කෘතියට කෙහෙතා අහෝ ශ්‍රී ලංකා මහතා!

මේ වදන් හැම ඉන්දියානුවකුගේ ආත්මය තුළ සදාකාලීකව රැඳී තිබෙන්නක් බව නිසැකවම සඳහන් කළ යුතුය. එසේ වුවද අපේ ජාතික ගීය මෙන්ම ජාතික කොඩිය සම්බන්ධයෙන් වුවද එබඳු ප්‍රතිචාර දැක ගත හැකි ද යන්නත් විවාදාත්මක කරුණකි. බොහෝ විට ජාතිකත්වය හා ජාතික අභිමානය වැනි සංකල්ප පිළිබඳ විවිධ අසමතුලිත කියැවීම් ද තිබෙන රටක් ලෙස ලංකාව හඳුන්වන අය ද සිටිති. ඒ සියල්ලට ම හේතු වූයේ නිදහසින් පසු මෙරටේ භාරකාරත්වයට පත්වූ ස්වදේශීය නායකයන්ගේ බල අරගලයත්, පටු දේශපාලන අපේක්‍ෂාවනුත්ය. මේ පරිහානියේ ශීඝ්‍ර ගමන ජයවර්ධනගේ සිට මහින්ද රාජපක්‍ෂ දක්වාත් ඉනික්බිතිවත් දැකගත හැකිය. මේ එක් එක් පාලන යුගවල මෙරටේ ජාතික අනන්‍යතාව හා සංස්කෘතික වටිනාකම් පද්ධතිය බොහෝ විට මතුපිටින් පෙනෙන වංක ලෙස හුවා දක්වනු ලබන දේවල් බවට පත් වෙමින් තිබුණි. දේශපාලනය හුදු සංස්කෘතික වියමනක් නොවුවත් ඒ සංස්කෘතික රැහැන්පට බිඳී ගිය දේශපාලනයක විපාක අපට අත්විඳින්නට සිදුවිය. යුරෝපයේ වටිනාකම් මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම සංස්කෘතිය ද බොහෝ විට සමාජ හේතුවලට තුඩු දුන් බවද රහසක් නොවේ.

බටහිර සංස්කෘතිය සමග කේන්ද්‍රීය වසයෙන් නොබැඳුණු හර පද්ධතීන් මෙන්ම සමාජ වටිනාකම් සම්බන්ධයෙන් සිංහල බෞද්ධ ලෙස හැඳින්වෙන සමාජයට විවේචන තිබුණි. එබඳු චර්යාවන් සංකර” යන පදයෙන් හැඳින්විණි. ඇත්තටම ශ්‍රී ලාංකික අනන්‍යතාව යන්න අදටත් විවාදාත්මක වන අවස්ථා ද විරල නොවේ. සංස්කෘතික ආක්‍රමණ හා සංස්කෘතික අධිපතිවාදය විසින් ද පීඩාවට පත් කරන ලද ආධ්‍යාත්මය ගොඩ නැංවිය හැකි දේශපාලන ආමන්ත්‍රණයක් නොවීම ද බරපතළ අර්බුදයකි. 1972 හා 1978 යන ව්‍යවස්ථා දෙකෙහිම මේ වරද නිවැරදි කර නොමැති බවද දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

අද අප මුහුණ දී සිටින මේ සංස්කෘතික කඩා වැටීම් සියල්ල දුෂ්ට දේශපාලනයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුවත් නිසා බවද බොහෝ විට කියනු ඇසෙයි. 1978 ව්‍යවස්ථාව සාරධර්ම පද්ධතියේ මෙන්ම සදාචාර මූලධර්ම ද බරපතළ ලෙස කඩු පට්ටම් කර දැමීමට විවෘත කළ දොරටුවක් ලෙස ද සමහරු දකිති. එහෙත් අලුත් ව්‍යවස්ථාවක් සම්මත කිරීම අද තිබෙන අභියෝගයකි. මේ වනවිට ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයෙහි මුල්තැන හිමිවී ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට බව පෙනේ. ලබන සතියෙහි ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ද ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීමක් සිදුවන බව මාධ්‍යවල සඳහන් විය.

මේ අතර ජාතික ගීය විකෘති කිරීම සම්බන්ධයෙන් ජාතිවාදී දෘෂ්ටි කෝණයකින් ක්‍රියා කිරීමේ ප්‍රයත්න ගැන ද වාර්තා විය. මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් සඳහන් කරන පරිදි ලාංකික සමාජයේ ආරම්භය කිසිසේත් ජාතිවාදී හෝ ආගම්වාදී වී නොමැත. උන්වහන්සේ පවසන්නේ මෙරටේ පළමු මහජන සභාව ලෙස සැලකිය හැක්කේ එදා මිහිඳු මාහිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනාව බවය. කිසිදු භේදයකින් තොරව විවිධ ජනතාවක් ඒ අවස්ථාවට සහභාගි වී ඇති බවද උන්වහන්සේගේ අවධාරණයකි. ඒ දහමත් ඉන් පෝෂණය වූ සංස්කෘතියත් කිසි විටෙක ජාතිවාදයට උදව් නොකරන බවද මා හිමියන් පවසති. කුමක් වුවත් යළි මේ රට තුළ සංස්කෘතික අන්තවාදයකට ඉඩ නොතැබිය යුතු බවද ජාතික හා සංස්කෘතික වටිනාකම් අගය කරනු ලබන පුරවැසියන්ගේ අපේක්‍ෂාවය. එසේම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් ද වේ. එනම් බාල ප්‍රසිද්ධිය ලබාගැනීමට හෝ මුදල් වෙනුවෙන් හෝ එසේත් නැතිනම් සිය නරුම නග්නත්වය නිසා හෝ ආගමික හා ජාතික හරයන්ට අවමන් කරන මුග්ධයෝත් සිටිති. සංස්කෘතිය ඔළුවෙන් හිටවීමට යෝජනා කරන එබඳු අපතයන්ට නම් සමාවක් දිය යුතු නැත. කුමක් වුවත් ලාංකීය සංස්කෘතිය එහි සමාරම්භයේ සිට ම මානව වටිනාකම් පද්ධතියක් අනුව ගොඩ නැඟුණු බවත් සමාජ දේශපාලන පරිහානියට හසුවී බිඳ වැටුණු ආකාරයත් අප තේරුම් ගත යුතුය. සංස්කෘතික මිනිසා යනු සාමූහික පැවැත්ම අගයන්නෙකි. එම සාමූහිකත්වයට හතුරුවන සමාජ ප්‍රතිචාර වටහා ගැනීම ප්‍රබුද්ධ සමාජයක ලක්ෂණයකි. සංස්කෘතික ආඪ්‍යත්වය යනු එයයි. දේශපාලන වසයෙන් ගරා වැටුණු සමාජයක සංස්කෘතික දරිද්‍රතාව දුරලීම ද පහසු කාර්යක් නොවේ. කුමක් වුවත් ශිෂ්ටාචාරය හා නිර්මාණශීලී ගුණය අනතුරකට ලක්ව මියැදෙමින් තිබෙන යුගයක සංස්කෘතික උරුමයන් සමග නරුමයන් ඔට්ටු ඇල්ලීම පුදුමයක් ද නොවේ. ඒ අවබෝධය තුළින් සංස්කෘතික හර පද්ධතීන් සුරැකීම අද යහපත් පුරවැසියන්ගේ ද වගකීමකි.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment