කතුන් වෙනුවට කිතුල් රට යවා ඩොලර් හොයන හැටි…

921

රටේ කිතුල් ගස් හරියට කළමනාකරණය කළොත් දවසකට රුපියල් මිලියන 800ක් හොයන්න පුළුවන්
පවුල් 50,000ක් නඟා සිටුවන්නට කිතුල් වගාවට රජයේ සහාය ලබාදෙන්න

රත්නපුර යනු මහ පොළොව කැණ අගනා මැණික් මතු කරගැනීම පිණිස ඉතිහාසයේ පටන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයක්ය. එම ප්‍රසිද්ධිය මෙරටට පමණක් සීමා වන්නේ ද නැත. ඒ බව දේශ දේශාන්තරයන්හි පවා ප්‍රකටය. එබැවින් රත්නපුර කේන්ද්‍ර කොට පවත්වාගෙන යන මැණික් පතල් කර්මාන්තය හේතුවෙන් වාර්ෂිකව මෙරටට විශාල විදෙස් විනිමයක් ලැබෙන අතර එහි ගෞරවය පතල් කම්කරුවාගේ සිට මැණික් ව්‍යාපාරිකයා දක්වා වූ යන්ත්‍රයට ජීවය දෙන සියල්ලන්ටම හිමිවිය යුතුය.

රත්නපුරය කේන්ද්‍ර කොටගත් මැණික් කර්මාන්තය එලෙස ක්‍රියාත්මක වන අතර රටට විදේශ විනිමය ළඟා කරගත හැකි “අලුත් ඉල්ලමක්” මේ වන විට රත්නපුරෙන් මතුවී ඇත. එහි විශේෂත්වය වන්නේ මහ පොළොව මතුපිට එම “ඉල්ලම” පිහිටා තිබීමය. මේ වන විට ද මැණික් පතල් කර්මාන්තයට අමතරව විශාල පිරිසක් මෙම අලුත් ඉල්ලම තම තමන්ගේ ජීවිකාව බවට පත් කරගෙන තිබෙන අතර ඒ හරහා විශාල පිරිසක් මේ වන විට ද රටට බරක් නැති හොඳ ජීවන තත්ත්වයක් දක්වා ගමන් කර ඇත. එපමණක් නොව ඔවුන් ජාතික ආර්ථිකය ඉහළ නැංවීම පිණිස දැවැන්ත දායකත්වයක් ලබාදෙමින් ඇත.

මහ පොළොව මතුපිට වැවෙන “කිතුල් ගස” මුල් කරගනිමින් පැන නගින එම අලුත් ඉල්ලමේ ඇත්ත කතාව පිරිසිදු පැණි හකුරු මෙන් මිහිරිය. රසවත්ය. එපමණක් නොව මේ වන විට ද එය රටට විදේශ විනිමය රැගෙන එන සාර්ථක කර්මාන්තයක් බවට ද පත්ව ඇත. එම මිහිරි ආරංචියේ සුලමුල සොයා වැඩීම පිණිස ඉකුත් දින අප රත්නපුර ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ. රත්නපුර නගරයට ආසන්නව පිහිටි කුරුවිට කර්මාන්ත පුරය අපගේ ගමනාන්තය බවට පත්විය. එහි ළඟා වූ අපට දැකගත හැකි වූවේ ඉතිහාසයේ එතෙක් මෙතෙක් කලක් දේශීය ගෘහ කර්මාන්තයක්ව පැවති කිතුල් ආශ්‍රිත නිෂ්පාදනයන්ට නව මුහුණුවරක් ලැබී ඇති ආකාරයකි. නවීන යන්ත්‍ර සූත්‍ර ආදියෙන් සන්නද්ධ එම කර්මාන්ත භූමිය කලාප කීපයකට වෙන් කොට ඇති ආකාරයත් ඒ අනුව තෙල්දිය එකතු කිරීමේ මධ්‍යස්ථානයක්, එලෙස එකතු කරනු ලබන තෙල්දිය ගබඩා කර තැබීම පිණිස ඉදිකරන ලද විශාල ශීතාගාර දෙකක්, නවීන යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් පැණි හකුරු නිෂ්පාදනය කරන තවත් ස්ථානයක් සහ මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ ඉල්ලුමක් පවතින පිරිසිදු කිතුල් රා නිෂ්පාදනය කරනු ලබන තවත් ස්ථානයක් ආදී වශයෙන් දැක ගැනීමට ලැබුණු අතර මුළුමනින්ම කාර්යබහුල වැඩ බිමක වැඩ බිමක සිරිය ගත් එම ස්ථානය වෙත අප ළඟා වන විටත් එහි දෛනික නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙන ආකාරය දැකගත හැකි වූහ.

කතුන් වෙනුවට කිතුල් රට යවා ඩොලර් හොයන හැටි…
පර්යේෂණාගාරයේ දර්ශනයක්

යමක් දුටු මතින් සෑහීමකට පත්විය නොහැක. සිදුවෙමින් පවතින දේ පිළිබඳ මනා වටහා ගැනීමක් පිණිස සිදුවෙමින් පවතින ක්‍රියාවලිය පිළිබඳ යම් කතිකාවක් ඇති කරගත යුතුය. රට තුළ ඉබේ වැවෙන ශාකයක් වන කිතුල් ආශ්‍රිත නිෂ්පාදනයට ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ඉහළ වටිනාකමක් හිමිකර දීමටත් සම්ප්‍රදායික නිෂ්පාදන ක්‍රියාවලියෙන් බැහැරව නවීන තාක්ෂණික ක්‍රමවේද සහ පර්යේෂණ ඔස්සේ යමින් කිතුල් කර්මාන්තයට නව මාවතක් විවර කර දීමටත් සමත් වූ “ඇග්‍රි දේශීය” පුද්ගලික සමාගමේ නිර්මාතෘ ප්‍රභාත් මහේෂ් ද අල්විස් මහතා සහ අප අතර සුහද කතා බහක් ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය. තමන් කිතුල් ගස ආශ්‍රිත ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිණිස යොමු වූ ආකාරයත් එය ආරම්භ කර වසරක් වැනි කෙටි කලක් තුළ ජාත්‍යන්තර වෙළෙඳ පොළ වෙළෙඳපොළ ඉහළින්ම දිනා ගැනීමට හැකි වූ ආකාරයත් පිළිබඳ විස්තර කළ ප්‍රභාත්ද අල්විස් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම වෙළෙඳපොළ තවදුරටත් ව්‍යාප්ත කිරීම තුළ දිනකට රුපියල් මිලියන 800ක ආදායමක් විදේශ විනිමය ලෙස රටට ගෙන ආ හැකි බවය. එහිදී ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඇග්‍රි දේශීය සමාගමේ නිර්මාතෘ ප්‍රභාත් ද අල්විස් මහතා මෙලෙස අදහස් දක්වන්නට විය.

“මුළුමනින්ම විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ. ඉන් අදහස් වෙන්නේ නෑ දේශීය වෙළඳපොළ තුළ මේ නිෂ්පාදන අලෙවි වෙන්නේ නැහැ කියල. දේශීය වශයෙන් අපේ නිෂ්පාදන වලින් 20% ක පමණ ප්‍රමාණයක් දැනට අපි මෙරට වෙළෙඳපොළට නිකුත් කරමින් ඉන්නව. ජාත්‍යන්තර වෙළෙඳපොළ ගත් විට එංගලන්තය, කැනඩාව, නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව, ජපානය සහ කොරියාව කියන රටවල් තුළ මේ නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනව. අපේ අරමුණ තමයි කිතුල් තෙලිජ්ජ වලට ඉහළම අගයක් එකතු වන ආකාරයෙන් අපේ නිෂ්පාදන කටයුත්ත සිද්ධ කරගෙන යෑම. ඒ ඉලක්කය කරා ළඟා වෙන්න නම් ජාත්‍යන්තරයත් සමග සෘජුව සම්බන්ධ විය යුතුයි. අන්න ඒ දැවැන්ත ක්‍රියාවලිය තමයි මේ කර්මාන්ත ශාලාව මුල්කරගෙන ක්‍රියාත්මක කරන්නේ …”

මීට වසරකට පමණ පෙර ආරම්භ කරන ලද තම ව්‍යාපාර කටයුතු පිළිබඳව විස්තර කරමින් ප්‍රභාත් ද අල්විස් මහතා එසේ සඳහන් කරන්නට විය. කෙටි කලක් තුළ ඉහළ විදේශ විනිමයක් රට තුළට ගෙන්වීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කළ ඔහු ඉන් අනතුරුව වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අභාවයට යමින් පැවතී කිතුල් තෙලිජ්ජ ආශ්‍රිත නිෂ්පාදන පිණිස තමන්ගේ අවධානය යොමු ආකාරය පිළිබඳවත් ඒ ඔස්සේ යමින් නව දැක්මක් සහිතව කිතුල් කර්මාන්තයට නැවත ජීවය දුන් ආකාරයත් පිළිබඳවය.

“කිතුල් ගස කියන්නේ ඉහළ ආදායම් උපයන්න පුළුවන් ශාක විශේෂයක් වුවත් අපේ රටේ කර්මාන්තයක් ලෙස ඊට නිසි වටිනාකමක් ලැබිලා තිබුණේ නැහැ. ඉබේ වැවෙන ශාකයක් ලෙස සලකල කුඩම්මගෙ සැලකිල්ලක් තමයි මෙතෙක් කලක් කිතුල් ගහට දීලා තිබුණේ. වෙනත් වචනෙකින් කිව්වොත් සම්ප්‍රදායික කර්මාන්තයක් ලෙස තමයි දිගින් දිගටම මේක පැවතුණේ. අපි එහෙම මානසිකත්වයක ඉන්න වෙලාවක ලෝකයේ අපිව පහු කරල වේගවත් ගමනක් ආරම්භ කළා. ඒ අය අපි හිතලවත් නැති පැති ගැන හොයන්න ගත්ත. එතැනදි ඔවුන් සොයා ගත්ත දෙයක් තමයි අනාගත ලෝකය කැමැත්තක් දක්වන්නෙ මාංශ නොවන මාංශ අනුභවය පිණිස සහ ශාක වලින් ලබා ගන්නා පිරිසිදු පානයන් පානය කිරීම පිණිස කියල. ඒ අනුව යමින් දියුණු රටවල් දේ සඳහා අවශ්‍යවන වෙළෙඳපොළ නිර්මාණය කරන්න ගත්ත. ඒ වෙළෙඳපොළ මේ වන විටත් වාර්ෂිකව 32්‍ර වේගයෙන් ප්‍රසාරණය වෙනව. ඒකෙන් අදහස් වෙන තව දෙයක් තමයි ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තරය තුළ දැවැන්ත වෙළඳපොළක් නිර්මාණය වෙමින් පවතිනව කියන එක. අන්න ඒ ලෝක ප්‍රවණතාව පිළිබඳව නිතරම අවධානයෙන් පසු වූ පුද්ගලයෙක් වශයෙන් මම තරමක් අසීරු සහ අවදානම් තීරණයක් ගත්ත අපේ රටේ වැවෙන කිතුල් ගස ආශ්‍රිත මද්‍යසාර නිෂ්පාදනය වන කිතුල් රා ජාත්‍යන්තරයට හඳුන්වා දීම තුළ රටට ලොකු විදේශ විනිමයක් ගෙන්විය යුතුයි කියල…

කතුන් වෙනුවට කිතුල් රට යවා ඩොලර් හොයන හැටි…
ප්‍රභාත් මහේෂ් ද අල්විස් මහතා

නමුත් එය මද්‍යසාර පානයකට එහා ගිය ගුණාත්ම පානයක් ලෙසත් සියයට සියයක් ස්වභාවික පානයක් ලෙසත් ලෝකයට හඳුන්වා දීම තමයි මගේ මූලික ඉලක්කය බවට පත් වුණේ. ඒ දැවැන්ත ක්‍රියාවලිය මුදල් වැය කළ පමණින් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා තවත් පාර්ශ්ව කීපයක සහයෝගය, එකඟතාවය අවශ්‍ය වුණා. අන්න එතැන දී තමයි මගේ සහායට අයි. ටී. අයි ආයතනය ඉදිරිපත් වෙන්නේ.

මේ පිළිබඳව අය.ි ටී. අයි ආයතනය සමග සාකච්ඡා කරන්න ගියාට පස්සේ ආචාර්ය පද්මසිරි රණසිංහ මහතා මට යෝජනාවක් දුන්න ඔවුන් සතු තාක්‍ෂණය යොදාගෙන පිරිසිදු තෙල්දිය භාවිත කරමින් රා නිෂ්පාදනය කරල කෑන් වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන්න.”

එම තාක්‍ෂණය හා දිරිගැන්වීම මත සුරාබදු දෙපාර්මේන්තුවේ නියමයන්ට යටත්ව තම නිෂ්පාදනය ලෝකයට හඳුන්වාදෙන අප කතා නායකයා ඒ සඳහා දැවැන්ත යාන්ත්‍රණයක් මහ පොළොව මත ක්‍රියාත්මක කර ඇත්තේ ඉන් අනතුරුව ය. එහිම දිගුවක් ලෙස මෙරට කිතුල් ශාකය විසින් මුදාහරින ස්වභාවික සාරය පැණ,ි හකුරු, බවට පත් කිරීමේ මහා පරිමාණ ව්‍යාපාරියක් ද ආරම්භ කරන හේ ඒ සියලු කටයුතු යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලබන්නේ නූතන ලෝකය පිළිබඳ කල්තබා ලත් අවබෝධය අනුව යමින් ය.

“අපි දැනටමත් අපේ නිෂ්පාදන ලෙස කෑන්වල අසුරන ලද පිරිසිදු කිතුල් රා ඒ වගේම කිතුල් පැණි සහ මුදවන ලද කිතුල් පැණි වශයෙන් ප්‍රධාන නිෂ්පාදන තුනක් ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කරමින් සිටිනවා. ඒ ඒ නිෂ්පාදනයන්ට අදාළ යන්ත්‍ර සූත්‍රවලින් වැඩි ප්‍රමාණයක් දේශීය සමාගම්වල නිෂ්පාදනයන් වීමත් විශේෂත්වයක්. එය රටක් ලෙස අපි ලබාගත් ජයක් ලෙස නම් කරන්නත් පුළුවන්. ඊට අමතරව අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ගත්තොත් ගම ඇතුළට ගිහින් තෙල්දිය එකතු කරන නිලධාරියාගේ ක්‍රියාවලියේ සිට එම තෙල්දිය ආශ්‍රිතව ඒ ඒ නිෂ්පාදන සිදුවන ක්‍රියාවලිය දක්වා සෑම දෙයක්ම පරිගණක ගත ජාලයක් මගින් වෙනම ම නිරSSCෂණය වෙනවා. ඒ සඳහා වෙනම මෘදුකාංගයක් ආයතන තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ මගින් කිතුල් මදින්න ගෙන් තෙල්දිය ටික ගන්න වෙලාව, කොපමණ ප්‍රමාණයක් ගන්නව ද කියන දේ ඉඳල එහි ගුණාත්මක බව ඇතුළු සියලු දේ මේ ස්ථානයේ සිට දැකබලා ගන්න පුළුවන්. ඉන් අනතුරුව එලෙස රැගෙන එන සෑම තෙල්දිය ලීටරයක් ම පර්යේෂණාගාරයට යොමු කරල ඒ ඒ සාම්පල් පිළිබඳ තත්ත්ව සහතික ලබා ගන්නවා. ඉන් අනතුරුව ඒ තෙල්දිය ශීතාගාර ගත කරල අපේ නිෂ්පාදන අවශ්‍යතාවයන් පිණිස වරින් වර යොදා ගන්නවා.”

එම නිෂ්පාදන ක්‍රියාවලීන් පිළිබඳ විස්තර කිරීම පිණිස මෙවැනි ලිපියක් ප්‍රමාණවත් නැත. තාල වර්ගයේ ශාකයක් වන කිතුල් ගස ප්‍රදානය කරනු ලබන තෙල්දිය ආශ්‍රිත නිෂ්පාදන කීපයක් එම කර්මාන්ත ශාලාව තුළ නිපදවෙන ආකායර නිරSSCෂණය විය. එම නිෂ්පාදන අලෙවිය පිණිස ජාත්‍යන්තරයට යොමු කිරීමේ දී කැනඩාව තුළ ශ්‍රී ලාංකික කිතුල් නිෂ්පාදන ජනප්‍රිය කරවීම පිණිස දෙරට අතර අවබෝධතා ගිවිසුම් ආදිය පවා අත්සන් කරන්නට සිදුවී ඇත. කෙසේ වුවද දූපතක් ලෙස අප තව දුරටත් හුදකලාභාවයට පත් නොවන්නට නම් මෙවැනි නව නිෂ්පාදන මාදිලි තෝරාගත යුතු බව මනාව පසක් වන්නේ කොළඹින් දුර බැහැර මෙවැනි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙමින් පවතින ආකාරය සියැසින් දකින විට ය. අපගේ කතාබහ නිමා කරන්නට මත්තෙන් ඇග්‍රි දේශීය සමාගමේ නිර්මාතෘ ප්‍රභාත් මහේෂ් ද අල්විස් මහතා සඳහන් කර සිටියේ කිතුල් තෙල්දිය ආශ්‍රිත නිෂ්පාදන තුළින් මෙරට පවුල් 50,000ක් නඟා සිටුවිය හැකි බවත් ව්‍යාපාරිකයෙක් ලෙස එය තමාට පමණක් කළ නොහැකි බැවින් රජයේ අවධානය කිතුල් කර්මාන්තය සඳහා වැඩි වැඩියෙන් යොමු විය යුතු කාලය එළැඹ ඇති බවත්ය.

රුවන් ජයවර්ධන
ඡායාරූප – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment