නන්නත්තාර වූවන් අතර රම්බා

318

ජයන්ත චන්ද්‍රසිරිගේ සෑම නව නිර්මාණයක් ම මා හද තුළ බලාපොරොත්තු දල්වන්නෙකි. ඒ නන්නත්තාර වූ අප වෙනුවෙන් ඔහු නිරන්තරයෙන් ම නව යථාර්ථයක් නිර්මාණය කර දෙන බැවිනි. ‘නන්නත්තාර’ මුල් කොටස් කිහිපය පමණක් වුව ද ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණකරුවකු වශයෙන් තවමත් නන්නත්තාර වී නැති බව පසක් කරලන්නෙකි.

කොළඹ නගරය තුළ නන්නත්තාර වූ තරුණ තරුණියන් පිරිසක් සමඟ එක ම චමරියක වසන රම්බා ඉහළ පැළැන්තියේ ගණිකාවකි. ඇය, ඇය ඇසුරු කළ ඉතාමත් ධනවත් තරුණයකු සමඟ විවාහ වන්නේ තමා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයක කේන්ද්‍රස්ථානය වූ පවුලකට සම්බන්ධ වීමට යන බවක් දැනගෙන නොවේ. තමා මෙන් ම ඒ මත්ද්‍රව්‍ය ජාලය තුළ සිර වී සිටින සිය ගණනක් අසරණයින් ද, ඒ පවුලට ම අයත් වන තම සැමියා ද එහි සිරකරුවන් බව ඇය පසක් කර ගනී. රම්බා ද අයත් වන ඒ විකෘති පවුලේ අය මෙන් ම එම ජාලයට අසුව දැඩි පීඩාවට පත් ව සිටින අය ද ඉන් ගැලවීමට රම්බාගේ පිහිට සොයන්නේ ඇයි? එපමණක් ද නොව චමරියේ වසන නන්නත්තාරයින් ද ඇය ව සොයා ගැනීමට ඇයට, පිහිටක් වීමට එතරම් වෙහෙසෙන්නේ ඇයි? ඒ ඇගේ කවර වූ ගුණයක් නිසා ද?

නන්නත්තාර වූවන් අතර රම්බා

නූතන බටහිර දේශපාලන දර්ශනයට ප්‍රබල ලෙස ම බල පෑ දාර්ශනිකයා ලෙස සැලකෙන්නේ තෝමස් හෝබ්ස් (1588-1679) ය. ඔහුට අනුව මිනිසා නරක ය. මිනිසා තුළ ඇත්තේ ආත්මාර්ථය, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, ලේ පිපාසය වැනි දුර්ගුණයන් පමණෙකි. මිනිසාගේ හකුපාඩා අතරින් නිරන්තරයෙන් ම ලේ වැගිරේ. හෝබ්ස්ගේ දේශපාලන දර්ශනය වූයේ මෙවන් අවගුණයන්ගේ එකතුවක් වූ මිනිසා පාලනය කිරීමට ආයතන (systems) ඇති කළ යුතු ය යන්න ය. බටහිර ඇති වූ සියලු ම දේශපාලන දර්ශනයන් හි පදනම ද එය යි. එය ෆැසිස්ට්වාදයට, මාක්ස්වාදයට මෙන් ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට ද එක ය. එමෙන් ම නන්නත්තාර ටෙලි නාටකයේ එන මත්ද්‍රව්‍ය ජාලයේ නායකයා ලෙස සිටින ඩැඩී බොස්ගේ පාලනයට ද එය පොදු ය. ඩැඩී බොස්ගේ නිෂ්පාදන ජාලය තුල ‘systems’ එක මැනවින් පාලනය වේ. ඒ තුළ සේවාවන්, රැකී රක්ෂාවන්, සේවා පහසුකම්, නිවාස පහසුකම්, රෝහල්, වෛද්‍ය සේවාවන්, උසාවි, හිරගෙවල් පමණක් නොව පරියේෂණ මධ්‍යස්ථාන පවා ඇත. අපේ අය ද පහුගිය කාලයේ සිස්ටම් චේන්ජ් කිරීමට අරගල කළේ මේ දේශපාලන දර්ශනය දැන හෝ නො දැන හෝ විය හැක.

එසේ නම් ඩැඩී බොස්ගේ ලෝකය තුළ වසන්නන් නොලබන්නේ මොනවා ද? එහි සිරකරුවන්, පවුලේ ලේලිය වූ රම්බා වෙත නැඹුරු වන්නේ ඇයි?. තේරෙන නොතේරෙන කාලයේ දීම මවු සෙනෙහස පවා අහිමි වූ, ගණිකාවක ලෙස නන්නත්තාර වූ රම්බා ගෙන් ඔවුන් අපේක්ෂා කරන ආදරය කරුණාව හා සුරක්ෂිත භාවය ඔවුනට ලබා දීමට ඇය සමත් වේ ද?

මම තෝමස් හෝබ්ස්ගේ දේශපාලන දර්ශනය සපුරා ප්‍රතික්ෂේප කරමි. එහි ම විපරිණාමයක් වූ චාර්ල්ස් ඩාර්වින්ගේ පරිණාම වාදය මෙන් ම ස්වභාවික වරණය ද බොද්ධයකු වූ මම ප්‍රතික්ෂේප කරමි. ඒ මෙන් ම ඒ ඔස්සේ ම ගොඩ නැඟී ඇති “survival of the fittest” යන ප්‍රවාදය ද ප්‍රතික්ෂේප කරමි. (මෙහි දී මා fittest යන්නෙන් අදහස් කරන්නේ ශක්තිමත් යන්න ය.)

මා ‘නන්නත්තාර’ නරඹන්නේ මෑතක දී බටහිර රටවල ප්‍රබල අවධානයට ලක් වූ කෘතියක් වන Rutger Bergman නමැති ලේඛකයාගේ ‘Human kind – A Hopeful History’ නම් වූ කෘතිය කියවමින් සිටි අතර වාරයේ ය.

ඉතිහාසඥයකු වූ බ්රෙග්මාන් ඩාර්විනීය පරිණාමවාදය සපුරා ප්‍රතික්ෂේප නො කරන නමුදු ඔහු මානවයාගේ පැවැත්මේ මෙන් ම සාර්ථකත්වයේ ද රහස ලෙස දකින්නේ ‘survival of the fittest’ යන ප්‍රවාදය තුළින් නොව ‘survival of the kindest’ යන නව ප්‍රවාදය තුළ ය. මේ සඳහා අවශ්‍ය ඓතිහාසික මෙන් ම විද්‍යාත්මක සාක්ෂි රාශියක් බ්රෙග්මාන් සිය කෘතිය තුළින් ඉදිරිපත් කරයි. මනුෂ්‍යයාගේ අන් සියලුම වානරයින් හා විලෝපීයයන් අතරේ අතිසාර්ථක ලෙස සුරැකීමේ හා වැජඹීමේ රහස ලෙස බ්රෙග්මාන් දකින්නේ ඔවුන් සතු වූ කරුණාව හා මෛත්‍රිය යි. බෞද්ධයින්ට මෙය කිසිසේත් ආගන්තුක වූ මතවාදයක් නොවේ.

ජයන්ත චන්ද්‍රසිරි සිය සියලුම නිර්මාණයන් තුළින් පෙන්වා දුන්නේ මනුෂ්‍යයා තුළ ඇති ආදරයේ හා කරුණාවේ ප්‍රබල බව යි. නන්නත්තාර වූ සියල්ලෝ රම්බාගෙන් ඉල්ලන්නේ කුමක් ද? ඒ සඳහා ඔවුන් රම්බා තෝරා ගන්නේ ඇයි? ඒ ඔවුන්ට රම්බා සතු වූ ඒ ගුණය ඉවෙන් මෙන් හැඟෙන බැවිනි.

ඒ ඇයට අපගේ සංස්කෘතිය විසින් උරුම කරදෙනු ලැබූ අතිප්‍රබල වූ මෛත්‍රිය හා කරුණාව යි.

මහාචාර්ය වසන්ත දේවසිරි

advertistmentadvertistment
advertistmentadvertistment