බස් රියකදී බන්ධනාගාර නියාමකට පහර දුන් හරක්කටාගේ ගෝලයෝ 3ක් අත්අඩංගුවට

80

ගාල්ල බන්ධනාගාරයේ රාජකාරි කරන බන්ධනාගාර නියාමකවරයකුට වැලිගම නගරයේ මඟී බස් රථයකදී අමානුෂික ලෙස පහර දී වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන

හරක්කටා නමැති පාතාල නායකයාගේ ගෝලයන් තිදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (13 දා) අත්අඩංගුවට ගෙන ඇත.

බන්ධනාගාරගතව සිටින පාතාල මැරයන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත සිය ගෝලබාලයන් හරහා තහනම් භාණ්ඩ රැගෙන යෑම වැළැක්වීමට මෙම බන්ධනාගාර නියාමකවරයා දැඩි ලෙස කටයුතු කර ඇත. මේ හේතුව නිසා එම නියාමකවරයා සමඟ උරණ වී සිටි පාතාල සාමාජිකයන් වසින් ඔහු මෙසේ ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

ගාල්ල බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරි කළ ආර්. එම්. එච්. එස්. ප්‍රබෝධ නමැති මෙම නියාමකවරයා පාතාල මැරයන්ගේ ප්‍රහාරයට ලක්වන්නේ ඉකුත් 05 වැනිදා සවස සිය රාජකාරි නිමවා බස් රථයක යමින් සිටියදී ය.

වැලිගමදී එම බස් රථයට ඇතුළු වූ පාතාල මැරයන් 6 දෙනකු නියාමකවරයාට අමානුෂික ලෙස පහර දී ඇත. ඒ වන විට පාතාල මැරයන් සතුව ටී. 56 අවියක් ද තිබී ඇති අතර ඔවුන් උත්සාහ කර ඇත්තේ නියාමකවරයාට වෙඩි තැබීමටය.

එහෙත් බස් රථය තුළ සිටි මඟීන් පාතාල මැරයන්ට එරෙහිව නැඟී සිටි අතර ඔවුන්ගේ විරෝධය හමුවේ මැරයන් පලාගොස් තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය, විමර්ශන ආරම්භ කළ අතර සැකකරුවන්ගෙන් තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලදි.

එම සැකකරුවන් අවුරුදු 19, 23, 30 වයසේ පසුවන පුද්ගලයන් වන අතර ප්‍රහාරය සඳහා මැරයන් පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් පාතාල මැරයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. මිදිගම, අහංගම, වැලිගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් මෙම පාතාල මැරයන් මාතර අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment