ඔස්ටේ්‍රලියානුවන්ට එරෙහිව වසර 30කට පසු  – ශ්‍රී ලංකාව අද එක්දින තරගාවලි ජයක් අබියස…

530

ප්‍රබල ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සහ සත්කරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රියාත්මක තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ තීරණාත්මක සිව්වැනි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පස්වරු 2.30ට ආරම්භ වේ.

මේ වනවිට තරගාවලියේ තරග 2ක් ජයගනිමින් 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී සිටී. ඒ අනුව අද පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණහොත් දෙරට අතර එක්දින තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවන අතර එය වසර 30කට පසු ඔස්ටේ්‍රලියානු කණ්ඩායමකට එරෙහිව ලබන ඓතිහාසික එක්දින තරගාවලි ජයක් ලෙස වාර්තා පොත් අතරට එක් වේ.

ශ්‍රී ලංකාව සත්කරකත්වය දරමින් ඔස්ටේ්‍රලියානුවන්ට එරෙහිව අවසන් වරට එක්දින තරගාවලියක් ජය ගැනීමට සමත්ව ඇත්තේ 1992 වසරේදීය. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් වාර්තා කළ එම එක්දින තරගාවලි ජයග්‍රහණයෙන් පසු මේ දක්වා මෙරටදී ඔස්ටේ්‍රලියානුවන්ට එරෙහිව එක්දින තරගාවලියක ජයග්‍රහණය සැමරීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජය ගැනීමට හැකිවුවහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරව තිබියදීම ශූරතා කුසලානය තමන් සතුකර ගැනීමට අවස්ථාව උදාවේ.

කෙසේ වෙතත් මේ වනවිටත් තරගාවලියේ වැඩි වාසි ශ්‍රී ලංකාව දෙසට නැඹුරුව ඇති හෙයින් තරගාවලිය පිළිබඳ වැඩි බලාපොරොත්තු තබා ගැනීමට සංචාරක කණ්ඩායමට අද තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ. මේ වනවිට ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකුම ආබාධවලට ගොදුරු වී ඇති හෙයින් තෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම අද තරගයට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමද අද තරගය සඳහා වෙනසක් නොමැතිව ප්‍රවිශ්ට වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර පෙර තරගයේදී ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස්ට අද තරගය යම් හෙයකින් අහිමි වුවහොත් ඒ වෙනුවට දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට කැඳවීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩර්සේ

ඔස්ටේ්‍රලියානු කණ්ඩායම -ඒරන් ෆින්ච්, ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, මානස් ලබුස්චේන්, අලේක්ස් කේරි, ටේ‍රවිස් හේඩ්, ග්ලේන් මැක්ස්වෙල්, කැමරන් ග්‍රීන්, ජායි රිචඩ්සන්, මැතිව් කුනමන්, ජෝෂ් හැසල්ඩූඩ්.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment