සංගීතේ ගැටුම බේරන්න ගිය බෙන්තොට පොලිසියේ 4ක් ගල්මුල් හා හෙල්මට්වලින් පහර කා රෝහලේ

190

බෙන්තොට ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ඉකුත් 13 දා රාත්‍රී පැවති සැණකෙළිය අවසානයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය බෙන්තොට පොලිසියේ නිලධාරීන්ට කළහකාරී තරුණයන් විසින් ගල් මුල්වලින් හා හෙල්මට්වලින් පහර දීම නිසා තුවාල ලබා බෙන්තොට රෝහලට ඇතුළත් කළ බව බෙන්තොට පොලිසිය කියයි.

මේ වන විට නිලධාරීන් සිව් දෙනකු තුවාල ලබා ප්‍රතිකාර ලබන අතර බෙන්තොට පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක ධනංජය රාජපක්ෂ මහතාද ඒ අතර සිටී. තරුණයන් දෙදෙනකුද තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් මේ වන විට රෝහලට නොදන්වාම පිටව ගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තරුණයන් හත් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.

අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී යූ. එම්. අමරසිරි මහතාගේ උපදෙස් මත බෙන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර කාරියවසම්, කොස්ගොඩ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රභාත් දේශබන්දු, උප පොලිස් පරීක්ෂක උපුල්සිරි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
නියාගම – විල්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment