කැපුම් තුවාල හොඳටම: ගෙයක් ඇතුළේ දෙදෙනකු මරා දාලා

1380

අනුරාධපුර, එප්පාවල, ඇදගල ප්‍රදේශයේ වී මෝලක් පිහිටි ඉඩමක දෙමහල් නිවසක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී බරපතළ කැපුම් තුවාල සිදුකර අමානුෂික ලෙස ඝාතනය කළ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (7 දා) උදෑසන හමුවූ බව එප්පාවල පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එප්පාවල, ඇදගල ප්‍රදේශයේ පදිංචිව සිටි කාවින්ද ප්‍රසාද් වීරකෝන් නමැති තිස්එක් හැවිරිදි පුද්ගලයකු සහ ඒබ්‍රහම් මොහොමඩ් මුබාරක් නමැති හතළිස් හත් හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

ඇදගල හන්දිය අසල වී මෝලක් පවත්වාගෙන ගිය ඉඩමක ඇති දෙමහල් නිවසට පෙරේදා (6 දා) රාත්‍රී හෝ ඊයේ ( 7 දා) අලුයම ඇතුළු වූ පුද්ගලයකු හෝ පිරිසක් මෙම ඝාතනයන් සිදු කර ඇතැයි සැක කරන බව පොලිසිය ප්‍රකාශ කළේය.

ඝාතනයට ලක් වූ තිස් එක් හැවිරිදි පුද්ගලයා එම වී මෝලේ හිමිකරුගේ පුත්‍රයකු බවත් හතළිස් හත් හැවිරිදි පුද්ගලයා ඔහුගේ මිතුරකු වන ඇදගල හංදියේ ත්‍රිරෝද රථ රියදුරකු බවත් පොලිසිය කීය.

තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය සිදුකර ඇත. එක් මළ සිරුරක වෙඩි වැදීමක් වැනි ලක්ෂණ ද තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානීය බුද්ධි පරීක්ෂණය, මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනයන් සිදු කළේද යන්න සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත එප්පාවල පොලිස් ස්ථානාධිපති ඊ. අයි. එස්. ඊ. ඉලංගසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතු, මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment